අළු පාට මල්


"සරා...ඔයා ලඟ මින්චි සුවඳයි..."
මම සරාගේ උරහිසට බර වෙලා ඇස් පියාගත්තා..හැන්දෑවට මුහුදු සුලඟ හරි හීතලයි..හරිම තෙතයි...අපි දෙන්නා වාඩිවෙලා හිටියේ අපි දෙන්නට විතරක් සෑහෙන බංකුවක..ඉන්දියන් සාගරේට හරියටම සම්මුඛව...ඇස් වහගත්තම මුහුද සින්දු කියනවා ඇහෙනවා...එක දිගට කඩින් කඩ කියන ඒ සින්දුව අපි හුස්ම ගන්න තාලෙට මුහු වෙලා තිබ්බා..සරාගේ දිග කොණ්ඩ ගස් ඇවිත් මගේ මූණෙ දැවටෙනවා..
 "ඇස් ඇරලා බලන්න අමා...අහස හරි ලස්සනයි අද...අර බලන්න අර අතන තියෙන පුංචි තරුව...මේ දැන් ඒක මතු වුනේ"
මම සරාගේ උරහිසට බර වෙලාම ඇස් ඇරියා...ඇත්තමයි...ඒ තරුව නිවි නිවී පත්තු වෙනවා...සරා ඇඳන් හිටියේ සුදු පාට ඩෙනිමක්...දම් පාට කමිසයක්...මම ඇඳන් හිටියේ දම් පාට ගවුමක්...ඒත් දැන් කළුවර වෙන්න පටන් අරගෙන...ඉර පේන තෙක්මානෙක නැති වුනත් රස්සිගේ අව්ව හැමතැනම ඉහිරිලා තාමත්...ඒ එළිය ඇති සරාගේ උස කඳක් වගේ තියෙන නහය දකින්න...යාන්තම් ඉස්සිච්ච පපුව පේන්න...
 "අර සුදු වළාකුළු කොහෙ යනවා ඇද්ද?"
 "එයාලා මිනිස්සුන්ගේ කඳුළු ඇහිදින්න යන්නේ"
 "කඳුළු ඇහිදලා ලොකු කළු වළාකුළු වෙන්න නේද?"
 "ඔව්..ආයිමත් පොළවට වැටෙන්න.."
 "මටත් වළාකුළක් වෙන්න ඕනි..."
 "පිස්සි දැන් රෑ වෙලා..."
රෑ වෙලා කිව්වට තාම තැනින් තැන එළිය අමතක් වෙලා හරි මඟ වැරදිලා හරි ඉතිරි වෙලා තිබ්බා..ක්ෂිතිජයේ ඈත කෙළවර රුවල් දාපු නැව් දෙකක් පේනවා...පුංචි සෙල්ලම් නැව්ද මන්දා...සරාට ඕනි වෙලා තිබ්බේ ගෙදර යන්න නෙමෙයි කියලා දන්නවා...එයාට ඕනි වෙලා තිබ්බේ මගේ ලඟින් වාඩි වෙලා ඉන්න..
 "මම හරි අසරණයි අමා..."
සරාගේ මූණෙ හැඩතල විතරක් පේන තරමට කළුවරයි...සරා දැන් කතා කරන හෙවනැල්ලක් වගේ...එයාගේ කටහඬින් හීන් ඉකියක් ඇවිත් නතර වුනා...එයා ඉකිය උගුර පතුළේ හංඟ ගන්න ඇති...
 "එහෙම කියන්න එපා සරා..මේ බලන්න...ලංකාවේ ආදරේ කරන එකත් නීති පොතේ විදිහට වැරැද්දක්...ඒත්.."
 "ලෝකේ හැමදෙයක්ම සාධාර්ණ නැහැ අමා...බලන්න මම උඹට ආදරෙයි...ඒත් ඒක...ඒත් ඒක...හැමෝගෙම විහිළුවට හේතුවක්ද...මතකද අමා සන්තුෂ්...ඌ කෙල්ලෙක් එක්ක යාලු වෙච්ච දවස්..එතන හැමදේම තිබ්බා..සන්තුෂ් රාමා..ඒ කෙළ්ළ සීතා...අමා මගේ කෙළ්ළේ...අපිට මුකුත්ම නෑ...මුකුත්ම නෑ.."
කළුවරේ වුනත් සරාගේ කඳුළු දිළිසුනා...මම හිටියේ ගොළු වෙලා...රාමා සීතා එක්ක අපි ලඟින් ඇවිදගෙන ගියා...මම අහක බලා ගත්තා...සරා තාමත් කතා කරනවා...
 "උඹට මතකද මගේ කෙල්ලේ...අපේ එවුන් කියපු අවලන් කතාව...ප්ලග් පොයින්ට් එහෙකට ගැලපෙන්නේ ප්ලග් එකක් කිව්ව එක...මේ බලන්න මං දිහා අමා"
සරා මගේ මූණ එයාගේ අත් දෙකෙන් තද කර ගත්තා...
 "උඹව මට පේන්නේ අනිත් වුන්ට වගේ ප්ලග් පොයින්ට් එකක් වගේ නෙමෙයි..."
සරා කිසිම වෑයමක් නැතිව මගේ තොල් සිප ගත්තා...හැමෝම හුස්ම ගන්න එක මොහොතකට නැවැත්තුවා...සළඹයෙක් අතරමං වෙලා හිටියේ ඒ වෙලාවේ...
 "සරා...අපි මේ දවස ගැන දැනගෙන හිටියා නේද? අම්මා අප්පච්චි වෙනුවෙන්...ආදරේ කරන දේවල් අත අරින්න අපි ගිවිස ගත්තා...,"
 "එතකොට මේකද අන්තිම දවස...ආදරේ කියන්නේ කසාදයට නෙමෙයි...ඒත්..ඒත්.."
සරා එයාගේ මින්ට් සුවඳ ඔළුව මගේ පපුව මැද්දේ හංඟ ගත්තා...දැන් හොදටම කළුවරයි...සරා එයාගේ ඔළුව මගේ තුරුළෙන් ඈත් කර ගත්තා...
 "මගෙ දෙවනි මනමාලි වෙන්න.."
සරා රත්තරන් පාට වෙඩින් කාඩ් එකක් මගේ අත් දෙක උඩින් තියලා බංකුවෙන් නැකිටලා යන්න ගියා...දැන් ඒ බංකුව උඩ තනියෙම මම..ඈතට යන සරා ආපස්සට හැරිලා බැලුවා...හැරිලා බැලුවෙත් ආයිත් එන්න බැරි තරම් දුරට ගිහින්...මම දැක්කා එයාගේ අතේ පොඩි දරුවෙක් එල්ලිලා ඉන්නවා...ඒ දෙන්නා මාත් එක්ක හිනා වෙලා ආයිත් ටිකක්වත් හැරෙන්නේ නැතිව යන්න ගියා...මම ආයිත් මුහුද එක්ක හුස්ම ගන්න පටන් ගත්තා...

Comments

  1. හීන ලියමු දිගට ම...................

    ReplyDelete
  2. ලස්සනයි....... මොනා උනත් සංවේදී ලිවිල්ලක්..........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ආර්යන් 😊

      Delete

Post a Comment

Popular Posts