වචන (1කොටස)

බටහිර අහසේ රතු පාට ,කහ පාට, දම් පාට තීන්ත හැලෙන වෙලාවක තමයි මම නගරේ හරි මැද තියෙන 'දේවී උද්‍යානය'ට ගියේ...සුදු පාට දණට දිග ගවුමකුයි පුංචි කහ පාට බෑග් එහෙකුයි එක්ක මම මේ උද්‍යානයට එන්නේ කාලය පුළුවන් විදිහට කන්න...ඉස්කෝලේ ගමන අහවර කරලා විශ්වවිද්‍යාල ගමන අතරමග නවත්තපු කෙල්ලෙක්ට ඕනි තරම් කාබාසිනියා කරලා දාන්න කාලේ තිබ්බා...සමහර වෙලාවලට 'දුවේ මේ හොද්ද හැඳි ගාන්න' , 'දුවේ අප්පච්චිට පපඩම් බදින්න' වගේ සරළ අණක් ඇරුනම ගෙදර එහෙමට වැඩක්පලක් නැහැ...ඉතින් ඇවිදින්න එන එකේ වැරැද්දක් නැහැනේ..මේ උද්‍යානේ හැමතැනම වගේ ගස් වවලා තිබ්බා...හැබැයි ඒ ගස් වුනත් හිටියේ උයන හැඩි නොවෙන විදිහට විනීතව...අතරින්පතර කකුළ් විතරක් පේන කුඩයක් දෙකක් කොන්ක්‍රීට් බංකුවල වාඩි වෙලා හිටියා...සමහර කුඩ වල රතු පාට මල් මෝස්තර..තවත් ගොඩක් පාට පාට මෝස්තර වලින් කුඩ හැඩ වෙලා තිබුනා...මට පෙනුනේ ඒ කුඩත් එක්තරා විදිහක සමනල් කෝෂ වගේ...එක පාරටම සමහර වෙලාවට ඇකිළෙන කුඩ අස්සෙන් සමල් ජෝඩුවක් පියාඹලා යනවා...පියාඹනවා විතරයි බලන්න අවසර තියෙන්නේ...
මම ආසම කොළ රොඩු වලින් හැඩි වෙලා ගියපු පුංචි පොකුණක් තියෙන උද්‍යානයේ බටහිර කෙළවරට...ඒ පැත්ත ඉදලක් දැකලවත් නැති විදිහට හැඩි වෙලා...රතු පාට බාගෙට ඉදිච්ච කොළ, කහ පාට වයසක කොළ විතරක් නෙමෙයි දුඹුරු පාට මැරිච්ච කොළ පවා ගොඩවල් ගැහිලා බලාගෙන ඉන්නේ හරියට මං එනකන් වගේ...පොකුණ ගාව සාරෙට හැදිච්ච මැයි මල් ගහක් තියෙනවා...මම මුළු අත් දෙකෙන්ම බදලා අල්ල ගත්තත් බදන්න බැරි විශාල කඳක් තියෙන මැයි ගහ හැමදාම වගේ පුංචි කොළයක් දෙකක් බිමට අතඅරිමින් තිබ්බා..ඒත් මැයි ගහ යට යාන්තමට පාසි බැඳිච්ච බංකුව වෙනදා වගේ හිස් වෙලා තිබ්බේ නැහැ...පිරිමි ළමයෙක්! ...පිරිමි කියන්නෙම ගෑනු කියන එකේ විරුද්ධ පදය කියලා ඕලෙවල් කාලේ සිංහල මිස් කියලා තිබ්බා...ඒ වගේම ප්‍රතිවිරුද්ධ ධ්‍රැව කාන්දම් වල ආකර්ෂනය වෙනවා කියලා සිංහල මිස් නොකිව්වට විද්‍යාව උගන්නපු සෑර් කියලා තිබ්බා...ප්‍රතීක විදිහට අත් දෙකෙන් පෝනි ටේල් එකක් වෙන්න බැඳලා තිබ්බ කොණ්ඩේ හදා ගත්ත මම වේළිලා තිබ්බ තොල් තෙත් කර ගත්තා....බෙල්ල ගාවට දිග කොණ්ඩය, සුදු පාට කහ පාට කුර්තාව වගේම කකුළ් දෙකට ගෙවිලා ඇලවිලා තිබ්බ සෙරෙප්පු දෙක කෙළ්ළෙක්ගේ හිත ගස්සන තරම් ආකර්ෂණීය කමක් ප්‍රේරණය කරගෙන තිබ්බා...ඉළඟට ඇහැ නතර වුනේ එයාගේ ඇස් අනිමිසලෝචනය කරකර හිටපු චිත්‍රය දිහාවට ...එයා පරිස්සමට කුරුටු ගගා හිටියේ ඉපල් වෙච්ච අතු තියෙන ගහක්...පැන්සලින් පරිස්සමට සුදු කඩදාසිය හූරලා අරිනවද මන්දා...මම දෙපාරක් උගුර පෑඩ්ඩුවා...ඒ මම එයා දිහා බලාගෙන ඉන්න බව අඟවන්න...ඒත් ඇහිපිල්ලමක්වත් මගේ දිහාවට හැරුනේ නම් නැහැ...එයාගේ ඇස් චිත්‍රෙටම ඇලිලා තිබ්බා...අන්තිමට එයාගේ දකුණු අත පැත්තේ ඉතිරි වෙලා තිබ්බ ඉඩෙන් මම ඉඳගත්තේ ඇත්තටම කකුළ් රිදෙන නිසා...කෝටු වගේ කකුළ් වලට ගොඩක් වෙලා හිටගෙන ඉන්න අමාරුයි..අන්න එතකොට නම් ඒ පිරිමි ළමයා මගේ දිහා බැලුවා...එයාගේ ඇස් ළාම ළාම අළු පාටයි...කම්මුළ් ගොඩක් ඝනකමට පෙනුනේ රැවුළ නිසා වෙන්න ඇති..ඇහි බැම ඇස් දෙක මැද්දෙ අත් අල්ලගෙන හිටියා...එයා හිනා වුනේ ඇස් චීනෙක් තරමටම පොඩි කරලා...මම ප්‍රතික්‍රියාවක් විදිහට හිනා වුනා කියලා කියන්න බෑ..සමහර වෙලාවලට මූණේ ඉරියව් හැසිරෙන්නේ එයාලට ඕනි විදිහට...මම බලාගෙන හිටියේ එයාගේ ඇස් දිහා...හිනා වෙලා ඉවර වෙනකොටම ඇස් ආයිමත් ලොකු වෙන දිහා...ටීක් බෝල වගේ ලොකු වෙලා දිළිසෙන දිහා...

Comments

Popular Posts