කැරකෙන ජීවිත


මම හිටියේ නයිට් ක්ලබ් එකේ බාර් එක ගාව...වයින් වීදුරුවක් තොල් දෙකට තද කරගෙන...කෘන්තකයක් දෙකක් වීදුරුවෙ වැදිලා 'ටිලිස්' සද්දයක් ඇවිත් මාව දෙදරුවට ඒක පිට මිනිස්සුන්ට ඇහෙන්නේ නෑ..පිට මිනිස්සුන්ට කොහෙද ඔව්වට වෙලාවක්...කට්ට කළුවර නැති වුනත් අකුණු ගහනවා වගේ පත්තු වෙන සුදු පාට එළියක්,දම් පාට මළානික එළි දෙක තුනක්,ඩාන්සින් ෆ්ලෝ එකේ රතු පාට එළියක් ඇරෙන්න වෙන එළියක් තිබුනෙම නෑ...ඇරත් හඳ එළිය ටිකක් වැටෙන්න වීදුරු කවුළුවක් තිබ්බා නම් පංකාදුයි...මම පේන නොපෙනෙන ගානට තිබ්බ සීලිම දිහා බැලුවෙ නිකමට...මගේ අම්මේ!සීලිමට පොළවෙ ඉඳන් මෙච්චර දුරද...මම හිතුවේ වයින් මත නිසා කියලමයි..ඒත් තොල ගෑවා මිස බොන්න පිරියක් තිබ්බේ නෑ..බීලා කොහොමද අම්මව හෙට බෙහෙත් ගන්න එක්කන් යන්නේ!මම ඉඳන් හිටපු උස පුටුවෙන් බැහැලා ආයිමත් ඉඳ ගත්තේ ගවුම ටිකක් පල්ලෙහාට ඇද ගන්න...ඕනි නැති වැඩක් තමා....ගවුම කොට වෙන එකේ කොච්චර වාසි තියෙනවද...එතකොට හැමෝම බලන්නේ කකුළ් දිහා...අවධානය රස්සවට කොච්චර වටිනවද කියලා මට හිතා ගන්නත් බෑ...සමහරවිට පැය තුන හතරක ගානට හිලව් කර ගන්න පුළුවන් වෙයි...ඩාන්සින් ෆ්ලෝ එක හරියට මට පෙනුනේ අපායක් වගේ...ලෝකුඹු නිරය, අවීචිය වගේ නම් තියෙන අපායක් වගේ..එහෙම හිතෙන්නත් හේතු තිබ්බා...ඒ හැමකෙනෙක්ම මට පෙනුනේ පිච්චෙන නිසා උඩ පනින පණු ගොන්නක් වගේ...'අනේ අපිව පිච්චෙනවා' කියලා හිනා වෙවි නටන මන්දමානසික පණු රැළක්..මම වයින් වීදුරුව පැත්තකින් තිබ්බා...ඒ වෙලාවේ තමා උරහිසට සීතලක් දැනුනේ...හීතල අතකින් උරහිස අල්ලගෙන හිටියේ නිශා...මූණ හැමතැනම වගේ ගාලා තිබ්බ මේකප් නිසා නිශාව මට පෙනුනේ දහ අට සන්නියේ කොටසක් වගේ...පාට පාට පුයර පැල්ලම් හැම තැනම...මම දන්නවා මම දෙවනි නැහැ කියලා...නිශායි මමයි දහ අට සන්නියේ එක දර්ශනයක් වගේ මූණට මූණ බලාගෙන හිටියා...ඕනිනම් එහෙම තප්පර දහයක් ඉන්න ඇති...තප්පර දහයක් ඇති..හොදටෝම ඇති..
 "මොකෝ උඹට අද හුලං ද?"
නිශා එහෙම අහන්නේ නක්කලේ එක්ක මුහු වෙච්ච කටහඬින් වුනාට සද්චේතනාවෙන් බව දන්නවා...අපි දෙන්නම එකම ගිලෙන බෝට්ටුවේ...
 "උඹටත් අද හුලං නේද?"
 "ඔව් බන්...ලබන සතියේ වෙද්දි ස්කූල් ෆී ගෙවන්න ඕනි නංගිගේ...දැන් එකතු වෙච්ච සල්ලි මදි වේවි"
මේකප් වලට පුළුවන්ද හැඟීම් උඩින් පැලැස්තර දාන්න..අකුණු ගහන සුදු පාට්ට ලයිට් එළියෙන් නිශාගේ දිළිසෙන ඇස් හොදට පේනවා...
 "අම්මව දොස්තර ගාවට ගෙනියන්නත් ඕනි නිශා...අදත් මෙහෙම හුලං වුනොත් හෙටට කල් දාන්න වෙයි...හෙටට කල් දාන්න බෑ බන්..අම්මා ඉන්නේ අමාරුවෙන්"
නිශා හයියෙන් හුස්මක් අරගෙන පිට කළා..ඒ හුලඟ ගිහින් සිගරට් දුමක පැටලිලා සීලිමට ගිහින් ඇලවුනා...මෙතන අපි දෙන්නා කතා කරන දේවල් ඇහෙන්නේ වයින්, විස්කි බ්‍රැන්ඩි පුරෝලා තියෙන වීදුරු වලට..ඒවා 'අපිව බොන්න' කියනවා වගේ 'ස්ලන්' සද්දෙන් එකින් එක ගැටුනා...අපි ඒ දිහා නොබල නෑහුන ගානට හිටියේ ..
 "හායි ලේඩිස්...උඹලගේ ගානවල් කීයද"
ටික වෙලාවකට අපි සිල්ලර කඩේක විකිණෙන කුකුළ් මස් ගාත දෙකක් වුනා..වෙනසකට තියෙන්නේ අපි අපේ විකුණුම් මිල කියන එක...මැරිච්ච කිකිළියන්ට ඒ හපන්කම බෑ..
 "ෆයිව් තවුසන්ඩ් රුපීස් ෆොර් අ අවර්"
එහෙම කිව්වේ මම.. නිශා ඒ එක්කම නැකිටලා ගියා...පව් කෙල්ල...ඉන්ග්‍රීසියෙන් කියන කොට හැමදේම ලේසි වෙනවා...ඒ කොල්ලා මගේ අතින් අල්ල ගත්තා...මම හිනා වුනා...එච්චර වයසක් නම් නෑ...මට වඩා නම් බාල පාටයි...පුංචි කොල්ලෙක්...තැනින් තැන රැවුල් ගස් නම් ඇවිත් තිබ්බා..පොඩි වයසට මදන විසේ..ඒකත් හොදයි ඉතින් අපිට..පොඩි එවුන්ව ඇල්ලුවත් ඇති..අපි ගියේ ළා රතු පාට ගාපු කාමරේකට...අපි දෙන්නම ඇතුළට ගියාට පස්සේ දොර වැහුනා...ෆෑන් එකක් සීලිමේ එල්ලිලා හිටියා ...ඇත්තටම ෆෑන් එක කැරකෙන්නේ වමටද දකුණට...කොහෙට කැරකුණාම මොකද...හුලං එනව නම් එච්චරයි...ඒ කොල්ලා කඩන් වැටෙන රූස්ස ගහක් වගේ කාමරේ හරි මැද තියෙන ඇඳ උඩට පත බෑවුනා...මේ කීවෙනි පිරිමි ආතුරයද කියලා නිච්චියක් නෑ...මේ ආතුරයා මගේ තොවිල්පලේ තව ටිකකින් ආවේශ වේවි..මට තියෙන්නේ පොල් මල අරගෙන ආතුරයට ගහන්න...පලයන් යන්න යකා...ආතුරයව දාලා පලයන් කිය කියා කෙඳිරි ගාන්න...
 "මෙහෙට ඇවිත් ඉඳ ගනින්"
ඒක අණක්..මේ වෙලාවෙදි මට තියෙන්නේ අණ ඉටු කරන්න..
ඒ කොල්ලා ගාවින් ආවේ අමුතුම සුවඳක්...දාඩිය ගඳ, ෂැම්පේන් සුවඳ එක්ක එකතු වෙච්ච සුවඳක්...මම එයාගේ ලඟින් වාඩි වුනා...එතනින් එහාට කරන කියන දේවල් යාන්ත්‍රික බව අත්දැකිමෙන් මම දන්නවා...යාන්ත්‍රික හාදු..යාන්ත්‍රික සීරිම්..යාන්ත්‍රික..යාන්ත්‍රික..යාන්ත්‍රික...හැමදෙයක්ම යාන්ත්‍රික..
 "තව ලඟට වරෙන් අක්කේ...මගේ ඔළුව අත ගාපන්.."
වචන වලට පුළුවන්ද මිනිහෙක් ගල් කරන්න...මොකෝ බැරි..මම ඒ වචන වලින් ගල් වුනා..
 "ඇයි මං ගාව දඩිය ගඳයිද ..."
එහෙම අහන ගමන් කොල්ලා ඇස් තද කරලා වහ ගත්තා...මම ඒ කොළ්ළගේ කොණ්ඩ ගස් අස්සෙන් මගෙ ඇඟිලි යැව්වා...පුංචි සැවානා තණ බිමක් වගේ කොණ්ඩ ගස් අස්සෙන් මගේ ඇඟිලි ඉහළ පහළ ගියා...සමහර තැන් වල නැවතුනා...කොළ්ළ හොදටම නිදියි...පිරිමියෙක්ට මෙහෙම වෙන්න පුළුවන්ඳ..ඒ එක්කම මගේ හිතේ බයක් ඇති වුනා.....අම්මගේ බෙහෙත් ගන්න සල්ලි...මේ කොල්ලාගෙන් ලැබෙයිද...මම හිටියේ හරිම දෙගිඩියාවෙන්...ඒ වෙලාවෙම කොල්ලගේ ෆෝන් එක කෑ ගහන්න පටන් ගත්තා...ටික වෙලාවකින් නැවතුනා...ආයිත් කෑ ගහන්න පටන් ගත්තා...ආයිමත් නැවතුනා..
 "මල්ලි"
මම හෙමින් කොල්ලව හෙලෙව්වා...කොල්ලා නැකිට්ටේ නිදිගැට කඩන ගමන්...පැය හයක් හතක් නිදා ගත්ත සාම්පලේට..
 "අද හොදට නින්ද ගියා අක්කේ...බය වෙන්න එපා..මම ඔයාගේ ගාන දෙන්නම්"
 "ඇයි මල්ලි මාව ගෙන්න ගත්තේ?"
 "මට හරි පාලුයි අක්කේ...මට මගේ අම්මා ගෙනත් දෙන්න..එයාට පුළුවන්ද මාව දාලා යන්න"
කොල්ලා කඳුළු හන්ගන්නේ නැතිව පිට කළා..ගිනි රස්නේ කඳුළු එයාගේ මූණ දිගේ බේරිලා ඇවිත් මගේ අත් උඩින් නැවතුනා...
 "අම්මට මොකෝ උනේ මල්ලි"
 "එයා වෙන කෙනෙක් එක්ක දැන් සතුටින්ලු අක්කේ...අප්පච්චි එක්ක මාව දාලා එයා ගියා..අප්පච්චිව මම සතියකින් දැකලා නෑ"
ඒ කොල්ලා ඉක්මනට ඇඳෙන් නැකිටල ඇස් දෙක පිහද ගත්තා..
 "මෙන්න අක්කේ ගාන"
කොල්ලා මගේ අත් උඩින් ගෙනත් අලුත් පන්දාහේ කොළයක් තිබ්බා..,අලුත් සල්ලි හරිම සුවඳයි...
 "මට සල්ලි එපා මල්ලි"
එයා ඇහුනේ නැති ගානට කාමරෙන් එළියට ගියා..
 'දඩස් ' ගාලා දොරත් හයියෙන් වැහුනා...මම කාමරේ ඇඳ උඩ තාමත්...ෂැම්පේන් සුවඳ ඇඳ රෙද්දෙ වැතිර ගෙන ෆෑන් එක දිහා බලාගෙන...ඇත්තටම ෆෑන් එක කැරකෙන්නේ වමටද දකුණටද..

Comments

  1. සමාජ ප්‍රෂ්න කිහිපයක් එකම පෝස්ටුවකින් ඉදිරිපත් කරලා. කතාවක් විදිහටත් හොඳ නිර්මාණයක්.

    ReplyDelete

Post a Comment

Popular Posts