වචන (3 කොටස)

පහුවෙනිදා හැන්දෑවෙ මැයි ගහ යට බංකුව උඩ මම බලාපොරොත්තු වෙච්ච කෙනා ශාන්තව ඉඳගෙන හිටියා...මම කිසිම හාවක් හූවක් නැතිව බංකුවේ ඉඩ තියෙන දකුණු කෙළවරින් ඉඳ ගත්තා...මම යනකොට ඒ චිත්‍රේ ඉපල් අතු තැනින් තැන නාඹර දළු ඇහිපියන් අරිමින් නිදි ගැට කඩමින් හිටියේ....මම මගේ කහ පාට බෑග් එක ඇතුළට අත දාලා දියසායම් පෙට්ටිය අරගෙන එයාගේ පැත්තකින් තිබ්බා...එයා ඒ වෙලාවේ තමා මම දිහ බැලුවේ...මම හාංකවිස්සියක් නොදන්න තාලෙට විරිත්තුවා...ඒත් එයා දිය සායම් පෙට්ටිය දිහා බලාගෙන ඉඳලා අහක බලා ගත්තා...මට හිතුනේ පොළව පලාගෙන ගිහින් ලාවා පොකුණකට පනින්න...ඒ තරම් ලැජ්ජාවකින් කම්මුළ් රතු වෙන්න ගත්තා...මම එයාගෙන් ඇස් අහකට අරගෙන කොළ වැටිලා මූසල පාට වෙච්ච පොකුණ දිහා බලාගෙන ඉන්නකොට තමා දැක්කේ තැනින් තැන පිපිලා තිබ්බ ඕලු මල්....හැඩිවෙලා තිබ්බ පොකුණේ මෙහෙම මල් පිපෙන්න පුළුවන්ද...'එහෙමත් පුළුවන් දරුවෝ' කියනවා වගේ ඕලු මලක් හෙමින් හුලඟට හෙලවුනා...එයා අඳින එක පැත්තකින් තියලා බලාගෙන හිටියේ මං වගේම ඕලු මල් දිහා... හැන්දෑවට ඒ මල් පෙති අකුළව ගන්නවා..හරියට ගොඩක් මහන්සි වෙලා ඇවිත් අප්පච්චි සමහර දාට ගුලි වෙලා නිදාගන්නවා වගේ...එයා මං දිහා බලලා හිනා වුනා...අපි දෙන්නගේ වචන වුනේ හිනාව...ඉතින් මමත් හිනා වුනා...

Comments

Popular Posts