ස්වොන් ජුන්

 සැප්තැම්බරය අහවර වෙලා ඔක්තෝබරය ඇවිත් හිටියත්, බූසාන් නගරය ගිම්හානය තවමත් තදින් බදාගෙන ඉන්නවා.. ඉඳහිට දැනෙන නොදැනෙන හීතලත්, දීප්තිමත් කහ පාටට හැරෙමින් තියෙන පොප්ලර් ගස් වල කොළත්  හැරෙන්න, "තවම මේ අගෝස්තුවේ මැද ද" කියලා රැවටෙන්න වුනත් පුළුවන්.. දවස පුරාම වෙහෙසිලා ඉන්න ඉර, කොරියන් මුහුදේ ගිලිලා අතුරුදන් වෙන්න කලියෙන් අහසේ ඉතිරි කරලා ගියපු රාස්සිගේ අව්රැළි එකක් දෙකක් තවමත් අහසේ වලාකුළක ඇමිණිලා තියෙනවා..


මම ස්ටේෂම ගාවට යනකොට ස්වොන් ජුන් ඇවිත් ඈත ඉදන් මම ඇවිදන් එන හැටි හිනාවෙවී බලාගෙන ඉන්නවා.. අවුල් වෙච්චි කොණ්ඩේ අතින් හදාගන්න ගමන් මම එයා ලඟට දුවගෙන යන විදිහ, එයාට කෝම පේනවා ඇද්ද කියන එක ගැන හිතිලා, හිතට එක පාරටම ආපු ලැජ්ජාවට මම ඇවිදින වේගය බාල කලා.. හෙමින් සීරුවට  ඇවිදගෙන එනකොටම මගේ ලඟට දුවලා ආපු ස්වොන් ජුන්, මගේ කරේ  එල්ලිලා තිබුණ විසාල, ඒත් හිස් බෑග් එක එයාගේ කරට දාගත්තා..


කොරියන් මළපොතේ අකුරක් නොදන්න මම, බිඳුණු කොරියන් වලින් " කන්සන්මිදා" කියනකොට, "ආ ඔයා වචන හොදට ප්‍රොනවුන්ස් කරන්න ඉගෙන ගෙන නෙහ්" කියන ගමන් වටපිට බලලා කම්මුලට හාද්දක් දුන්න ස්වොන් ජුන්, මගේ අතේ සුලඟිල්ලෙන් හෙමින් අල්ලගෙන කොච්චිය දිහාවට ඇවිදගෙන ගියා..


මේ අපි හම්බෙන හය වෙනි දවස.. කිරි ටොෆි පාට කමිසයට, කහට අඩු කිරි තේ පාට කොට කලිසමක් ඇදගෙන හිටිය ස්වොන් ජුන්ගේ උරහිස උඩ ඔළුව තියාගත්තාම වෙනදා හුරු නැති පර්ෆියුම් සුවඳක් ආව නිසා "ඔයා ගාවින් අද අලුත් සුවඳක් එනවා" කිව්වේ මම.. "ඔලිව් යුන්ග් එකේ පර්ෆියුම් වගයක් ට්‍රයි කලා..එව්වා ඔයාට සුවඳද" කියලා අහන ගමන් මගේ අත හෙමින් මිරිකලා හෙමින් අත අතෑරියා.. 


බූසාන් කියන්නේ ස්වොන් ජූන්ගේ උපන් පලාත.. මෙහෙ තියෙන කිසිම දෙයක් එයාව පුදුමයට පත් කරන්න තරම් පුදුම සහගත නැති වුනත්, ඉන්දියන් සාගරේ පුංචි දූවක ඉපදුන මම දකින දකින හැමදේකින්ම පුදුම වෙන හැටිත්, ඇඟිල්ලෙන් ඇනඇන ඒ දේවල් පෙන්නනකොට, ඒ දේවල් දිහා මං තරම්ම උද්‍යෝගයෙන් බලන්න වෙහෙසෙන හැටිත් මට පේනවා.. 


"මම මගෙ රටට  ආදරේ වුනත්, මට මෙහෙ ජීවිතය  වෙහෙසයි.. ඒකයි මම තව ටික දවසකින් රට අතෑරලා යන්න තීරණය කරලා ඉන්නේ", අපි හම්බුන පළවෙනි දවසේ මින්ට් ටී එකක් හෙමින් බොන ගමන්, වෙහෙස ඇස් වලින් මං දිහා බලාගෙන කියපු හැටි මට මතක් වෙනවා.. ඒ වෙහෙස දැන් ඇස් වල තිබ්බා ද කියලවත් හාංකවිස්සියක් නැතිව දිළිසෙන හැටි! 


"අපි මේ කොහෙද යන්නේ?"


කෝච්චියට ගොඩ වෙලා ඉඳගත්තාට පස්සේ මම ඇහුවේ, අතේ එල්ලිලා ආවාට, යන්නේ කොහෙදවත් නොදැන නේද ආවේ කියලා මතක් වෙලා..


"ග්වොන්ගලී බීච්? ඔයා ආසයි නෙහ් මුහුදට"


මම ස්වොන් ජුන්ගේ උරහිසේ ඔළුව තියාගෙන ඇස් වහගෙන, ලංකාවේ හික්කඩුව මුහුද හිතින් මවාගත්තා..සුදු පාට පෙණ කැටි, කකුළ් දෙක ඉඹින ගමන් හිනා වෙන හැටි මට මැවිලා පෙනුනා.. 


ග්වොන්ගලී මුහුදු වෙරළ ඒ වගේ නෙමෙයි.. චෙසුක් නිවාඩුව නිසා මිනිස්සුන්ගේ පිරිලා ගියපු වෙරළේ, ලස්සන සුදු පෙණ රැලි තිබුනේ නෑ.. ලෝකේ පුරාම මිනිස්සුන්ගෙන් මූණ වල් , එක එක භාෂා වල සද්ද  අස්සෙන් ඇහෙන කොරියන් විරහ ගීයක් විලාපයක් මිස, මහ මුහුද ගොළු වෙලා.. සුදු පාට විසල් පාලම පාළු දර්ශනයක ඇඳපු චිත්‍රයක් වගේ..


"ඔයා ලංකාවට ආවාම එහෙ තියෙන ලස්සන මුහුදු වෙරළකට ඔයාව එක්ක යන්න මට ආසයි.. මේ මුහුද හරියට දුක හිතෙන චිත්‍රයක් වගේ."


"ඔයා දන්නවා ද.. මට ලෝකේ පුරාම මිනිස්සු හම්බවෙලා තියෙනවා.. ඒත් ලංකාවෙන් මුලින්ම  හම්බුනේ ඔයාව.. ලංකාවේ හැමෝම ඔයා වගේ හොදයි ද.."


"මම?? හොදයි?? ඇයි මම හොද ? "


"මට ඔයා ගාව ඉන්න එක සැනසීමක්.. මට තේරෙන්නේ නෑ කියන්න.."


ස්වොන් ජුන්ගේ සුදු පාට වල ගැහෙන කම්මුල් දෙක ළා රෝස පාටට හැරුනා.. 


"ඔයා හිනා වෙනකොට හරිම ලස්සනයි.. ඒ නිසා ඔයාට පුළුවන් හැමවෙලේම හිනා වෙලා ඉන්න"


මම එහෙම කියන ගමන් හෙමින් කම්මුල මිරිකුවා.. 


කිසිම හැලහොල්මනක් නැති මහ මුහුදේ ගෑවීගෙන හෙන හුලඟ මට හරිම හීතයි.. මට හීතල වග දැනගෙන මාව හීතලෙන් බේරගන්න ක්‍රමයක් හිතහිතා මාව තුරුල් කරගෙන කොරියන් බාබිකියු කඩයක් ඇතුළට ගියේ ඒ වෙලේ.. මස් පිළිස්සෙන සුවඳවත් දුමින් මුළු කඩයම පිරිලා..


"පොඩි හීතලක් දරගන්න් බැරි ඔයා කෝමද සෙල්සියස් සෘණ ගනන් යන ශීත කාලය ගෙවාගන්නෙ..?


ස්වොන් ජුන් එහෙම කිව්වේ හිනා වෙවී.. 


"මම ඉපදුනේ හැදුනේ සමශීතෝෂ්ම සමයකට ලඟ රටකට.. අපිට හැමදාම තිබ්බේ ගිම්හානය.. මම ඉපදිලා ඉන්නේ පුංචි පතොක් ගහක් වෙන්න මිස, විසාල පයින් ගහක් වෙන්න නෙමෙයි කොල්ලෝ"


මම එහෙම පණ්ඩිත විදිහට කියලා හිනා වෙනකොට, ආයිත් එයාගේ කම්මුල් රතු වෙනවා.. ඌරු මස් ගිනි අඟුරු වලින් රත් වුන තැටිය උඩ පිළිස්සෙනකොට, නිවුන මස් මගේ පිඟානට දානගමන් "පරිස්සමෙන් නිවලා කන්න, කට පිච්චෙයි " කියලා හිනා වෙලා කියන ස්වොන් ජුන්, එයාගේ හිස් වෙච්ච සෝජු වීදුරුව පුරෝගන්නවා..


ඇති වෙන්න බඩපිරුනාට පස්සේ, ආයිත් මුහුද වෙරළේ  කෙළවරක පොඩි බංකුවක ඉඳගත්ත අපි දෙන්නා, මූණට මූණ බලාගෙන හිටියා.. එයාගේ ඇස් කරුණාවන්තයි.. ලංකාවේ කවමදාවත් නොදැක්ක දීප්තිමත් හෙවනැලි වලින් පිරුණ ඇස් දිහා බලාගෙන ඉන්න ගමන් මම "ඔයා ඇයි මට කැමති" වගේ මෝඩ ප්‍රශ්නයක් අහන්න හිතුනා..


"ඔයා ගාව වැනිලා සුවඳයි..ඔයාව කොච්චර ඉම්බත් ඒ සුවඳ නැති වෙන්නෙ නෑ.. ඔයාට තියෙන්නේ ලොකේ කාටවත් නැති තරම් ලස්සන ඇස්.. ඔයා කතා කරනවා අහන් ඉන්න කැමති හිතෙනවා.. ඔයා කරුනාවන්තයි වගේම දක්ෂයි.. මට මෙහෙම ඔයා දිහා බලාගෙන මැරෙනකන් වුනත් ඉන්න පුළුවන්. ඔයාගෙන් මම ඒ ප්‍රශ්නෙම ඇහුවොත්?"


මට ස්වොන් ජුන්ගේ ඇස් වලින් මාව පේනවා.. මම මං දිහා බලාගෙන මම මගෙන්ම ප්‍රශ්න කරන්න ගත්තා ඇයි මම මේ මනුස්සයාට කැමති කියලා.. කවමදාවත් කොරියන් මනුස්සයෙක්ට කැමති වෙන්න හීනෙකින් වත් නොහිතපු මට, මේ මනුස්සයාට කැමති හිතුනේ ඇයි කියන්න ඇත්තටම මම දන්නේ නෑ නේද කියන එක මට ඒ වෙලාවේ තේරුනා..


"ඔයාට තමා මේ ලොකේ ලස්සනම හිනාව තියෙන්නේ..බලන්න ඔයා දිහා, ඔයා ගාව ඉන්නකොට මට කිසිම දෙයක් ගැන බය නොවී ඉන්න පුළුවන්"


ඒ ලැබුන උත්තරයට හිනා වෙලා කම්මුලට හාද්දක් දුන්න ස්වොන් ජුන්, මගේ අත තදින් මිරිකගත්තා..


" අදින් හරියට අවුරුදු දහයක් ගියාට පස්සේ, ඔයයි මමයි දෙන්නාම තනිකඩ වෙලා හිටියොත්,  ඔයාට පුළුවන් ද මාව කසාද බඳින්න?"


ස්වොන් ජුන් එහෙම කිව්වේ මුහුද දිහා බලාගෙන.. මුහුදේ ඈත කෙළවරේ තරු වගේ දිලිහෙන එළි දිහා බලාගෙන, මුහුදු හුලඟට කිව්ව ඒ කතාවට, එයා උත්තරයක් බලාපොරොත්තු වුනා ද නැද්ද කියලා මම දන්නේ නෑ..


"මට පොරොන්දු වෙන්න පුළුවන්.. ඒත් ඒ අවුරුදු දහය ඇතුළත කොයිතරම් දේවල් වෙන්න පුළුවන් ද? මම බාගදා මැරිලා ඉදීවි."


මට රවලා බලපු එයා මුකුත් නොකියා ලොකු හුස්මක් ගත්තා.. 


" මම කොරියන් ඉගෙනගෙන ඔයත් එක්ක කොරියන් වලින් කතා කරන්නම්.. මම දැන් අකුරු කියවන්න දන්නවා ටිකක්"


"ඔයාට පුළුවන් ද ඔයාගේ මව්භාශාව මට උගන්වන්න.. මට පුළුවන් එතකොට ඔයාට මගේ හිතේ හැමදේම  ඔයාට දැනෙන විදිහට කියන්න.. ඔයා ලියන කවි කියවන්න.. ඒ කවි වල ඔයා මං ගැන ලියලා තියෙන දේවල් බලන්න.."


"සිංහල ඉගෙන ගන්න අමාරුයි.. ඔයාට ගොඩක් මහන්සි වෙන්න වේවි.."


"මම උත්සාහ කරන්නම්.. මට පුළුවන් තරම්.."


ස්වොන් ජුන් මගේ කම්මුල් දෙක එයාගේ අත් දෙක උඩට අරගෙන හාද්දක් දුන්නා.. 


ආයිමත් කෝච්චියට එනකොට අපි දෙන්නාට යන්න තිබ්බේ කෝච්චි දෙකක.. අන්තිමට බොහෝම තදට මාව වැලදගත්ත ස්වොන් ජුන්, "ඔයාට මට ආදරේ කියන්න බයයි, වගේම වේලස්සනයි.. ඒත් මේ වෙලාවේ මට දැනෙන දේ ආදරේ නෙමෙයි නම් , මම දන්නේ නෑ ඒ මොකක්ද කියලා.. මම ඉක්මනින් රටින් යන නිසාත් , ගියාට පස්සේ ඒවිද කියලා සැක නිසාත් මට දුකයි.."


මගේ ඇස් වල කඳුළු පිරිලා ගිහින් මහ වැස්සකට කලින් පොද ගහනවා වගේ කඳුළු වැටෙන්න පටන් ගත්තා.. පිට අල්ලෙන් කොච්චර පිහදැම්මත්  වැටෙන කඳුළු නැවතුනේම නෑ.. ඒ එක්කම ආපු කෝච්චියට ගොඩ වුන මම කෝච්චියේ විදුලි වේගයෙන් ස්වොන් ජුන්ගෙන් ඈතට ඈතට ඇදිලා ගියා..


රෑ වෙලා තිබ්බත් දවල් වගේ එළිය දෙන මහ වීදිය දිගේ කඳුළු පිහදදා ආපු මට ස්වොන් ජුන් එවපු මැසේජ් එකක් පෙනුනේ අහම්බෙන්..


"I will miss your smell until I understand the language in which you are dreaming"


ස්වොන් ජුන්, ඔයා මගේ හීනවල ගොඩක් හොඳට සිංහල කතා කරනවා කියලා මට කියන්න ඔනි වුනත්, මගේ ඇඟිලි මුහුදු හුලඟට හිරිවැටිලා තිබුනා..




Comments

  1. මේ රසය සැඟවී ඇත්තේ නාම පද අතරද? සිතේ මවා ගන්නා චිත්ත රූප අතරද? සිතා ගත නොහැක!
    මොනවා උනත් "එළම"යැයි නොකියා බැරිය!

    ReplyDelete

Post a Comment

Popular Posts