බහු

 ගොරෝසු ජනෙල් රෙදි වලින් අකුණු වල ඇස් කණ වෙන එළිය නවත්තන්න අමාරුයි. කොහෙටද කියලා නොදන්නවා වුනාට, ලඟපාතකට අකුණක් වැදුනා කියලා හිතුනේ මුළු ගෙදරම එක පාරට කළුවරේ ගිලිලා ගියාට පස්සේ.. ඒත් තාමත් ගැහිගැහී පත්තු වෙන, මැද සාලේ පත්තු වෙන බුදු පහනේ එළිය, අපි දෙන්නාගේ කාමරේට පේනවා..


"මම ගිහින් පහන නිවලා එන්න ද? හුලඟට පෙරලුනොත් එහෙම.."


මම එහෙම අහන ගමන් සරත්ගේ පපුව හෙමින් අතගෑවා..


"මේ කළුවරේ ඇඳෙන් බැහැලා විකාරේ ඇවිදින්න යන්නේ නැතිව ඉන්න.. අනික බුදු පහන එහෙම නිවන්න හොද නෑ නෙහ්."


මට සරත්ව නොපෙනුනත්, එයා කතා කලේ තරහින් වගේ කියලා මට කටහඬින් තේරුනා.. එයාගේ මූණ මේ වෙලාවේ කොයි වගේද කියලා පේන්න තරම් එළියක් නාවත්, සැරෙන් සැරේ එන යන අකුණු එළි වලින් මට එයාගේ දිළිසෙන ඇස් දෙක විතරක් පේනවා..


අපි කසාද බැඳලා අදට හරියටම සතියක් වෙනවා.. යාලුවෝ හැමෝම ලව් කරලා කසාද බදිනකොට, මට ගෙදරින් හොයලා දෙන එකක් බඳින්න වෙන එක ගැන මට පුංචි දුකක් නොතිබුණා කිව්වොත් මට මහ බොරකාරියෙක්  වෙනවා.. ඒත්, සරත්ව හම්බෙලා ආස්සරේ කරනකොට, මට හිතුනා බාගදා මෙහෙම හැමදේම සිද්ද වුන එක හොදයි කියලා..


අම්මලාට ඔනි වුනේ කුජ හතට ගැලපෙන මගුලක් මිස වෙන මුකුත්ම නෙමෙයි. සරත්ගෙත් කුජ හතේ නිසා අපි හොදට ගැලපෙනවා කියලා අම්මා දවසක් කිව්වා මතකයි.. සරත් හැමදාම රෑට බෙහෙත් අහුරක් බොනවා.. ඒ බොන්නේ මොනවටද කියලා ඇහුවත්, එයා හිනා වෙලා විහිළුවට වගේ "මැරෙන ලෙඩක් නෙමෙයි බබා" කියලා මඟහරිනවා මිස මුකුත් කියන්නේ නෑ.. මැරෙන ලෙඩ ගැන විතරයි ද කසාද ගෑනි මනුස්සයාගෙ දැන ගන්න ඔනි.. අම්මාට කෝල් කරලා කිව්වාම මේ ගැන එයා කිව්වේ, "ඒ මිනිහ ඔනි වෙලාවට කියයි.. උඹ අම්මණ්ඩි නොවී හිටපන්" කියලා..


වැස්සේ හීතලයි, වැස්සේ සද්දෙයි නිසා ද මන්දා මට දන්නේම නැතිව නින්ද ගිහින් තිබුණා..උගුර, තොල් ඩෙසිකේටරයක දාලා වගේ වේලිලා කරවෙල වගේ දැනිලා  මම නැගිටින කොටත් හැමතැනම කළුවරයි.. මම සරත් නිදාගෙන ද බලන්න ඇඳ අතපත ගෑවත් සරත් ඇඳේ හිටියේ නෑ..


මම කාමරෙන් එළියට ගිහින් ලයිට් එක දැම්මා මැද සාලේ.. දෙයියනේ කරන්ට් එක ඇවිත් තිබුණා..මම කුස්සියට  යනකොට දැකපු දේ නිසා මට ක්ලාන්ත නොවුන එක විතරයි.. සරත් නිල් පාට ගවුමක් ඇදගෙන තේ හදනවා.. මම හිටියේ උතුර දකුණ මාරු වෙලා.. මම හයියෙන් " සරත්" කියලා කෑ ගැහුවත්, සරත් මං දිහා ජීවිතේට දැකලා නැති කෙනෙක් දිහා බලනවා වගේ බලන් හිටියා..


"කවුද සරත්? මම ලලිතා.. දූ කවුද මම කලින් දැකලා නෑ නෙහ්?"


මම හිතන්නේ මගේ කකුල් දෙක පණ නැතිවෙලා මාව ඇදගෙන වැටුණා.. සරත් හිනා වෙවී තේ හදලා තේ දීසියකින් වහලා කුස්සියෙන් එළියට යනකොටත් මම හිටියේ මොකද වුනෙ හිතා ගන්න බැරිව බිම ඉඳගෙන.. මම මාවම කොනිත්තගෙන බැලුවේ හීනයක් නෙමෙයි කියලා හරියටම දැන ගන්න..


සරත් ආයිත් කුස්සියට ආවේ සරම ඇඳගෙන.. එතකොට මම අඬන්න පටන් අරන්.. සරත් ඒත් මාව අඳුනගත්ත පාටක් පෙනුනේ නෑ..


"නංගි මොකෝ අඬන්නේ.. මොකද වුනේ?"


කියලා අහපු සරත්, මගේ අතින් අල්ලගෙන නැගිට්ටලා පුටුවක වාඩිකළා.. 


"මේ මහ රෑ ඇයි මෙහෙට ආවේ? කරදරයක් වුනා ද ඔයාට"


මම සරත් දිහා තුෂ්නීම්භූත වෙලා බලාගෙන හිටියා මිස මුකුත්  කියන්න ගියේ නෑ..


"මම අකලංක.. නංගිගේ නම?"


මම ආයිත් අඬන්න පටන් ගත්තා.. සරත් මාව එක්කන් ගිහින් සෝපාවක නිදි කරවලා එයා ඇඳට ගිහින් නිදාගත්තා..


පහුවෙනිදා සරත්ගෙන් මේ ගැන අහන්න හිතන් හිටියාට, මම නැගිටිනකොට සරත් වැඩට ගිහින් .. අම්මාට කෝල් කලාම අම්මා කිව්වේ ගෙවල් ආරස්සා කරලා නැති නිසා අමුනුස්ස දෝසයක් වෙන්න ඇති, ඒ නිසා පිරිත් කියලා නිදාගන්න කියල..


සරත් ගෙදර ආවාට පස්සේ හැසිරුනේ කිසිම දෙයක් නොවුන විදිහට.. වෙනදා වගේම හොදින් මාත් එක්ක කෑම කාලා ඇඳට ගියේ නිදාගන්න.. ඒත් මට නින්ද ගියේ නෑ.. 


සරත් එක පාරට ඇඳෙන් නැගිට්ටා මැද සාලෙට ගියා.. මම ටික වෙලාවක් එහෙම්ම ඇඳේ ඉදල මාත් මැද සාලෙට ගියා.. සරත් සිගරට් එකක් බොනවා.. 


"නංගි ඔයා කවුද?"


"මම සමන්ති"


"මම අකලංක"


සරත් මාත් එක්ක හිනා වුනා.. මගේ ඔලුවේ අම්මා කියපු අමුනුස්ස කතාව වැඩ කරන නිසා ද කොහෙද මට එයා ලඟට ගිහින් ඉඳගන්න බය හිතුනා..පැයක් ගෙවිලා යන්න ඇති.. සරත් මම කවදාවත්ම අහලා නැති පලාතක විස්තර කිව්වා.. එයා පත්තර වලට ලියනවලු.. සරත් නම් මම පත්තර කියවනවා වත් දැකලා නෑ.. ඒම පැයක් විතර ගියාට පස්සෙ සරත් එක පාරට අඬන්න පටන් ගත්තා..


"මට සමාවෙන්න සමන්ති"


මම දන්නේ නෑ මොනව කියන්න ද කියල.. මුළු ගෙදරටම ඉන්නේ අපි දෙන්නා විතරක් වෙච්චි, මම හිටියේ ඔනි එකක් වෙද්දෙන් කියලා හිත හදන්.. 


සරත් එතකොට තමා කිව්වේ බෙහෙත් බොන්නේ මොනවටද කියලා.. Multiple personality disorder  කියලා ලෙඩක් ගැන අහලා තිබ්බත්, එහෙම කෙනෙක් කසාද බඳින්න වෙයි කියලා මම හිතුවේ නෑ කවදාවත්... අමුනුස්ස බය ඒ කතාවත් එක්ක චුට්ටක් අඩුවුන නිසා මම සරත්ව ගිහින් තද කරලා බදාගත්තා..


************


අද අපේ හත් වෙනි ඇනිවසරි එක.. අකලංක මාව සරත්ට වඩා තේරුම් අරන් ඉන්නවා වගේ මට හිතෙනවා.. සමහර වෙලාවට ලලිතා මගේ කොණ්ඩේ ගොතනවා.. මම අම්මලාට ආයිත් මේ ගැන කියන්න ගියේ නෑ..එකම මනුස්ස සරීරයක් ඇතුලේ එක මනුස්සයෙක් ඉන්නෙත් කොච්චර අමාරුවෙන් ද.. සරත්ට කොච්චර අමාරු ඇති  ද කියලා නම් නිතර හිතෙනවා.. ඒත් මට අකලංකට නම් යන්න දෙන්න හිතන්නේ නෑ.. අපි දෙන්නා විතරක් ඉන්න ගෙදර , දැන් පස් දෙනෙක් ඉන්නවා දැනෙනවා..


ප.ලි-


ගොඩක් කාලෙකින් ලිව්වේ.. වැරදි කමත්වා!





Comments

  1. නියමයි. මෙහම ෆිලම් එකක් බැලුව මතකයි . නම මතක නැහැ . ටිකක් දරුණු එකක්.

    ReplyDelete
    Replies
    1. අජිත් මාමෙ,
      Identity (2003) ද එහෙම නැත්නම් shutter Island ද?

      Delete
    2. Comment eka mage - Ajith

      Delete
    3. ආහ් හරි. ඒක නම් බලලා නෑ🙂

      Delete
  2. ඒක මාරයි...තාමත් මං හොල්මන් වෙලා ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. සඳවතී,
      මටත් මුලින් හිතුනෙ හොල්මන් කතාවක් ද කියලා👻

      Delete
  3. නියම plot එකක් ෆුලුමකට...

    ReplyDelete
    Replies
    1. මේ theme එකේම films ගොඩක් තියෙනවා, නමී බලලා නැද්ද😁?

      Delete

Post a Comment

Popular Posts