තම්බ'ජියා

 තටු තෙමිච්ච සලඹයෙක් තට්ටු විස්සක බිල්ඩිමක උඩ ඉදන්, පහළ තියෙන දම්පාට තම්බ'ජියා මල් වැලක් දිහා බලන් ඉන්න හීනේ නිසා බය වෙලා නැගිට්ටුන කීවෙනි පාරද කියලා මට මතක නෑ.. එළියේ මහ වැස්ස "අම්ල වැස්සක් විය හැකි" කියලා මගේ කාමරේට හරියටම සම්මුඛව තියෙන ගෙදර රේඩියෝවෙන් කියනවා යාන්තමට ඇහෙනවා.. "කරදරකාරී, ඝෝෂාකාරී අසල්වැසියෙක්" නොවුනත්, ඒ රේඩියෝව වහලා දාන්න පුළුවන් ද  කියලා මට අහන්න හිතෙනවා..ඒත් ඒක කරදර වැඩක්.. ඒක කරන්න දහිරිය එකතු කරගන්නම මට කොච්චර කාලයක් යාවි ද කියලා හිතා ගන්න බෑ..


"ඔයාට නම් ඉතින් මොන ප්‍රශ්න ද අනේ.. මොකෝ ඔයාට ළමයි ඉන්නවා කියලෑ.. තනියෙන් සතුටෙන් ඉන්න එක නෙහ්" කියලා ලඟම යාලුවෙක් කියලා හිනා වුනේ, මම යහපත් වගේම නිදහස් ජීවිතයක් ගත කරන එක ගැන සතුටෙන් ද, නැත්නම් වෙන අදහසකින් ද කියලා හිතන්න , තප්පර වැය කරන්න ගියේ නෑ මම.. 


තනියම ගෙයක් අරගෙන, තනියම ජීවත් වීමේ නිදහස උපරිමයෙන් විඳින ගමන්, කොරෝනා වලින් අවුරුදු ගාණකට පස්සේ ආයිත් ගෙවල් වලම නිරෝධායනය වෙන්න කියලා අදට මාසයක්.. ලැප්ටොප් එක දිග ඇරගෙන, අලුතින් ආපු වසංගතය නිසා මැරෙන මිනිස්සු ගාණ ගැන  ලියන සටහන්, හැඟීමක් නැතිව කියවන එක දිනචරියාවක් වුන එක ගැන අපුලක් තිබුණත්, වෙන මොනවා කියලා කරන්න ද.. ඉඳලා හිටලා ගන්න වීඩියෝ කෝල් එකකින් හම්බවෙන පවුලේ අය, මගේ සෞඛ්‍ය ගැන වද වීම, යුතුකමක් විදිහට මිස වෙන දෙයක් නිසා නොකරන වග මට දැනෙනවා..


සුදු පාට කොළයක් අරගෙන, මොනවා හරි ලියන්න කියලා හිතුනාම, ඔළුව ඇතුලේ හෙන ගෙඩියක් පුපුරනවා වගේ ආපු මුල්ම අදහස, "උඹ සූසයිඩල් නෝට් එකක් ලියලා, මැරියන්" කියන එක.. මේ වෙනකොට ජීවිතේ විඳින්න ඔනි, දුක සතුට දෙකම පදමට විඳලා තියෙන මට, ජීවිතේ අමුතුවෙන් දෙයක් ලැබෙන්න ඇත්තෙත් නෑ..


එළියේ මහ හයියෙන් වහිනවා ඇහෙනවා.. අම්ල වැසි, හිම වැසි, මල් වැසි, මේ හැම වැස්සක්ම සමසිතින් දරාගෙන ඉන්න, බැල්කෙනියේ තියෙන තම්බ'ජියා වැල වැහිකෝඩය එක්ක හිනා වෙනවාදෝ මන්දා..

මීට අවුරුදු ගාණකට කලින්, ආදරේ කියලා මගේ වටේට කැරකුණ වලාකුළු වගේ මිනිස්සු, දැන් මේ වැස්ස වගේ වැටිලා, හිත මහ පොළව වගේ පොඟවලා යන්න ගිහින්.. 


"ඔයාට පුළුවන් වයසට ගියාම යන්න මහළු නිවාසයකට.." නංගිගේ ලොකු පුතා ඇවිත් දවසක් කියලා ගියා..මම වයසට යන එක පිළිගත්තේ අවුරුදු විසි පහේ දි.. ඒත් ඇත්තටම වයසට යනකොට, ඒ වයසට යාම එක්ක එන හීතල පාළුව ගැන මට ඒ වයසෙදි හාන්කවිස්සියක් තිබුණේ නැහැ.. කේන්දරේ විදිහට අවුරුදු සීයක් ජීවත් වෙන්න ආයුශ තියෙන ගැන මට තියෙන්නේ දැන් නොසෑහෙන්න බයක්..


යාලුවෝ හැමෝම තමන්ගේ චූටි කැඳලි අස්සේ ගුලි වෙලා ඉන්නවා පේනවා.. ප්‍රශ්න, කරදර මැද්දේ වුනත්, ඒ කැඳලි උණුහුම් ඇති කියලා මට හිතෙනවා.. ඒත් මේ තට්ටු පහක් උඩ තියෙන පුංචි කාමරය ඇතුළේ කාලයත්, ජීවිතයත් මිදිලා ගිහින්.. දුක සතුට තරහව වගේ හැඟීම් තුනී වෙලා ගිහින් අමුතු මූසල අළු පාටක් ඉතිරි වෙලා..


"ඔයාට පුළුවන් මැරෙන්න.. ඔයාව නවත්තන්න කෙනෙක් නෑ.. දුක් වෙන්න කෙනෙක් නෑ.." කියලා ඔළුව ඇතුලේ ඉදන් කතා කරන කෙනෙක් කියනවා ඇහෙනවා..ඒත් ඇත්තම කතාව, ජීවත් වෙනවා වගේම මට මැරෙන්නත් මහන්සි ... ඒක කොයිතරම් මෝඩ කතාවක් වුනත් ඒක ඇත්ත.. 


දොරේ බෙල් එක වදිනවා ඇහෙනවා.. දොර ඇරියාම දැක්කේ තෙමිච්ච බලු පැටියෙක් වඩාගෙන දොර ගාව හිටගෙන උන්න කොල්ලෙක්.. 


"අන්කල්, මේ බලු පැටියා ස්කීම් එක ඉස්සරහ තෙමි තෙමි හිටියා.. මම ගෙදර ගිහින් අම්මලා මූව තියාගන්න කැමති කරගන්න කන් තියාගන්න පුළුවන් ද ප්ලීස්"


කට කන ගාවට හිනා වෙන ගමන් කොල්ලා, තෙමිච්ච කුක්කාව මගේ අත උඩින් තිබ්බා.. 


තම්බ'ජියා වැල හයියෙන් හිනා වෙනවා ඇහෙනවා.. කාමරේ හිම දියවෙන්න පටන් ගෙන..



Comments

Post a Comment

Popular Posts