හරිත සානුව
"ඔයාගේ මූණේ මේ සම්බන්ධය නවත්තපු එක ගැන දුකක් ගෑවිලාවත් නෑ.. මට සැකයි, ඔයා මට ආදරේ කලා ද කියලා."
බාබන්දේසියා මකරන්දයේ ගිලුණ
විසල් ගිරිදුර්ග යුවලක තුරුල්ලේ
හරිත පැහැ සානුවක නිදැල්ලේ
ඔබ වැතිර සිටින යුරු නරඹමි..
දෑස් ඉදිමී අඳුරු පැහැ වී
කඳුළු බේරී කම්මුල් තෙමී
"දුක නැද්ද ඉතින් තමුන්ට"
වලාකුළකින් අසනවා
ඇහෙනවා මට..
ඔබේ කඳුළු කරමතට ගෙන
මල් සුවඳ කම්මුලේ නවතමි,
ඔබට දුක බව හොදින් දැනදැන
කඳුළු කැට වලාකුළකට පවරමි..
මේ බිඳුණ හිත නොපෑහෙන,
විසිණු වුන කැඩපත් සියයක
දුක නේක වර්ණයෙන් දිලිසෙන,
දන්නේ නැහැ දුක් වෙන්න මම
ඔබට පේන්නට.
වලාකුළු පාවෙනා සැහැල්ලුව
ඔබට පෙනෙන්නේ එපමණය,
කුණාටුවක් තරම් දුක් කඳුළු
වලාකුළු මත හලා ඇත්තේ මමය..
පා වෙමි ඔබ සිටින
හරිත සානුවෙන් ඈතට,
කුණාටුවක් ව වැටෙන්නට
තෙරක් නැති සාගරේ මතට..
Comments
Post a Comment