කළුතර
කළුතර ටවුමේ මැද හරි කෙලින් හිටගෙන ඉන්න ඔරලෝසු කනුවටත් උඩින් බස් වල දුම් වලාකුළු පාවෙනවා පේනවා.. හැන්දෑ හය වුනත් වැහි වලාකුළු අස්සෙන් සීරුවට පෙරිලා එන ළා ඉර එළිය, කළුතර බෝධියේ බෝ කොළ උඩ රත්තරන් පාට සායමක් වගේ ඉහිරිලා තිබුණා.. බස් වල හෝන් සද්දේ, ඈතින් ඇහෙන නෑහෙන මුහුදු රැළි වෙරළ බදාගෙන කෑ ගහන විලාපේ එක්ක මුහුවෙලා මට ඇහෙන්නේ විසාල ඝෝෂාවක් වෙලා..
මට මහන්සි.. මගේ කකුළ් දෙකට තව විනාඩියක් වත් කළුතර බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන ඉන්න බැරි විත්තිය දැනුනා.. එයා එනවා කිව්වේ හවස පහට.. ඔරලෝසු කණුවේ හවස හත වදිනවා ඇහෙනවා.. ඔරලෝසු කණුවේ ඝන්ඨාව වදින සද්දයට බය වෙච්ච කුරුල්ලෝ රෑන් පිටින් මහා සද්දෙට කෑ ගහනවා.. තව දුරටත් මට හිටගෙන ඉන්න ශක්තියක් නැති නිසා හෙමින් මම කළුතර බෝධිය පැත්තට පයින් ඇවිදන් ගියා.. ෆෝන් එකේ එයාගේ නම්බරයට කතා කලාම, "ඔබ ඇමතු අංකය කාර්‍යබහුලයි " කියලා ඇහෙනකොට, මට ඇඬෙන්න ආවත්, මේ වෙනකොටත් අමුතු විදිහට මං දිහා බලන් ඉන්න රට කජු විකුණපු ඇන්ටිව තවත් අවුලෙන් අවුලට දාන්න බැරි නිසා ඉවසන් හිටියා..
එයාට තිබ්බා මට එන්න විදිහක් නෑ කියන්න..එයාට තිබ්බා ඔයා බෝඩිමට යන්න, බොරුවට ඉන්න එපා කියන්න..ඒත් එයාට ඒම කියන්න උවමනාවක් තියෙන වගක් පෙනුනේ නෑ.. පපුව ඇතුලේ පුංචි ගිනි කන්දක් ඇවිලීගෙන එනවා දැනුන නිසා, මට ප්ලාස්ටික් කලයකට පැන් අරගෙන බෝධිය නාවන්න ඔනි කියලා හිතුනා.. ඉතිබිසෝ ගාථාවේ අග මුල පැටලි පැටලී බෝධිය වටේ හෙමින් ගාටනකොට, බෝ කොළ මහ හුලඟට හෙළවිලා, "අඬන්න ඔනි නම් අඬපන්" කියනකොට, කඳුළු කළු ගඟ වගේ ඇස් වලින් කඩාගෙන ඇවිත් පැන් කළයට වැටෙන්න ගත්තා..
"ආදරේ සියල්ල උසුලාගෙන සිටියි" කියලා කොහේදෝ තැනක කියවලා තියෙනවා.. දැන් ඒවි, දැන් ඒවි කියලා මේ ගෙවිලා යන්නේ කීවෙනි පැය ද කියලා මම දන්නේ නෑ.. වැහි වලාකුළු හද්දා කළුවරේම මහ වැස්සක් වෙලා වැටෙන්න පටන් අරගෙන.. දන්නේ නැති පලාතක, දන්නේ නැති මිනිස්සු ගොඩක් මැද්දේ, ආදරයේ අවසාන ගිනි කූරත් දල්වන ගමන් මම පුංචි වහලයක් යට ගාල් වුනා..
" මොකෝ දරුවෝ මේ මහ රෑ.. ගෙදර යන්න බස් එක ගන්නද?"
ආයිත්මත් බෝධියේ ඉදන් බස් හෝල්ට් එකට ඇවිත් ඉද්ද ගහලා වගේ කෙලින් ඇස් රතු කරන් ඉන්න මගෙන් එහෙම ඇහුවේ වයසක තාත්තා කෙනෙක්..මම හිනා වුනා මිස උත්තර දෙන්න ගියේ නෑ.. ඔරලෝසු වෙලාව යනවා මට තේරෙන්නේ නැති තරමට මට දුකයි, මට වෙහෙසයි.. ඔයාට ඇයි එන්න බැරි වුනේ.. අපි ආදරේ කලා නම් ඇයි ඔයාට බැරි වුනේ සාදනීය සමුගැනීමක් දෙන්න..
බස් හෝල්ට් එකේම එළිවෙනකන් ඉදලා කියලා තේරුනේ අහස පුරා ආයිත් සායම් ඉහිරෙන්න ගන්නකොට.. කළු ගඟ ඔයාගේ හැම මතකයක්ම විසි කරලා යන්න මට ඔනි.. ඒත් ආදරේ කොහොල්ලෑ වගේ හිතේ හැමතැනම ගෑවිලා.. අහක් කරන්න මට තේරුමක් නෑ..
"පුතේ කැම්පස් ගියා ද?"
අම්මා එවලා තියෙන මැසේජ් එක දැක්කේ ඒ වෙලාවේ.. දැන් බස් එකට නැග්ගොත් අටේ ලෙක්චර් එකට යන්න පුළුවන් වෙයි..
ලස්සනයි
ReplyDeleteලක්ෂණ නැහැ
ReplyDeleteලස්සනයි වෙනදා වගෙම
ReplyDeleteWriting style eka wenas wela amaa ayye 😦
ReplyDelete