ලිලී


කොතනින් කොහොම පටන් ගත්තාද කොහොම ඉවර වෙයිද කියන එක ගැන අදහසක් ගන්න මට අමාරුයි...මම දැනගෙන හිටිය එකම දේ මහා විසාල අවුලක් පටන් ගන්න යනවාය කියන එක විතරයි...ඒ අවුල එන්නත් කලින් , ඒ කියන්නේ පෙරමන් ලකුණු වලින් පවා මම නොසෑහෙන්න කැළඹිලා..මගේ වම් ඇහැ නටනවා...දකුණු කණ කසනවා...


වායුගෝලය හරිම මෘදු විදිහට කැළඹිලා පොද වැස්සක් පටන් අරගෙන..කෝපි සාප්පුවේ චතුරස්‍රාකාර පාරදෘශ්‍ය වීදුරුවෙන් එළිය තාම පූර්ව අවධියක අඳුරකට හත් අට පොළකින් වාඩි වෙන්න ඉඩ දීලා තිබ්බා....අයිෆල් කුළුන පේන මානේ තමා මේ කෝපි සාප්පුව තියෙන්නේ..හැමදේම කම්මැලි තීන්ත බාල්දියකට වැටිලා පාට වෙලා වගේ දැනුනා..දැන් පැයකටත් වැඩියි...කෝපි එකත් සීතල වෙලා බොන්න අප්පිරිය තරමට..

ජෝජ් ආවේ පොද වැස්ස මහ වැස්සක් කරගෙන..එයාගේ මළකඩ පාට කොණ්ඩය එක අතකින් හදන ගමන් කෝපි සාප්පුවේ දොර හෙමින් වහලා දැම්මා...එයා ඇවිද්දේ දිග අඩි තියලා..ඒ දිග අඩි දිගේ ජෝජ් ඇවිත් මට සම්මුඛ අසුනේ හිස් බව නැති කරලා දැම්මා..

මම තාම එයාගේ උල් වෙච්ච නහයට කැමතියි...ඒත් ඉස්සර වගේ උල් වෙච්ච නහයට යටින් තියෙන චෙරි ලිප් බාම් රහ බලන්න දැන් නෛතිකව තහනම් වෙලා..එයා මාව දික්කසාද කරලා මේ වෙනකොට...

"ජෝජ්..ඔයා මගේ හවස් වරුවෙන් කියන්න බැරි තරම් කාලයක් නාස්ති කලා"

මම මගේ ඉන්දියානු රැවුල අතරින් ඇඟිලි අරගෙන ගියා...එයා මට සම්මුඛ පුටුවකට බර වෙලා කෝපි ඇනවුම් කලා..එයාට විතරක් උණු කෝපි කෝප්පයක්!

"අමර ඔයා දරුවගේ අයිතිය ගැන තීරණයක් ගත්තාද?"

ජෝජ් පළවෙනි තොල් සළකුණ කෝපි කෝප්පයේ ගැට්ටකින් සළකුණු කළා..

"ඔයාගේ ශුක්‍රාණු වුනාට එයා තාත්තා කියන්නේ මට"

ඒ දරුවා අපේ..ඒ කියන්නේ ජෝජ්ගෙයි මගෙයි..මට ඒ දවස් හොඳට මතකයි..අපේ කසාදෙන් හරියටම දොළොස් මාසයකට පස්සේ එක දවසක අපි තීරණය කලා දරුවෙක්ට උපතක් දෙන්න..උපතක් දෙන්න නම් ගැබක් ඔනි...ඒත් අපි දෙන්නටම ගැබක අඩුවක් තිබ්බා..ඒ නිසයි අපි අපේ බීජ වලට රෝපනය වෙන්න සරු බිමක් කුලියට ගත්තේ...අපි ඒ බිමේ මගේ බීජයකුත් ජෝජ්ගේ බීජයකුත් පැළ කලා...ඒත් ලිලී පැළයක් වෙන්න වාසනාව තිබ්බේ එක බීජයකට විතරයි...ඒ වාසනාවන්ත බීජයේ අයිතිකාරයා ජෝජ්!

එයාට නම තිබ්බෙත් මම...මට මතකයි එයාව තුරුළ් කරගත්ත පළවෙනිම වතාව...එයාගේ කම්මුළ් එක්ක බැලුවහම පුළුන් වුනත් මහ ගොරෝසුවට දැනුනා...ලිලී ජෝජ්ටයි මටයි අවුරුදු හතරක්ම එක දිගටම වසන්තය අරගෙන ආපු පුංචි සුරංගනාවී...

"අමර..මම දන්නවා ඔයා එයාට ආදරේ විත්තිය..ඒත් එයා අයිති මට...මමයි එයාගේ ඇත්තම තාත්තා"

"මේ අහන්න ජෝජ්..අයිති වෙන්න එයා ඔයා මට කාලෙකට කලින් අරන් දුන්න ස්විටරය වගේ දෙයක් නෙමෙයි...එයාගේ හැම සෛලයකම ඔයාගේ ජාන පිටපතක් තියෙන පලියට ඔයාට අයිත් වෙන්නේ කොහොමද?අන්තිමට මට ඉතිරි වුනේ ලිලී විතරයි..මට මගේ පවුලේ අය නැති වුනා...මට ආසයි අම්මා බලන්න යන්න..ඒත් මට ආයිත් ලංකාවට යන්න බැහැ...මම හැමදෙයක්ම අතෑරියා ඔයා නිසා ජෝජ්..ඔයා හදන්නේ මට ඉතිරි එකම සතුටත් උදුරගෙන යන්නද?"

දැන් අකුණු ගහන්න පටන් අරගෙන..ඒත් යාබද අසුන් වල හැම කෙනෙක්ම පාහේ නොමිලේ ලැබෙන අන්තර්ජාල පහසුකම් දුරකතනය ඔස්සේ විඳිමින් ඉන්නවා...එයාලට වැස්සත් එකයි නැතත් එකයි...එයාලට පේන්නේ නැති වෙන්න මම ඇස් වල කඳුළු දිය සීරාව පිහ දා ගත්තා..

"අමර...මම ඔයාට ආදරේ කලා..ඒත් මම දැන් ඔයාට ආදරේ කරනවා කියලා බොරු කියන්න මට බැහැ...මට මගේ දුවව ඔනි..."

"දුන්නේ නැති වුනොත්?"

ජෝජ් අත මිට මොළවලා හයියෙන් මේසයට පහරක් ගැහුවා..කෝපි කෝප්ප හෙලවෙන්න ගත්තා...

"උසාවි යන්න ලෑස්ති වෙන්න එහෙනම්"
*******************************************
මම ගෙදර යන කොට ලිලී බිම ඉඳගෙන චිත්‍ර අඳිනවා..එයා කුරුටු ගාපු හැම බිත්තියක්ම ඒ විදිහටම තියා ගන්න මම ජෝජ් එක්ක කොච්චර රණ්ඩු කලාද..පස්සේ එක බිත්තියක් විතරක් මගේ ආසව වෙනුවෙන් වෙන් වුනා..ලිලී ඉඳගෙන ඉන්නේ ඒ බිත්තියට පිට දීගෙන...

"මගේ සුරංගනාවි මොනවද ඔය
අඳින්නේ?"

"තාත්තාව....යි..ජෝජ්ව.....යි...මාවයී.."

ලිලී අපි තුන්දෙනාව පාට තුනකින් ඇඳලා තිබ්බා...මාව නිල් පාටින්..ජෝජ්ව කළු පාටින්..එයාව රතු පාටින්..

"ඇයි ජෝජ් කළු පාට ..? එයා තාත්තාටත් වඩා සුදුයි නෙහ්"

"ජෝජ් නපුරුයි"

"එහෙම කියන්න එපා...එයා ඔයාට ගොඩක් ආදරෙයි..ඔයාට ජෝජ් ගාවට යන්න වුනොත් යනවද පැටියෝ"

"නෑ යන්නේ නෑ...මට තාත්තාව ඔනිමයි"

ලිලී මගේ ලඟ ඇවිත් මට තුරුළ් වුනා..එළියේ තාම වැස්ස...ලිලී  ගාව අලුත් සුවඳයි..මම හොඳ හුස්මක් අරගත්තා..ලිලී ඇත්තටම මලක් තමා...ඒත් මට එයාට අයිතියක් ඇත්තෙම නැති තරම්..මම අනුන්ගේ ලිලී මලක් මුර කරන මුරකාරයා වෙලා..

"තාත්තා...මම දෙයක් අහන්නද?"

"අහන්න බබා"

"ඇයි මට අම්මෙක් නැත්තේ..? අපේ කොලෙජ් එකේ හැමෝටම අම්මලා ඉන්නවා..මට නෑ"

"මම ඔයාට කතාවක් කියලා දෙන්නම්..ඔයාට ඒක දැන් තේරෙන එකක් නෑ...ඒත් ඔයා ආසයි නේද අහන්න්න"

"හ්ම්ම්..ඔව් ආසයි"

"ජෝජුයි මමයි ගොඩාක් ඉස්සර හරිම ආදරෙන් හිටියා...ඒත් අපිට  දැනුනේ අපෙන් කෑල්ලක් අඩුයි වගේ...පසල් එහෙක කෑල්ලක් නැති වුනා වගේ..ඉතින් ජෝජ් සුරංගනාවියෙක්ගෙන් දුවෙක්ව ඉල්ලුවා.. ...ඒ සුරංගනාවි අපි ගැන අනුකම්පාවෙන් ඔයාව ගෙනත් දුන්නා.....ඉතින් අම්මා කෙනෙක් ඉන්න හේතුවක් නෑ..තේරුනාද?"

"තාත්තාට මම ආදරෙයි"

***********************************

මම කෝපි සාප්පුවට යන කොට ජෝජ් මම එනකන් බලන් ඉන්නවා...එයාගේ ඇස් ආයිමත් දිළිසෙන්න පටන් අරගෙන...ඒ කියන්නේ එයා සතුටින්..ඒකත් හොඳයි..

"තීරණයක් ගත්තද?"

"නෑ"

"එහෙනම් නඩු කියමු"

"අපි ලිලීගෙන් අහලා බලමු..එයා කැමති තැනක ඉඳිවි"

"එයා පොඩි ළමයෙක් අමර..ඔයා ඒක වාසියට ගත්තාද?"

"මම මගේ දරුවාව වාසියට ගනීවිද?"

ජෝජ් එයාගේ කලිසම් සාක්කුවට අත දාල යමක් හොයන්න වුනා...මුලින්ම මේසය උඩින් තිබ්බේ එයාගේ ලිප් බාම් කූර..ඊට පස්සේ කොන්ඩම් පැකට් දෙකක්..ඊටත් පස්සේ කඩදාසි තුනක්..හතරට පහට නවපු..

"මේ තියෙන්නේ ඉන්විටේෂන් එකක්...ලබන මාසේ මම එන්ගේජ් වෙනවා.."

"ඉතින් එයාට කියලා ඔයාටම කියලා ළමයෙක් හදාගන්න පුළුවන් නේද?"

"මට මගේ ලිලීව ඔනි..එච්චරයි"

ජෝජ් පුටුවෙන් නැගිටලා යන්න ගියා..අන්තිමට ඉතිරි වුනේ බාගෙට බීපු කෝපි කෝප්පයකුයි , කොන්ඩම් පැකට් දෙකකුයි, ලිප් බාම් කූරකුයි මායි විතරයි...තව එන්ගේජ්මන්ට් ඉන්විටේශන් එකත් මගේ එක අතක ගුලි වෙලා..අන්තිමට ඉතිරි මාව විතරයි!!

Comments

  1. බොහොම ලස්සන ලියවිල්ලක්.... මේවට කොහෙන්ද හලෝ තොරතුරු හොයාගන්නේ???

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් වලට තොරතුරු හොයාගන්න කියවන එකම තමා උදව් වෙන්නේ අක්කෝ...ගොඩක් ස්තූතියි. ^_^

      Delete
  2. පස්ටයි පස්ටයි පට්ටෙං හොදම එකයි..
    සුපරබ් මචෝ

    ReplyDelete
  3. ඕං මාත් මේ පැත්තේ ආවා . ලස්සනයි ගොඩාරියක් !!!

    ReplyDelete
  4. ඕං මාත් මේ පැත්තේ ආවා . ලස්සනයි ගොඩාරියක් !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ආදරෙන් පිළිගන්නවා ^_^

      Delete
  5. ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  6. ආනන්දයෙන් ඇරඹිලා වේදනාවෙන් මිරිකිලා හිස්කම ඉතිරි කළ තවත් මනුෂ්‍ය සම්බන්ධතාවක්...

    හොඳ ලිවීමක්...

    ReplyDelete
  7. ලස්සනට ලියලා.

    ReplyDelete

Post a Comment