එයා අභස්සර!!
පොළව ගිනි අරගන්න පටන් අරගෙන..හැම කෙනෙක්ම ජල වාෂ්ප වෙලා අභ්‍යාවකාශ ගත වෙලා...ඉතිරි වෙලා හිටියේ මමයි එයයි විතරයි..තව ඔයත් ඉතිරියි..නැත්නම් මම කියන දේ ඔයාට ඇහෙන්න විදිහක් නැහැ...
එක හර්දස්පන්දනයට පස්සේ පූර්ණ හර්ද් විස්තාරණීය ලීලාවෙන් හදය වස්තුව විවේක ශ්‍රීයෙන් ඉන්න වග දැනෙන එකත් සනීපයක්...මම උන්නේ සීගිරිය පාමුළ අප්සරාවක් අතින් වැටිච්ච මලක් වගේ..ඒ හරියේ දූලි වලට මම නියඟයේ පාට අරගෙන..කතාවක් අහන්න ලෑස්තියෙන් ආවා නම් මෙතනින් හැරිලා යන්න පුළුවන්...නැත්නම් මම ආයිත් එනකන් මෙතනම ඉන්න පුළුවන්..ඔයාගේ කැමැත්ත..ප්‍රජාතන්ත්‍රවාදය!!
මෙතන හතරමං හන්දිය..මේ කොයි පාරෙන් ගියත් අන්තිමට වෙන්නේ අතරමං වෙන එක..ඒත් අහඹු දේවල් ජොලි..අපි හරි ජොලි මිනිස්සු...කාසියක් උඩ දාමු..පොල්ල වැටුනොත් දකුණට..සින්නා වැටුනොත් උතුරට..දෙකම නොවැටුනොත් නැගනහිරට...
එයා ඇවිත් හිටියේ ආභස්සර බ්‍රහ්ම ලෝකෙ ඉඳන්...මාව නම් මවලා තිබ්බේ ඉළ ඇටයකින්..පිරිමි ඉළ ඇටයකින්..දෙයියන්ට ඔප්පුවෙන්න පිරිමි ලඟ ගෑනු ගති තියෙන්නේ ඒකයි එහෙනම්..මේ දැන් වෙනකන් මට ඒක අමතක වෙලා තිබ්බේ කොහොමද..
අපි හිටියේ සයිවර් කඩයක තාම සෝදපු නැති පිඟන් දෙකක් වුන්න මේසෙක...මැස්සොත් හිටියා..මැස්සියොත් හිටියා...මම මේ කියන්නේ ගොඩක් ඉස්සර දෙයක්..කළබල නොවී ඉන්න...අන්තිමක් හොයන්නේ නැතිව මගේ අතින් අල්ලගෙන එන්න..
"තෝසෙද ඉට්ලිද අලබෝලද උඳුවඩේද"
"උඳු වඩේ දෙකයි තෝසෙ එකයි අල බෝලයයි"
"බඩක්ද මුහුදක්ද තියෙන්නේ?"
"මුහුදක් වගේ බඩක්..සල්ලි නෑ නේද එච්චර කෑම ගන්න"
"දන්නේ කොහොමද ඔයා ඒක"
"මම දන්නවා...ඔයාගේ ඇස් කියවන්න"
ඒක මහ බොරු කතාවක්..මම ඇස් කියෙව්වේ නෑ..බුද්ධිමත් අනුමානයක් කලේ..ඒත් මේ වගේ කියන කොට එයා ඒක ඇත්තට ගන්නවා...මටත් මොකෝ..
අල බෝල දෙකක් ගත්තේ නෑ..අපි අල බෝලයක් විතරයි අර ගත්තේ..නොමිලේ කොළ පාට සම්බෝල හම්බුනා..නොමිලේ වතුරත් හම්බුන බව කියන්නම ඔනි..
අපි කෑම කෑවට පස්සේ හුස්ම ගත්තෙ බඩ පිරෙන්න...මොකද මුහුදක් වගේ බඩකට රොඩ්ඩක් වගේ අලබෝලයක් ගහගෙන ආවට දැනෙනවද...අපි සීරුවට හුස්ම ගත්තා..එකායි..දෙකායි..
දුම් පිඹින ආතර් රජ කාලේ මකරෙක් පිටේ නැගලා යන ටයි කෝට මහත්වරු මැද්දේ අපිට හම්බුනේ "නිකම්මු" ලේබලය...ඇත්තටම අපි නිකම්මු නෙමෙයි..අපි එක්තරා යුගයක එක්තරා කතාවක් කියන්න ඉතිරි වුන අය...ඒත් ඒ කතාව අහන්නවත් කිසිම කෙනෙක් නොහිටපු නිසා අපි කතා කරන්න අවස්ථා ඉල්ලුවේ නෑ..
අපි අතර තිබ්බේ ඩෙල්ටා ප්‍රමාණයේ ප්‍රේමයක්..ඒ ඩෙල්ටා ප්‍රමාණය සෑහෙන්නේ ඇඳ බෙදා ගන්න විතරයි..ජීවිතය බෙදා ගන්න නෙමෙයි..කැමති නම් උරහිස් බෙදා ගන්න..කඳුළු බෙදා ගන්න ඒ ඩෙල්ටා ප්‍රමාණය සෑහෙනවා...අපි ලැබුණ දෙයින් පිරිමහ ගත්තා...
පර්සියන් පූසියෝ ගාව ප්‍රංශ රෝස සුවඳයි..එයා වුනත් හැරිලා බලනවා...බෙල්ල කරකවන්නේ නැතිව පූසියෝ දිහා බලන්න එයා දක්ශයි..
***********************************
"අපි තාම කන්දේ මැදටවත් ඇවිත් නැහැ.."
"ඒත් මට මෙතනින් එහාට පේන්නේ පල්ලම.."
"එහෙනම් පනිමු"
ඊට පස්සේ හැමදේම නිල් පාට වුනා...මට හුලඟ දැනෙන්න පටන් ගත්ත මුල් වතාව..පස්සේ අපි මෙතනට ආවා...එයා ආභස්සර ඉඳන් ඇවිත් තිබ්බේ..ඒ මෙතනට වෙනකන් මම දැනන් හිටිය කතාව..
***********************************
"ඔෆිස් ඇඳන් එන්න එපා සාරී..කරදරයි ඔව්වා"
"ඔකේ සර්"
"සර් කියන්න එපා කවුරුත් නැති තැන..ඉස්සර දවස් මට මතකයි තාම...අපි කන්දෙන් පැනපු හැටි එකට"
"සර්ට වැරදිලා..අපි පැන්නේ පල්ලමකින් නේද"
"දැන් යන්න..ඉතිරි ෆයිල්ස් ටික චෙක් කරලා ගේන්න"
මම ඉළ ඇටයකින් උත්තානය වුන එකයි වරද..ඒකත් පිරිමියෙක්ගේ ඉළ ඇටයකින්..!!
දැන් හැම කෙනෙක්ම අභ්‍යාවකාශ ගත වෙලා...මම විතරයි ඉතිරි..එයත් ඉන්නවා..පොළවෙත් නොවෙන අහසෙත් නොවෙන තැන..බිමට බැස්සොත් එයාට බ්‍රහ්ම ලෝකේ අතහැරෙනවා..උඩ හිටියොත් මාව අතහැරෙනවා..මට කොයිකත් එකයි..මම කොහොමත් අතහැරිලා..අමුතුවෙන් අතහැරෙන්න දෙයක් නෑ..!
mamath me blog ekata aawaaaaaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!!!!!
ReplyDeleteAmaa meka niyamayiiiiii !!!
ඔය ඉළ ඇට කතාවට මෛත්‍රීමූර්ති හාමුදුරුවො මරු කතාවක් කියනව..))
ReplyDeleteපිරිමින්ගෙ ඉළ ඇටවලින් ගැහැණු මැව්ව නම් මේ ලෝකෙ පිරිමින්ගෙ ඉළ ඇට ඔක්කොම මේ වෙද්දි ඉවර වෙලා තියෙන්න එපැයි කියල..))
ඔබේ කතා වෙනස්.ඒ කතා ඇතුළෙ සුන්දරත්වයක් තියෙනව.. දිගටම ලියන්න..