පුද්ගලික කඳුළ

පැරණි වණයක් ඉතිරි තන්තුවකි හදවතක
පිරිමදින විට දෑස නිරන්තර සුසර වෙන
වෙදගිල්ල තෙරපනා මුදුවකට යටින් තව
පුද්ගලික කඳුළක්ය රහසිගත රිදුමක්ය





කල් ඉකුත් වෙලා ගිය පර්ෆියුම් කුප්පියක
සදාදර සුවඳක්ය නාස් පුඩු තිගස්සන
මඟුල් සාරිය යටින් සීරුවට අඩුක් කර
බලා ඉමි හිත් සකුණ මුදා හැර අතීතෙට




මහ පාන්දර නැගිට ලිප තබා කේතලය
අවුළුවාලමි මතක උතුරවා ගමි වතුර
පෙරලිලා ගිය පැත්ත "යහපති" සිතා මම
දිවා රෑ වෙහෙස ගෙන මක මකා අඳිමි නුඹ




ගොම්මනත් වඩාගෙන ඔහු එද්දි මා ලඟට
තවරගමි පුයර කම්මුළෙ කැළලි මැකෙන්නට
නුඹය ඒ නුඹය යැයි යට හිතට කියා මම
සිපගනිමි මුදුව ඔහු, කළුවරම මහ රෑක

Comments

  1. සුමට අදහසක්...

    පොඩි වචනයක් කියන්න කැමතියි. අන්තිම වාක්‍යයේ විරාම ලක්ෂණ තිබුනා නම්, රසවින්දනය නොකඩා එකවරම කියන්න තිබ්බා නේද?

    //සිපගනිමි මුදුව ඔහු කළුවරම මහ රෑක
    කියන එක

    //සිපගනිමි මුදුව ඔහු, කළුවරම මහ රෑක
    කිව්වා නම් වඩා තිව්රයි නේද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි උපේක්ෂා අක්කේ..කියවලා රස විඳින ගමන් අඩුපාඩු පෙන්නලා දෙන එකට..ඔව් නේද...ඉන්න මම ඒක හදන්නම් :)

      Delete
  2. ලස්සනයි, දිගටම ලියන්න.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  3. ලත්තනයි, දිගටම ලියන්ඩෝ.

    ReplyDelete
  4. හිත් සකුණ මුදා හැර අතීතෙට.. සුන්දර රූපකයක්.. මතක අවුළුවාගැනීමත් ඒ වගෙයි..

    තව පාරක් එඩිට් කරලා ගත්ත නම් කවිය තවත් ප්රබල වෙයි කියා හිතෙනවා.

    ReplyDelete

Post a Comment