ඕපපාතික ප්‍රේමය


නියෝන් එළියක් වුනත්
මහා සඳ එළියට වඩා අවංකව
බිඳී ගිය ජනෙල් වීදුරුවකින්
පෙරී විත් නවාතැන් සොයා ආ
අඳුන් පැහැ යාමයක

මම හිටියේ තනියම
හද්දා පාළු සයනීය ඇතිරිලි මත
සද්දාවන්ත නුඹෙ මතක
සිහින් සැතකින්  අවුල් කරමින්
එහාටත් මෙහාටත් පෙරෙළෙමින්
සද්දන්ත යුගල සයනයක

පසෙකින් පිත්තල තසිමක
ලාෆ් බුද්ධා පිළිමයක් හිටගෙන,
අනෙක් පස කැඩපත
අඳුරු පැල්ලම් දාරගෙන
සිහින් කෙඳිරිලි ප්‍රතිබිම්භ
මවා නැතිකර පුළුස්සන,
මම
හරියටම මැද,
කාලයේ මුල්ලක
අතීතෙට වහා ඉහළින් වැතිර.


මරාගෙන මැරෙන්නම ඉපදුන
ඕපපාතික ප්‍රේමයක
කළළ බන්ධය අතින් පිරිමැද
රිදුම් ඉවසා ගත යුතුය
හෙටින් පසු මේ සයනය
දෙකඩ වී යනු නියතය

නුඹ දා සුවඳ ඉහිරුණ
සුවඳ විලවුන් කුසලාන
ගෙවී ගිය බාට පාවහන් වල
ඇලුණ මා වැනි වැලි කැට
මතක සැමරුම් කඳු වල
පුංචි පුංචි කඳු ගැට

හෙටත් අදත් අතරින්
ටිකක් දිග දහවලක් ඇති
රැය හුස්මක්ව කෙටි වුන
දිනක් හැකිනම් මිලට ගන්නට

හෙටින් පසු අතහරින තෙක් හුස්ම
බාගදා ඊටත් පසුවට සදහටම
වෙන කෙනෙකු වෙනුවෙන් සැරසී,
ඔහුගේ ආටෝප කුටියේ ඩමියක්ව,
ආත්ම හතක් එක දිගට
සිනහ වී සිටිය යුතුව ඇත!!



Comments

  1. ලස්සනයි අමා................

    අතන හද හදා වෙන්න ඕනේ නේද?????? පොඩි මිස්වීමක් පෙන්නුවේ.... කවිය පට්ට..

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ කුරුටු <3
      මම ඒක හැදුවා ඔන්න ^_^

      Delete
  2. දෙකඩ වී යන සයනයක
    වැතිර දුකම වළඳිනු කුමට
    කඩා බිඳ දා රැහැන් පට
    ඈත ක්ෂිතිජෙක සැඟව යනු මිස

    ReplyDelete
    Replies
    1. දුක පවා කිණිසි ලෙස රිදවන
      අදිසි ප්‍රේමයක බරපැන
      නැවත හරවා යැවිය නොහැකිය
      දෙකඩ මුත් සයනය
      වැතිර ගැනුමයි උරුමය!!

      Delete
  3. අලුත් ඇතිරිල්ලක් එලා සයනත
    පිළිගත යුතුව ඇත
    හෙට නැවුම් හිරු කිරණ
    ඉතින් සඳ නුඹ බැස යන්න..

    ඇගේ මතකයෙන් දුරස් වන්නට
    හිරු කිරන යට ඉඩ දෙන්න
    ඉතින් සඳ නුඹ බැස යන්න..

    ReplyDelete
    Replies
    1. ඉතින් සඳ නුඹ බැස යන්න
      ටිකක් දහවල් වෙනකන්
      උදා තරුවක් ඉතිරි කර
      පෙරදිගට මුහුණා තියෙන
      කවුළු වීදුරුව මත

      Delete
  4. මේ බුහුටි වියමන්
    කොහේසිට එන්නේද
    සිතනු වුව උගහටය......

    ReplyDelete

Post a Comment