උපකුලක

එකදහස් නවසිය අනූ පහේ
වප් මස
එකුන්විසිදා- හවස හා රාත්‍රිය අතර
හතරේ හෝරාව


ජනේලයෙන් එළිය , උඩ තට්ටුවේ මහ පාරට මූණ දාගෙන ඉන්න ජනේලයෙන් එළිය හැමදේම සන්සුන් කළඹලයකින් පවතිනවා...ජනේලයෙන් ඇතුළත, කොහු  වුනත් ටෙඩි බෙයාර් මුද්‍රිත ඇඳ රෙද්දකින් වහපු මෙට්ටයක් උඩ  වාඩිවෙලා ජනේලයෙන් පිටත  කුංචනාද කරන වාහන දිහා බලන් ඉන්න මම පවතිනවා...හැමදේම සුපුරුදු විදිහට තියෙන එක එක්තරා වේදනාවක් , පපුවේ මැද, ඔව් අයියේ මගේ පපුව මැද හරියේ එළියට එන්නට බැරි කමකින්  හිරිවැටිලා..
මට අවුරුදු දහනවයයි...ඔයාට අවුරුදු තිහක් විතර..සමහරවිට තිහට ලඟ විසි ගානක වයසක් ඇති... දහනවය , නපුරු නමයේ ඉලක්කම ගැන දැන ගන්න කොට ගොඩක් පරක්කුයි...මම ඇවිද්දේ, හිනා වුනේ කෑවේ,  ලැට් එකට ගියේ, නෑවේ හීනෙන්..කවුරු අවදි වෙන්න කිව්වත් අවදිවෙන්න තියෙන ඔනිකම ඒ වෙනකොට පහළ වෙලා තිබ්බේ නැහැ..
ඔයා අවේ මම හීනෙක ජීවත් වෙන කාලේ...හැමදේම යහපත් වුන, යහපත් කාළගුණයක් තිබුන මැයි මාසේ..මම හිටියේ තනියම හීනෙන් ඇවිදින එකෙන් හෙම්බත් වෙලා..ඔයා ආවේ ලොකු රතු රෝසමලකුත් අරගෙන බොහෝම කැමැත්තෙන් පාළු මකන්න... හැමදේම, බොහෝම ක්ෂුද්‍ර හේතු පවා වියනොහැකි තරම් යහපත් වුනා...මම හිතුවේ ඒ හැටි කියලා...ආදරේ කියලා කියනකොට හිත නිකන් පාවෙන සබන් බෝලයක් වගේ වෙන එක හැටි කියලා...
අයියේ ඔයාට මේ දේවල් මතකද..ඔයාට හරි නරක විදිහට දින අමතක වෙනවා, විශේෂ දින තමා විශේෂයෙන් අමතක වෙන්නේ..හරියට මගේ උපන් දවස වගේ...බාගදා ඒක එච්චර වැදගත් නැති නිසා කැමැත්තෙන් අමතක වෙලා වගේ හැසිරුණා වෙන්නත් පුළුවන්...ඒත් එහෙම දෙයක් හිතෙන කොට , මේ දැන් , මේ මොහොතේ පවා දැනෙන්නේ වචනගත කරන්න බැරි වෙහෙසක්... ඔයා මගෙන් බලාපොරොත්තු වුනේ දකුණු ආසියාතික යහපත් බිරියක්..අපේ සම්බන්ධෙදි "බිරිය" කියන වචනේ හරියනවාද අයියේ...ඒක ස්ත්‍රී ලිංග පදයක් නේද? මම කොහොමද ස්ත්‍රී ලිංග පදයක් පාවිච්චි කරන්නේ..

අයියේ මම ඔයා නැගිටින්න කලින් තේ එක ලඟට ගෙනත් දෙන්න බලන් හිටියා..ඇඳුම් ස්තිරික්ක කරලා ටයි පටිය බෙල්ලට තද වෙන්න ගැට ගහලා ඔයාව ඔෆීසියට පිටත් කරලා උළුවස්ස ගාව ඉදන් "ටටා" කියන්න බලන් හිටියා...ඒ හීන වල ගස් වැල් මල් නෑ...අපි දෙන්න විතරයි..මම හිතුවේ පැනලා එන්න ඔයත් එක්ක..ඔයාත් උඩින්ම කැමත්තෙන් හිටියේ...ඔයා කිව්වේ වෙන රටකට ගිහින් කසාද වුනත් බඳින්න පුළුවන් කියලා...ඉතින් මම බණ අහනවා වගේ අහගෙන හිටියා...පස්සේ හයියෙන් සාදුකාර දුන්නා...ඔයා මට මවලා පෙන්නුවා අලි කොටි වලස්සු...හුරතලේට ඇති කරන්න ඇත්තු...මම හිතුවේ ඔයා එක්ක ආවාම ඔක්කෝම හරි කියලා...මම හදවත දෙපාරක් නොහිත ඔයාගේ අතට දුන්නා..මට වැරදුනා..


ඒක ලස්සන හීනයක් තමා..ඇහැරෙන්න ලෝභ හිතුනත් දවසක් ඔයාමත් ඇවිත් ඇහැට ඇඟිල්ලෙන් ඇනලා ඇහැරවපු..
නිදාගෙන සිටීමේ ප්‍රීතිය සැහැල්ලුව අවදිවීම එක්ක නැති වෙලා යන එක,ඒක තමා ඇත්තටම සත්‍ය ඇතිසැටියෙන් හෝ ඊට අඩුවෙන් දැකීමෙන් හා දැනීමෙන් ඇතිවෙන වේදනාව...ඒ වේදනාව වුනත් ආවේ හරියට ෆිල්ම් එකක වගේ හරි පිළිවෙලට...ඔයාට ඔනි වුනා යන්න...බාගදා මගෙන් නැත්නම් මා වටා හැමදේකින්ම...ඔයාට  ඔනි වෙලා තිබ්බා පරම්පරාවක් ගෙනියන කිරි වෘක්ෂයක්...මම වද ගහක් විත්තිය ඔයා සීරුවට මතක් කලා...සමාජයේ තුලිතතාවය ගැන,දහය වසර ප්‍රජනනය විද්‍යා පාඩම ගැන, සිඟාලෝවාද සූත්‍රයේ දෙමාපිය යුතුකම් ගැන ඔයා  නොනවත්වාම කතා කලා...මම හිටියේ හොඳටෝම බිඳිලා...හදතක් බිඳෙනවා කියන්න් එක කකුළක් කැඩෙනවාට වඩා දරුණුයි...
අන්තිමට ඔයා ගියා... විරහව කියන්නේ සෑහෙන කල් ගිහින්වත් හොඳ නොවෙන බෙහෙත් අහන්නේ නැති තුවාලයක්...මම ඇඬුවා...නිදාගන්නේ නැතිව කල්පනා කළා...ඔයා පෝරුව උඩට නැගලා ආයිත් බැහැලා ඒවි කියලා හිතුවා...අන්තිමට මම තුවාලය උඩින් කාලයේ පැලැස්තරය පරිස්සමින් ඇලෙව්වා...


මම ඇහැරලා හිටියේ...මම පස්සේ දැන ගත්තා ඔයාගේ පරම පිවිතුරු ප්‍රේමය පැනේරියාවෙක් වගේ විත්තිය...එකම වගේ ප්‍රේම පිටපත් ගොඩක් හැමතැනම පතුරවලා තියෙන විත්තිය...එක සැරයක් රැවටුණාම ඊලඟ සැරේදි හැමදේම සැකය කියන උපැස්  අස්සෙන් පේන්න ගන්නවා...මිනිහෙක් හොයාගන්න එක , ඇත්තටම මිනිහෙක්ව ඔනිම වෙලාවක හොයාගන්න පුළුවන්..ඒත් නිකන් ලපන් සිපන් මිනිහෙක්ට හදවතේ තුවාල සුවකරන ජීවක බලයක් තියෙන්න පුළුවන්ද...

අයියේ..ඔයාගෙන් පස්සේ එයා දෙවනියා...එයා ආවේ මම ඇහැරිලා ඉන්නකොට...එයා හිටියේ කූඩුවේද මම හිටියේ කූඩුවේද කියන්න මම තාම දන්නේ නෑ..

එයා කතා කලේ අපි කාටවත් තේරුම් ගන්න පුළුවන් භාෂාවක් නෙමෙයි...ඒත් මම ඒ නොතේරෙන දේවල් අස්සෙන් දැක්කේ පුංචි නෙල්ලි ගෙඩියක් වගේ කොල්ලෙක්ව... එයා මට ආදරේ කිව්වෙත්  කරදිය වළල්ලයි ක්ෂීරපථයයි සොක්‍රටීස්වයි කළවම් කරලා...මම පරණ වෙච්ච තුවාලේ පාඩ්ඩන එක නවත්තලා එයාගේ නොතේරෙන කතා, හදිස්සි හාදු  වලින් මට මමම බෙහෙත් කරගන්න පටන් ගත්තා...ඒ වෙනකොට එයාට ගෑනු ළමයෙක් හිටියා...ආදරේ කරන්න වගේම එයාව අරපරිස්සම් කරන්න එයා බැඳිලා හිටියා..මට තිබ්බේ එයාගේ කඳුළු පිහින්න, එයාගේ නිවාගන්න අමාරු ගිනි නිවන්න....

එයා කිව්වේ ගේ ලවර් කෙනෙක්ට ගොඩක් දේවල් ඉවසගෙන ඉන්න පුළුවන් වෙන්න ඔනි  කියලා...හරියට එයා වෙන කෙනෙක් කිස් කරන කොට සමසිතින් ඉන්න ඔනි කියලා..ඒක නම් මට හොදටෝම අමාරු වුනා...ඒත් මම ඉවසුවා....ඉතින් එයා මට බල කරලාම  කිව්වේ  එයා වෙනුවෙන් ඉවසීම යුතුකමට එහා ගිය පරම වගකීම කියන එක... ප්‍රේමය එයාගෙන් හිල් වෙලා වැගිරෙන්න පටන් ගත්ත දවසක එයාගේ ගෑනු ළමයා කතා කරලා මාව වගකීමෙන් නිදහස් කලා...ආයිමත් හදවත ඉරිතැලුවා..පළමු සහ දෙවැනි ඉරිතැලීම් හාවුනා...
දෙවියන්වහන්සේගේ මැවීමේදි උන්වහන්සේ කරපු අත්වැරැද්දක් විදිහට අපිව මැවිලා තියෙනවාය කියලා ඉස්සර බ්‍රිජෙට් එකට ඒ ලෙවල් කරන්න ගියපු මේරි කියනවා...එයා එහෙම කියන්නේ ඉස්කූල් වෑන් එකේ අනිත් අයටත් ඇහෙන්න හයියෙන්..එතකොට කට්ටියක් ඇස් ලොකු කරලා මං දිහා බලනවා..සමහරු බෝතල්, පෑන් පැන්සල් වගේ දේවල් වලින් ගහනවා... ඒ දේවල් හුරුවෙනවා...කාලයක් එකම දේකින් බැට කනකොට , හිත රිදෙනකොට අපි හුරුවෙනවා...

පිරිමි ළමයි ගොඩක් මැද්දේ කැපී පේන උපකුළකයක් වීමේ අභාග්‍ය වහගන්න මට වගේම තිමිරට විකල්ප පෙනුනේ නෑ...අපි පංතියේ ඉස්සරහම පුටු තෝර ගත්තේ ආරක්ශාවට...තිමිරටයි මටයි තිබ්බේ එකම ප්‍රශ්න..අනිත් පිරිමි ළමයින්ගෙන් වෙන තාඩන පීඩන ඉවසාගෙන ඉන්න අපි දෙන්නට අපි දෙන්න උදව් කරගත්තා...මටත් තිමිරටත් ඔනි වුනේ මානුශික සැළකිලි..ඒත් ගුරුවරුන්ගෙන් වත් ළමයින්ගෙන්වත් එහෙම දේවල් බලාපොරොත්තු වෙන්න බැරි වුනා...අපිව හොයාගෙන කරදර ආවා..
එයා අදටත් මගේ හොඳම යාලුවා...එයත් මං වගේ, හදවත කිහිපවරක් බිඳිලා ගියාට පස්සේ තමන්ගේ ගැඹුර අතපත ගාන්න පටන් ගත්ත...අපි දෙන්නා කෝපි බිබී එළිවෙනකන් කතා කලා...ගොඩක්ම කතා කලේ ඉස්සර කොල්ලන්ගේ හැඩරුව ගැන... අද වෙනකොට හැමදේම වෙනස් වෙලා...එයා තීරණයක කරලා තිබ්බා නැවත හදවත නොබිඳෙන විදිහට රැකගන්න...අපි පුංචි කාලේ වගේ අත් අල්ලගෙන පිරිමි ළමයින්ට කොහෙත්ම නොගැලපෙන තාලෙකට සාප්පු සවාරියක් ගියා...අයිස් ක්‍රීම් කෑවා, අච්චාරු කෑවා..අන්තිමට බදාගෙන හොඳටෝම ඇඬුවා...එයාට තව කල් ඔනි වෙයි...හදවතක් බිඳෙන්නේ සදාකාලික වේදනාවක් ඉතිරි කරගෙන...ඉතින් අපි දෙන්නටම තව කල් ඔනි වෙයි..
අයියේ අද මම ඔයාගේ නෝනව දැක්කා...ඇත්තටම මුලින්ම දැක්කේ නෝනව...පස්සේ ඔයාව..ඊටත් පස්සේ ඔයාගේ පුතාව...පුතා ඔයාවගේ වුනාට අම්මාගේ පාට...නෝනා නම් දැන් නොසෑහෙන්න මහතයි නේද....එයාගේ මූණේ හරි වෙහෙසක් තිබ්බා...ඔයා තාමත් ඒ වගේ...පොඩි බඩක් ඇවිත් තියෙන එක විතරයි වෙනසකට තියෙන්නේ...
ඔයාව ඈතින් දකින කොට මට දුක හිතුනා...හදවතේ හොඳ වෙලා කියලා හිතාගෙන හිටපු තුවාලෙන් ඕජාව ගලන්න ගත්තා...නෑ අයියේ මම ඇඬුවේ නෑ...අඬන්න ඔනි වුනත් දැන් හිතලා හිතලාවත් අඬන්න බැරි ගතියක් තියෙනවා...ඔයා මාව රවට්ටලා කකුළෙන් ඇදලා පාතාලෙට තල්ලු කළා..ඇත්ත..ඒත් එහෙම වුනත් ආදරේ හිතිච්ච කෙනෙක් වෙනුවෙන් හිතේ රස්නයක් ජනනය වෙන එක හරි පුදුමයි..තිමිර කියන්නේ ඒක තමාලු මායාව..සංසාරේට අපිව බන්ධනය කරලා  තියෙන...ඔයා මායවක් තමා..මම තමා රැවටෙන්න කැමැත්තෙන් හිටපු මෝඩයා..

ඔයා දන්නවද අයියේ..මේ ජනේලෙන් එහා පැත්තේ, හැම කොන්ක්‍රීට් ගොඩකටම ඉහළින් දේදුන්නක් පායලා තියෙනවා...මමයි  තිමිරයි, අපි දෙන්න යන්නේ මේ දේදුන්න පටන් ගන්න තැන හොයාගෙන යනවා වගේ ගමනක්...කොච්චරක් වෙහෙස වුනත් නතර වෙන්න බැරි ගමනක්...හදවතේ ලොකු සිදුරක් හදාගෙන ඒ සිඳුරේ ඇතුළේ හැඟෙන්න බැරි තරම් අසරණ කමක් එක්ක යන ගමනක්...ඔයාට අලුතින් තටු තියෙනවා දැන්....කමක් නෑ පියාඹන්න...තරහක් නෑ හිතේ, දුක නම් එහෙමමම තිබ්බත්...

මේ කාමරය අම්මා තාත්තා දෙව්ලොවට ගියාට පස්සේ තනිවෙච්ච මට බොහෝම සුවපහසුවෙන් ඉන්න ලැබිච්ච..ඒත් මෙතනට පේනවා මුහුද..මුහුදේ සීමාව ක්ෂිතිජය...මුහුද පේන කොට මතක් වෙනවා ඔයාව, එයාව...මම බොහොම සාවධානව මගේ වටේ කැරකෙන්න පටන් අරගෙන..දැන් මම හවසට භාවනා කරනවා...උදේට ත්‍රිපිටකය කියවනවා...
ඉතින් තව කොච්චරක් ලිව්වත් අන්තිමට දුක..ඒක තමා ඇත්ත...අපි සතුට හොය මාර්ග දිගේ දුවලා දුවලා ඇවිත් නතර වෙන්නේ දුක කියන කාන්තාරේ මැද්දේ...මම දැන් ඉන්නේ ඒ කාන්තාරේ ඔටුවෙක් පිට..ඉතින් අයියේ ඔයා කවදා හරි දුවලා දුවලා හති වැටුනාම මගේ ඔටුවාගේ පිටට නගින්න..මම බලන් ඉන්නම්!!

Comments

Popular Posts