සැණෙලි වියුම්..

“සැණෙලි”  යන වචනය මට සිහි කරනුයේ අහසේ එක වර දැල්වී එසැනින් නිවී යන අකුණුය. අනිල් හේරත්ගේ  “සැණෙලි වියුම්” මා කියවන්නට පටන් ගන්නේ අකුණක් බලාපොරොත්තුවෙන් වග කියව යුතුය.මගේ බලාපොරොත්තු ඉටු කරමින් අනිල්  “අකුණු” වියමනක් මා සන්තක කර ඇත. මේ සටහන අකුණක්  මෙන්  නිමේශයක් දැල්ව නිවී ගොස් ගිගුරුමක කම්පනයක් ඉතිරි කරන කෙටි කතා දහතුනක්  (නපුරු ඉලක්කමක් හැබැයි)  කොළ අතර  අකුරු වී ඇති  “සැණෙලි වියුම්” නම් කෙටි කතා සංග්‍රහය පිලිබඳවය.


“සැණෙලි වියුම්” කංචුකයම මට නම් කෙටි කතාවකි.එහි සිටින කොට කලිසම්කාරයා  බලා සිටින්නේ නිදා සිටි ඇඳක ඇඳ රෙද්ද මෙන් රැලි නගන මහ මුහුද දෙසද  නැත්නම් උස සහ පහත තලවල අතු විහිදවා ගත් කොන්ක්‍රීට්  වනාන්තරය දෙස දැයි මම තවමත් නොදනිමි.ඔහු දුකෙන්ද, සතුටෙන්ද,කෙටි කතා පොතක ඉදිරි පස පිටුවක සිටීම නිසා තරමක් ලජ්ජාවෙන් දැයි කියා මා නොදන්නේ ඔහුගේ මුහුණ මා හට නොපෙන්වන නිසාය.ඔහු කිසිදාක ඔහුට සිතෙන දෑ පැවසීම නොකරනු ඇත, නමුත්, අපිට සුන්දර අනුමානයන් ඔස්සේ මනස අයාලේ යැවීමට ඔහු කදිම හේතුවක් බව මට සිතෙයි,ඔබටද එසේ සිතීමට සහ නොසිතා සිටීමට අයිතියක් ඇත්තේය.මම මේ කංචුකයට ඉතාමත් ආදරෙමි.

අනිල් ඔහු ලියා ඇත්තේ කෙටි කතා බව තැන් කිහිපයකම අවධාරණය කලද , මම වැනි මුරණ්ඩු කියවන්නන් ඔබ කියන කියන   දෑ පිළිගනී යැයි සිතනවා නම්,ඔබ අදහස වෙනස් කරගත යුතු කාලයයි අනිල්. මට මේ ‘කෙටි කතා’ කෙටි කතා වලටත් වඩා දිගු කවි මෙන් දැනෙයි.මම කෙටි කතා නැවත නැවත කියවන්නේ කලාතුරකින් වුවත් කවි නම් නිතර එලෙස කියවා රස විඳිමි. “සැණෙලි වියුම්” මම මේ වන විටත් කිහිප වරක්ම කියවා ඇත්තෙමි. මට “සැණෙලි වියුම්”  පළමු වර කියවීමේදී දැනුන දෑ දෙවන වර දැනුනේ  බොහෝ වෙනස් ලෙසය. තෙවන වර මට සිතීමට තවත් මාවතක් විවර වී පෙනෙයි.


අනිල් යොදාගෙන ඇති භාෂාව සුමටය. මහා වැස්සකට පසුව හමා යන තෙත් සීතකින් භාෂාව පෙඟී ඇති වග මට සිතෙයි, දැනෙයි.මෙහි  කතා ඕනිම කෙනෙකුට කියවා රස විඳීමට බාධාවක් නැති වීම නම් ඇත්තටම සතුටකි.කෙටි කතා කියවා වෙහෙසව සිටි මට නැවත කියව කියවා රසවත් වීමට “සැණෙලි වියුම්” උපකාර කරමින් සිටියි. මින් මා කැමතිම කතාව “අත් සහ මාංචු” ය. ඉන් කුඩා කොටහක් උපුටා දැක්වීමට මම අවසර ඉල්ලමි.


“මාංචු .
එකම යකඩින් තනා තිබිණි. යතුරු පමණක් වෙනස්ව.”


අනිල්ගේ කෙටි කතා තුල අකුරු වලට වඩා හමුවන්නේ  විරාම ලක්ෂණය. වැඩියමත් නැවතීමේ ලකුණුය.ඔහු කතා කරන්නේද, ඔහු කතා කරවන්නේද ,ඔහු කතාවක් කියවන්නේද , බොහෝ තැන වල නවතිමින් නිවීහැනහිල්ලේය. ඒ කුඩා නැවතීමේ තිත සමහර වචන අසලින් රැඳී  “මෙතන නැවතිලා ටිකක් හිතලා ඊළඟ වචනයට පලයන්” යැයි කරන සුන්දර බලහත්කාරයක් බව සිතෙයි. අපි ඉතින් හිත අයාලේ ගොස් නැවත ආපසු පැමිණෙන තෙක් අනිල්ගේ බලකිරීම මත නැවතීමේ තිත අසල රැඳෙන්නෙමු . ඒ නැවතීම කතාවට බරක් මෙන්ම කාව්‍යාත්මක රිද්මයක් ගෙනේ යැයි මට සිතෙයි.


“සැණෙලි වියුම්” මා කැමතිම පොත් ගොන්න අතරට අනිල්ගේ  “ ආදරය සහ ස්තුතිය” සමඟ මේ වන විටත් එක්වී හමාරය.පොත මා සන්තක වූ සුන්දර අහම්බය ද මතක ගබඩා වල ප්ලැටිනම් සේප්පුවක බොහෝ සුරක්ෂිතවය.මම “මේ පොත අරන් කියවන්න” යැයි පොත් නිර්දේශ කර ඇත්තේ ඉතාමත් ස්වල්පයක් වී ඇත්තේ මා   බොහෝ “ අමුතු” කියවන්නෙක් යැයි මම සිතාගෙන සිටින නිසාමය.නමුත්, අනිල්ගේ කුළුඳුල් කෙටි කතා එකතුව ඔබ අනිවාර්යයෙන් කියවිය යුතු පොතක් බවට මම කියා සිටීමට කැමැත්තෙමි. එවිට ඔබටද මා මෙන්ම  අලුතින් මගේ ශබ්ද කෝෂයට එකතු වූ  “සැණෙලි” යන වචනයට මට කැමති තේරුමක් දුන්නාක් මෙන් තවත් තේරුමක් ලබා දීමට හැකි වේ යැයි මා සිතන නිසාය.


සැණෙලි වියුම්-මිල රුපියල් 250/=






Comments

  1. මෙන්න මරැ පොතක්

    ReplyDelete
  2. කවරය ආකර්ශණීයයි.... සහ මේ ආකෘතියට මම කැමතියි..... ගන්නම වෙනව ඉතින්..

    ReplyDelete

Post a Comment

Popular Posts