පිරිමි ළමයා..(පළමු කොටස)







අම්මා...

මම අම්මා කෙනෙක් වෙනකොට අවුරුදු විසි දෙකයි..සුදාර මගේ පළවෙනිම දරුවා..කිලෝ තුනයි හත්සිය පනහක ළමයෙක්ව සැකිල්ලක් වගේ හිටිය මම බඩේ තියාගෙන හිටිය එක ගැන මගේ මහත්තයා ඔනිවටත් වඩා පුදුම වෙලා හිටියේ ..දරුවා ලැබුනේ බොහොම සාමාන්‍ය විදිහට..දරුවා අංගසම්පුර්ණ පිරිමි ළමයෙක්.. “මෙයා නම් කොල්ලෙක් නෙමෙයි කොලු රජෙක්” කියලා මාවයි බබාවයි වට කර ගත්ත නෑ සනුහරේ කියනකොට අම්මා මට කිව්වේ දරුවාගේ නළලේ ටිකක් ලොකුවට කළු මොට්ටුවක් තියන්නය කියලා..බබාට සුදාර කියලා නම දැම්මේ මහත්තයා..සුදු පුළුන් කොට්ටයක් වගේ මගේ දරුවාව පපුවට තුරුල් කරගන්න විතරයි ඕනි වුනේ..මට හොඳට මතකයි..එයා මගේ තන් වල එල්ලිලා කිරි බිව්වේ හොඳ පුරුදු කාරයෙක් වගේ..දැන් අවුරුදු විසි පහක් ගෙවිලා ඉවරයි..කාලය අපිට නවත්ත ගන්න පුලුවන්නම් මට මගේ දරුවාව ලැබිච්ච තැනින් නවත්තලා දාන්න ඉඩ තිබ්බා..


එයා සාමන්‍ය පිරිමි ළමයෙක්..එයාට තිබ්බේ  තාත්තා වගේ බොකුටු කොණ්ඩයක්..මගේ ඇස්..මගේ තොල්..හැමෝම වගේ කිව්වේ එයා  මං වගේ කියලා..මම කැමතියි එහෙම කියනවට..කවුරු හරි සුදාර මං වගේ කියලා මගේ මහත්තයා ඉස්සරහ කියනකොට එයාගේ මූණ පිනි ජම්බු වගේ රෝස පාට වෙන හැටි මම දැකලා තියෙනවා..ඒ වෙලාවට මට දැනෙන්නේ ලොකු තරඟයකින් දින්නා වගේ හැඟීමක්..ඒ ඇයි කියලා කියන්න මම හරියටම දන්නේ නැහැ..සුදාර ටිකෙන් ටික ලොකු වෙනකොට අපි හැමෝටම ජිවිතේ අමාරු වෙන්න පටන් අරගෙන තිබ්බේ..මහත්තයාට වැඩ කරන්න සිද්ද වුනේ ගොඩක් දුර පළාත් වල..අපිත් එක්ක මහත්තයාගේ  නංගි කෙනෙක් ජිවත් වුනා..එයා කසාද  බැඳලා නෙමෙයි හිටියේ..මගේ මහත්තයා එයාට කලින් කසාද බැඳලා ගෑනි කියන පදේට නටනවාය කියලා එයා හිටියේ තරහින්..මහත්තයාත් දුරට ගියාට පස්සේ හැමදෙයක්ම ඉවසගෙන ඉන්න සිද්ද වුනේ මට තනියම..ඒත් එයා සුදාරට නම් ආදරේ විත්තිය නොකිව්වට මට දැනුනා..


සුදාරගේ වෙනස්කමක් මම මුලින්ම දකිනකොට සුදාරට වයස අවුරුදු පහක් විතර ඇති..මහත්තයාගේ නංගි ඒ දවස් වල මනමාලියන්ට අන්දන  වැඩ එහෙම පුරුදු වෙන්න පන්ති ගියපු කාලේ..එයා කිසි පිළිවෙලක් එහෙම තිබ්බ ගෑනියෙක් එහෙම නෙමෙයි..ම්නමාලියන්ට අන්දලා ඉවර වෙච්ච ලිප්ස්ටික් කූරු,පවුඩර් ටින් ගෙදර හැම තැනම විසි කරලා දාලා යනවා..සුදාර ඔය දේවල් අහිදිනවා මම දැකලා තිබ්බට මොනා ඒ දේවල් වලින් කරනවද කියලා මම දැනගෙන හිටියේ නැහැ..එයා ඒ අහුලා ගන්න දේවල් වලින් කරන්නේ මොනවද  කියලා  දැනගත්තේ සුදාර දවසක් කන්නාඩි මේසය ලඟට වෙලා එක සීරුවට ඇහි පිල්ලම් වල මස්කාරා ගානවා දැක්ක දවසේ..සුදාරගේ චූටි අත් පළපුරුදු චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයක් අඳිනවා වගේ ඇහි පිල්ලමෙන් පිල්ලම මස්කාර පින්සලෙන් තෙත් කරන ගමන් මං දිහා බලලා හිනා වුනා.. “නැන්දා කියනවා ඇහුනා මෙව්වා ඇහි පිල්ලම් උඩ දහපාරක් විතර එහාට මෙහාට කරන්න ඕනි කියලා” කියන ගමන් සුදාර මස්කාර පින්සල මං දිහාවට දික් කරගෙන චූටි කිරි දත් පෙන්නලා හිනා වුනා මට මතකයි.. “දරුවාගේ සෙල්ලම්” කියලා මම හිනා වෙලා එතනින් අහක වුනා..


සුදාර මස්කාර පින්සලෙන් නතර වුනේ නැහැ..එයා ලිප්ස්ටික් ගාගෙන මගේ ලඟට ඇවිත්  “අම්මේ මේ ලස්සනද” කියලා අහපු දවසේ  නම් මට තරහ ගියා..ඇයි මට තරහ ගියේ කියලා මම අදටත් මගෙන් අහනවා..ඒත් එකට උත්තරයක් මමවත් තාම දන්නේ නැහැ..මම හීනි කොට්ටක් ගහකින් කඩාගෙන ඇවිත් සුදාරට හොඳටම ගහලා ආයිමත් ගෑනු වැඩ එහෙම කරනවා නෙමෙයි කියලා පොරොන්දු කරවා ගත්තා..ලිප්ස්ටික් ගෑවිලා රතු වෙච්ච තොල් බේරී කරගෙන සුදාර “ආයිත් කරන්නේ නැහැ” කියලා කියනකොට ඇස් වලින් කළු පාට කඳුළු පේලියක් ඇවිත් සුදු පාට කම්මුල තෙමාගෙන පල්ලම් බැස්සා..සුදාර නර්සරි යන කොට පවා අනිත් ළමයි අතර එයාව කැපිලා පෙන්න පටන් ගත්තේ එච්චර දඟ නැති කියන වැඩේ ලස්සනට පිළිවෙලට කරන කීකරු දරුවෙක් විදිහට.. නර්සරි එකේ ටීචර් මට කියන්නේ  “සුදාර නම් ගෑනු ළමයෙක් වගේ පිළිවෙලට වැඩ කරනවා..හරිම හොඳයි..” කියලා..ඒ වෙලාවට මම මගේ පුතාගේ ඔලුව ඇත ගාලා කම්මුලට හාද්දක් දීලා බදා ගන්නවා..සුදාර ගාවින් මෑතක් වෙනකන්ම ආවේ කිරි සුවඳ..කොච්චර කර දඬු උස්මහත් වුනත් දරුවෙක්ගේ කිරි සුවඳ අම්මෙක්ට දැනෙනවා..ඒක ජානවල තියෙන දෙයක්..


සුදාර ඉස්කෝලේ යන්න පටන් ගත්ත කාලේ තමා ගොඩක් දේවල් කනපිට ගැහෙන්න පටන් ගත්තේ..සුදාරට හිටියේ ගෑනු ගොඩක්ම ගෑනු යාළුවො..පිරිමි යාලුවෙක් කියලා කෙනෙක් ගැන සුදාර මට කවදාවත්ම පොඩි කාලේ විස්තර කියලා නැහැ..ගුරුදෙගුරු රැස්වීම වලට ගියාම ගුරුවරු මගේ ලඟට ඇවිත් ලකුණු සීය අනූව  ගත්ත පේපර් මිටිය ගෙනත් දීලා කියන්නේ  “සුදාර ගැන නම් ඉතින් කියන්න තරම් වැරද්දක් නැහැ.. ටිකක් කුලෑටි එච්චරයි.” කියන එක තමා..මම අනිත් අම්මලා මැද්දේ හිටියේ හරිම සතුටින් වුනත් සමහ‍ර ළමයි මගේ ලඟට ඇවිත් “අපෝ සුදාර නම් මහ ගෑනියෙක්” කියලා ඈතට දුවලා යනකොට මම මොකක්ද කරන්න ඕනි කියලා මට හිතා ගන්න බැරි වුනා..මහත්තයා කිව්වේ “මික්ස් ස්කුල් එහෙක ඉන්න නිසා වෙන්න ඇති ඔය..අපි පුතාව අස් කරලා පිරිමි ළමයි විතරක් ඉන්න ඉස්කෝලෙකට දාමු” කියන එක..මම එකට කැමති වුනා.. පිරිමි ළමයි විතරක් ඉන්න තැනකදී මගේ පුතාට පිරිමි ළමයෙක් විදිහට හැසිරෙන්න ඕනි විදිහ නිකන්ම පුරුදු වෙයිනේද කියලා මම නින්දේදීත් කල්පනා කළා..


ඒත් බාගදා මටයි මගේ මහත්තයාටයි දෙන්නාට වැරදෙන්න ඇති..


පුතා හය වසරේ ඉදන් ගියේ පිරිමි ළමයි විතරක් ඉන්න ඉස්කෝලෙකට...උස බිල්ඩින් මැද්දෙන් සුදු කොට කලිසම ඇඳගෙන ලතාවට ඇවිදගෙන එන මගේ පුතා දිහා මම බලන් හිටියේ දැන් නම් හැමදේම හරියාවි කියලා හිතාගෙන..සුදාරට තිබ්බේ පුදුම ඉවසීමක්..එයාට හැමෝම ගෑනි ගෑනි කියලා විහිළු කරන විත්තිය ඇවිත් මටවත් අඩුම ගානේ කිව්වේ නැහැ..ඒත් ඉස්කෝලේ වෙච්ච අනිත් හැමදේම එයා ගිරවෙක් වගේ කියන්න පුරුදු වෙලා නම් හිටියා..එයාට ළමයි විහිළු කරන විත්තිය මම දැනගත්තේ වෑන එකේ එයා එක්ක යන වෙන ළමයෙක් මාර්ගයෙන්..මම සුදාරව ලඟට අරගෙන හැමදෙයක්ම ඇහුවා..සුදාර ඇස් දෙක චූටි කරලා මන් දිහා බලාගෙන “අම්මේ මට දැන් එව්වා ගානක් නෑ” කියලා මට තුරුල් වෙලා හිටියේ ගලක් වගේ.. “පුතේ කොල්ලෙක් වගේ ඉන්නකෝ..බලන්න තාත්තා දිහා..එයාට කවුරුත් ගෑනි ගෑනි කියලා නොකියන්නේ එයා හොඳ පිරිමියෙක් වගේ ඉන්න නිසා..මගේ පුතාත් එහෙම ඉන්නකෝ” මම එහෙම කියන ගමන් සුදාරගේ ඔලුව හෙමින් අත ගාන්න වුනා..



ආයිමත් ගිනි ගන්න පටන් ගත්තේ සුදාර හත වසරේදී  ලොකු වුනාම වෙන්න කැමති කවුද කියලා අහපු ප්‍රශ්නෙට  “ලොකු වුනාම අම්මා කෙනෙක් වෙනවා” කියලා කිව්ව නිසා මාවයි මගේ මහත්තයාවයි පන්ති භාර මිස් ඉස්කෝලෙට ගෙන්නපු දවසේ.. මිස් කිව්වේ පුතා ඉස්කෝලෙදි අනිත් පිරිමි ළමයි අතරින් ඕනිවට වඩා කැපී පේනවා කියලා.. “එයා හැසිරෙන්නේ ගෑනු දරුවෙක් වගේ” කියලා කියන ගමන් ටීචර් අපේ මහත්තයා දිහා අමුතු විදිහට බලපු හැටි මතක් වෙනකොට මට තාමත් වාවන්නේ නැහැ.. සුදාරට එදා මහත්ත්තයා කොටුවක් කැඩෙන්න කොටුවක් අරගෙන හොඳටම ගැහුවා.. “යකෝ තෝ පොන්නයෙක් කරන්නද මෙච්චර සල්ලි වියදම් කරලා ඉස්කෝලෙකට දැම්මේ” කියකියා මගේ දරුවට මහත්තයා ගහන කොට මම හිටියේ ඇතුලෙන් පිච්චි පිච්චි..ඒ සිද්දියෙන් පස්සේ මගේ ලොකු පුතා සුදාර, අපිත් එක්කම හිටියත් එයා ඒ වෙනකොටත් එයාගේ හදවතේ හැම දොරක්ම වහගෙන තනි වෙලා හිටිය විත්තිය මට දැනුනා...එයාගේ හැසිරීමේ වෙනසක් වුනා නම් වුනේ පැය විසි හතරේම පොත් කියව කියවා මුල්ලක් අල්ලාගෙන ඉන්න පටන් ගත්ත එක විතරයි..සමහර දවස් වලට මගේ සාරි, ගවුම් එහෙම අල්මාරියේ ඇතුලට නිකන් විසි කරලා වගේ තියෙනවා අහුවෙනවා..මම සැක කලේ දුවව..සුදාර ගැන සැක හිතන්න මට බය හිතුනා..මගේ පුතා දිගට දිගට ඉගෙන ගත්තා..අපිට පෙන්න තිබ්බ එකම දේ එයා ඉගෙන ගන්නවා කියන එක විතරයි..තාත්තයි පුතයි කතා නොකරපු තරම්..ඒත් මහත්තයා එයාගේ පුතා ගැන ආඩම්බර වෙන්න පටන් ගෙන තිබ්බා..මොකද පවුලෙන් සුදාර තරම් හොඳට ඉගෙන ගන්න කිසිම කෙනෙක් නොහිටපු නිසා..මගේ දරුවා ඉනිමගක් දිගේ උඩට උඩට නැගගෙන නැගගෙන යන දිහා බලාගෙන මමයි මහත්තයයි බලන් හිටියේ හිනා වේවි..සුදාර එක්ක  විභාගය ලියපු අයගෙන්  විශ්ව විද්‍යාලයට තේරුනේ සුදාරව විතරයි..මහත්තයාට ඕනි වුනේ පාටියක්  දාන්න..මටත් ඕනි වුනේ හැමෝටම පේන්න ලොකුවට පාටියක් දාන්න..පුතා අපි දෙන්නටම ඔරවලා ගියේ පාටි ඕනි නැහැ කියන තාලෙට..



මහත්තයා දැන් වයසයි..එයාගේ කොන්ඩේ සුදු වෙලා නතර නොවී රැවුලත් සුදු වෙන්න පටන් අරගෙන..මගේ කොන්ඩේ අහුරු පිටින් යන්න පටන් අරගෙන..සුදාර උසට හරියන මහත තියෙන ගජ ඉලන්දාරියෙක් වෙලා..අපේ මහත්තයාට වඩා දැන් උසයි...සුදාර කොට සායකුයි පොඩි බ්ලවුස් කෑල්ලකුයි ඇඳගෙන ගෙයි දොට්ට බැහැලා යන දිහා මමයි මහත්තයි බලන් හිටියේ අපි දෙන්නා උඩට අහස කඩා වැටුනා වගේ බය වෙලා.. “තාත්තේ අම්මේ මම අද ඉදන් මෙහෙම තමා ඉන්නේ” කියලා අපි දෙන්න දිහාවට හිනාවකින් දමලා ගහලා තාලෙට පැද්දී පැද්දී ගෙයින් දොට්ට බැහැලා යන්න ගියා..මහත්තයා කටත් ඇරගෙන මං දිහා බලලා කෙසෙල් ගහක් කඩන වැටෙනවා  වගේ  පුටුවක් උඩට කඩාගෙන වැටුනා..මම මහත්තයාව බදාගෙන බාගෙට ඇරලා දාලා තියෙන ගේට්ටුව පැද්දෙන හැටි බලන් හිටියා..

Comments

  1. මොකා...........යකූ.....මූ.......

    ReplyDelete
  2. හෝමෝන වෙනස්කම්වලට මොනවා කරන්නද. සුදාරලත් අපි වගේ ජීවින් කොටසක්.

    ReplyDelete

Post a Comment

Popular Posts