බූමරංගය ඔබේ ඇස් දෙක
මෙය කාංචනා නම් මායාකාරිය ගැනය, ඇය ලියා අහවර කල
සුන්දර මායාකර්මය ගැනය. කාංචනා අමිලානිගේ මායාත්මක වචන මට මුලින්ම හමුවන්නේ ලෝක
සිතියමේ තවමත් මට සොයාගත නොහැකි මුත් සයිබර් ජංජාලයේ පාවෙන දූපතක් වන “හිතනලන්තය”
තුලින්ය. එය මා නිවාඩුව ගත කිරීමට කැමතිම බ්ලොග් භුමිය වන අතර කාංචනා එහි
තම අණසක නිදහසේ පතුරුවමින් සිටින්නීය.ඇය කොසු පදින , අරිෂ්ටය සාදන, නහය දිග ,උල්
තොප්පි ලා ගත්,මායාකාරියක් නම් නොවන වග අවධාරණයෙන් පැවසිය යුතුමය. ඇය නිතරම
සිනහසෙන,මායාත්මක බසකින් සිත් පෙලන සනසන කළඹන “කියුට්” ගනයේ මායාකාරියක්මය.
ඇය නැවත මට
“ප්‍රේමයේ කාර්තු” තුල අහම්බෙන් මුණගැසෙයි.ඇය සියලු ප්‍රේම කාර්තුන් කුඩා
කඩදහි කොළ කිහිපයකට ලඝු කරන්නී කවි පොතක් මවන්නීය. කාංචනා දිගට දිගට සිතමින් වචන
කිහිපයකට ගුලි කර, පරිකල්පනයේ හුස්ම පිඹ අප
වෙතට පියාසර කල ඒ කෙටි කතා කුරුල්ලා “ගම්මිරිස් කුරුල්ලා”ය. මා මේ ලියන්නට සැරසෙන්නේ
තවම සීනිගම ගොස් උතුරු කළුතරට නොපැමිණි ගම්මිරිස් කුරුල්ලෙක් ගැනවත් ප්‍රේමයේ
කාර්තුවක් ගැනවත් නොවෙයි. මෙය කාංචනාගේ
අලුත්ම මායාව වන “ බූමරංගය ඔබේ ඇස් දෙක” නම් සිතුවිලි එකතුව ගැනය.
මේ කවි පොතේ නමම කවියක්මය. ඒ නම අපව එයට කාන්දමක්
මෙන් ආකර්ෂණය කරගනියි.ඒ ආකර්ෂණයෙන් අපට ගැලවුමක් නම් නැත්තේමය. ඒ කාංචනාගේ
මායාත්මක වචන හරඹ වල ඇති චුම්භක ගුණයේ
හැටිය.කවරය නම් චුම්භක කන්දක්මය. ඇස, හිත සුපර් ග්ලූ ගෑවාක් මෙන් අලවා
තබාගන්නා අතර ගලවා ගත නොහැක්කේමය.බූමරංගය ඔබේ ඇස් දෙක” කවි පොතේ පිදුමත් කවියකි.එහි පිටුවක් පිටුවක්
ගානේ කවිය.අහම්බෙන් පෙරලෙන පිටුවක ඇති විරාම ලකුණුද කවිය. “ලස්සනම පින්තූරයේ සිටි
අයට” ඇය තම පිදුම ලියා ඇති අතර එය “ඔබටය”.
‘බූමරංගය ඔබේ ඇස් දෙක’ කාංචනා කොටස් හතරකට බෙදා
වෙන්කර ඇත. පළමුව මල් පිබිදිමය. පළමුව, ඇය මල් පිපෙන තුරු බලා සිටින කාල පරතරය තුල
ලියා පා කල කවි අතර රස්තියාදුවේ යා යුතූ බව අපට කියන්නීය.ඒ බොහෝ කවි පියාපත් මෙන්
සැහැල්ලු නමුදු වලාකුළු තෙක් ඉගිල යාමට
තරම් සවිමත්ය. මේ ප්‍රේමයේ ප්‍රථම කාර්තුවයි.පෙම්වත් සිත් පපු කුහර තුල සඟවමින් සිටින අවදියයි.මේ ‘මල් පිබිදීම’ අතර තිබූ මා
කැමතිම මලක සුවඳයි.
“වෙහෙසය
පෙම් නොකර පෙම් කර
මේ සුළු ජීවිතය
තටු රහිත
ඒත්පියාඹන්නට
ආසා කරන”
ඉන් පසුව එළබෙන්නේ “රළ නොගසන වෙරළ” වෙතටය. මේ ප්‍රේමයේ
දෙවැනි කාර්තුවයි.පිබිදීමෙන් පසුව නෙලා ගත් මල් අතැතිව නිසංසල ලවණ තටාකයකට, එනම්
මුහුද දෙසට ඒ මල් පෙති විසි කරමින් ඇවිද යන කාර්තුවයි.ලුහුබැඳ ගොස් නතු කරගත්
පසුවද ලුහුටා යන අවදියයි.කාංචනා කවි කරන්නේ ප්‍රේමයම පමණක්ම වීම මට සතුට දනවයි.
මන්ද ප්‍රේමය මා දුටු හොඳම ද්‍රාවකය නිසාය. ඕනෑම හැඟීමක් දියව එහි නොපෙනී යන
නිසාය. රල නොගසන වෙරළේ තිබී මා අහුලාගත් මා කැමතිම හක් බෙල්ලා “ලුහු බැඳීමේ හිංසාව”ය.
“ප්‍රියය,
ලුහුබැඳීමද
හිංසාවකි
සැඟවෙන තැන සියල්ල
දන්නා විට ඔබ”
තෙවනුවට කාංචනා අපේ අත් අල්ලාගෙන “සියලු සටන්
නිමාවට පත්ව” යන කාර්තුව වෙත රැගෙන යයි. ප්‍රේමය යනු එක්තරා සටනක්මය; අවි ආයුධ
රහිතව වුව බරපතල ලෙස තුවාල වන. ඒ සමහර තුවාල සුව කිරීමට අහසේ තරු මුහුදේ මඩ
ගෙනාවත් කල නොහැකිය.ඒ තරම් දරුණු සටනකට පසුව එය නිමාවී ඇත. කාංචනා තම මායාව
හසුරවන්නේ ඒ නිමාව තුල අපට ප්‍රේමයේ නටඹුන් වල ඉතිහාසික වැදගත්කම පෙන්වා දීමට යැයි
මට දැනෙයි;හැඟෙයි.මේ සටන නිමා වූ පසුව මට දැනෙන දෑ කාංචනා දැනගෙන ලියන ලද මා
කැමතිම කවිය, ‘තුති’.
“මිහිරිම පල මඟහැර
ඒ ඔබට නෙළන්නට ඉඩහැර
ඇඹුල-නීරස මිටියාවතක
තුරක-අත්තක ඇති යමක් පිරික්සමි”
කාංචනා නිවැරදිය.අවසානයට පසුවත් පැවතිය යුත්තේ
ආදරය මිස අන් කුමක්ද? ආදරය චක්‍රීයව අප වටා පවතින අතර මේ කාර්තු හතර ජිවිතයේ විවිධ
කාල වලදී අපි පසු කරගෙන යන්නෙමු.ඉතින් අවසනට පසුව ඇය නැවත ආදරයෙන් අරඹයි.
බූමරංගය ඔබේ ඇස් දෙක කවි පොත රවුම් කවි පොතක් ලෙස
මම දකින්නෙමි. එය අවසන් වන්නේ නැවත අපව ඇරඹුමක් සමඟය.ඉතින් කාංචනා මා වෙත වීසි කල
බූමරංගය මම අල්ලාගෙන නැවත ආපසු ඇයට නොදෙන්නට තීරණය කර ඇත්තෙමි.ඔබටත් ආරාධනා කරන්නේ
කවි පොත කියවා ඇගේ මයාත්මක වචන වල ඇති චුම්භක ගුණය පිරික්සා බලන ලෙසය.
+++++++++++
ReplyDeleteඅනේ බං මට කවි නම් අරහන්
ReplyDeleteහිතනලන්තය දැන් අප්ඩේට් වෙනවද?
ReplyDelete