ප්‍රේම ආත්ම
එයා උසයි..එයා මගේ ඉස්සරහින් හිටගෙන ඉන්න කොට මම එයා දිහා බලන්නේ මූණ නිකට ගාවින් ටිකක් උස්සලා...බෙල්ල රිදෙන්නේ නැති ප්‍රමාණයට උස්සලා එහෙම එයා දිහ බලනකොට මුලින්ම පේන්නේ එයාගේ ඇහි බැමි..ඒ ඇහි බැමි , නුවර වැවේ වළාකුළු බැමි වගේ එකට එකතු වෙලා..ඝන පිරිමි ඇහි බැමි..
සයිවර් කඩ පෝළිමක් පහුකරගෙන වැඩ ඉවර වෙලා ගෙදර එන හැන්දෑ වරුවල වප් වැස්සක් ලොප් වෙවී කඩන් වැටෙන කොට මම එයාට කතා කරනවා මාත් එක්ක ඇවිදගෙන යන්න... සයිවර් කඩ ඇතුළෙන් කැඩි කැඩී ඇහෙන දෙමළ සිංදුවක තාලෙට මම කකුළ් තිය තියා ඇවිදින කොට එයා මං දිහා බලලා කට කොණකින් හිනා වෙනවා...මම ඇස් යටින් හිනා වෙනවා...
එයා ආසයිලු මගේ ඇස් වලට..මගේ ඇස් වලට මමත් ආසයි..එයාගේ පපුව මැද්දේ හරි රස්නයි..හරියට ඉස්සර වහින කාලෙට, අම්මා උයලා ඉවර වෙනකන් අපි ලිප ගාවට වෙලා ඉන්නකොට දැනෙන රස්නෙ වගේමයි එයාගේ රස්නෙත්..එයා මට නිදාගන්න දෙන්නේ එයාගේ එක අතක් උඩට ඔළුව තියාගෙන..එයා මම දත් මැද්දද , මගේ ඔළුවෙ උකුණෝ ඉන්නවද කියලා හොයලා මට හිත රිදෙන කතා කියන්නේ නෑ...මම මූණ සේදුවත් නොසේදුවත් එයා මාව ඉඹිනවා...
මම එයාගේ රැවුළට ආසයි..එයාගේ රැවුල අතගගා මම එයාගේ උරහියට බර වෙලා ඉන්නකොට එයා කසුන් කල්හාරගේ සින්දු කියනවා...මට සිංදු කියන්න බැරි වුනත් එයා එක්ක ඉන්නකොට මම නිකන් උරේශා රවිහාරි වගේ සිංදු කියනවා...
ආයිත් ගෙදරට ආවම එයාට හැන්ගෙන්න වෙනවා... එයා ජීවත් වෙන්නේ මේ ලෝකේ තියෙන සුරක්ෂිතම තැනක... දරුවෙක්ට නම් සුරක්ෂිතම තැන මව් කුසලු නේද...ප්‍රේමයකට සුරක්ෂිතම තැන හදවත නෙහ්...ඒ හදවත , බයෝ පාඩම් වල උගන්වන හර්ද වස්තුව නෙමෙයි කියලා තේරෙන්න ගත්තේ මම එයාව මගේ හිතුවිලි වලින් හදලා හදවතේ පදිංචි කලාට පස්සේ..
එයා මට නීති රීති දාන්නේ නෑ.. මම ම මට නීති හදාගෙන ඉන්න නිසා තව කෙනෙක්ගේ යටත්වැසියෙක් වෙලා නීතී ගොඩක් මැද්දේ හුස්ම හිර කරගන්න මට බැරි විත්තිය එයා දන්නවා...ඔයා මාව බඳිනවද කියල හැමතිස්සෙම අහලා වද දෙන්නේ නැති එක වුනත් කොච්චර හිතට සනීපද...එයා හැමතිස්සෙම මම කැමති විදිහට වෙනස් වෙනවා..කොහොමත් කාලෙන් කාලෙට මම වෙනස් වෙනවා..එයා ඒ විදිහට වෙනස් වෙනවා...
අපේ ඔෆිස් එකේ, සමුද්‍ර ට්‍රේන් එකේ, ලයිබ්‍රියේදි මගෙන් එක එක වර්ගයේ කොල්ලෝ කැමැත්ත ඇහුවත් මට කැමති වෙන්න හිත හදාගන්න අමාරුයි...මුලින්ම දැකපු ගමන් කැමැත්තක් ඇති වෙනවා තමා..ඒත් පස්සේ ඒ කොල්ලන්වයි මගේ හිතේ ඉන්න කෙනාවයි සසදන කොට මට එයාලගේ එක එක අඩුපාඩු පේනවා..සමහරුන්ගේ නහය ටිකක් දිගයි කියලා හිතෙනවා..සමහරුන්ගේ ඇස් ලොකුයි කියලා හිතෙනවා...ඔය ඔක්කොම ගානට තියෙන කෙනෙක් හම්බුනාම එයා පණ්ඩිතයි කියලා හිතෙනවා..එහෙම නැත්නම් මෝඩයි කියලා හිතෙනවා...
මම තාමත් හවසට එයා එක්ක ඇවිදිනවා...එයා එක්ක කොෆී ශොප් ගානේ යනවා...පොත් කඩවල් වලට ගිහින් පැය ගණන් කාලේ කනවා...එයා එක්කම තමා මම සැලුන් යන්නේ...දැන් සුදු කෙස් මතු වෙන්න අරන්..මම ඒවා කළු කරගන්න සැලුන් යන්නේ..එයා නම් කවමදාවත් වයසට යන්නේ නෑ..එයාගේ ආදරෙත් වයසට යන එකක් නෑ...
සැලුන් එකේ මාශා මට වඩා අවුරුදු දහයක් බාලයි..එයා මගේ සුදු කෙස් කළු කරන ගමන් එයාගේ මහත්තයා ගැන කියනවා...දරුවෝ ගැන කියනවා...ඊට පස්සේ හෙමින් කනට කරලා අහනවා,
"මිස් බඳින්නේ එහෙම නැද්ද කියලා"
මම මගේ හදවතට තට්ටු කරනවා... එයා හදවතේ ඉදන් හයියෙන් හිනා වෙනවා ඇහෙනවා..
අපූරු හීන කථාවක් අදත් ලියලා.
ReplyDeleteපිරුණු දෙබැම අඩු වැඩි නැති හොඳ පෙනුම
නිවුණු හිතැති ඔහුගේ උස මට කදිම
දැණුනු හැඟුම් සොඳුරුය ඔහු හද තුළම
රැඳුණු මතක සමගින් මම ඉමි තවම.......
ජයවේවා!!!
අනේ මන්දා ඔය හදවතට කතා කරන මායාකාර බස් වහර කොහෙන් ආවද කියලා. ඔබෙන් කදිම නිර්මාණකරුවකු පේනවා . සුභ පැතුම් !
ReplyDeleteප්‍රේම ආත්මත් හිතේ දරාගෙන අපි එක වෙලාවකට ඉබාගාතේ ඇවිදිනවා වගේ බං. ඒත් මොනවා කරන්නද? ඒකට අපි අස නම්..
ReplyDelete