අම්මා දික්කසාද වෙන්න!

ජනේලය උඩට වැටෙන වැහි බිංදු ලැසි චලනයකින් ඝනකම් පාරදෘශ්‍ය වීදුරුව දිගේ ලිස්සාගෙන ඇවිත් ජනෙල් පඩියෙන් පහළට පැන්නා...වේලාව උදේ හත වුනාට තාම පැරීසියට අද ඉර පායන්න පරක්කුයි...මම ජනේලේ වීදුරුව උඩ මගේ දබරඇඟිල්ල අරන් ගිහින් රවුමක් ඇඳලා ඒකට ඇස් දෙකකුයි කටකුයි ඇන්දා..ඒ රවුම හිනා වෙන්නේ මටද , එහෙමත් නැත්නම් ඈත පේන යකඩ කෙල්ල; අයිෆල් කුළුනටද කියන එක ගැන හිතහිතා කාලේ නිකන් නාස්තිකරන්නේ මොකටද?

දුරදොඩනය සුපුරුදු තාලයකට ස්පන්දනය වෙන්න පටන් ගත්තා...ඒ එයා තමයි...නම මොකක්ද?නමක් නම් මොකක්ද...නමක් කියන එක හැමතිස්සේම වෙනස් වෙනවා..මගේ උප්පැන්න සහතිකයේ තියෙන නම "මාෂා"..ගෙදරට කිව්වේ "මාෂී"...ඉස්කෝලෙටනම් නම් ගොඩක් කිව්වා..කොණ්ඩේ ඒ කාලේ තඩි ලේඬි හිටිය නිසා "ලේඬිවති" කියලා කිව්වා මතකයි..ඒ ලෙවල් කරන කොට පපුව ටිකක් ලොකුවට පේන්න ගත්ත නිසා කොල්ලෝ විහිළු කලේ "එවරස්ට්" කියලා..කැම්පස් එකේ කාඩ් එක "බෝල චූරියා".. ඒ නමටත් හේතුව පමණට වඩා විසාලෙට පෙනිච්ච පපුව...ඒ පපුව,කිසිම වෙනසක් නැතිව තාමත් යට ඇඳුම් වලට යටින් හිර වෙලා තියෙනවා.. ඒත් දැන් කාලෙත් එක්ක ඒ නම් වියැකිලා නිකන් මතක විතරක් වෙලා...කැත අසික්කිත මතක...ඔව් ඒ දවස් වල ඒ නම් මට ජීවිතේ එපා කරවපු තරමක්!!දැන් මම මාෂිලා...ඉතින් නමක් කියන්නේ හැමතිස්සේම වෙනස් වෙන දෙයක්...ඉතින් එයාට "එයා" කියනවා මිසක් නමක් දෙන එක තකතීරු මෝඩකමක්..නේද?

දුරදොඩනය එහා පැත්තෙන් එයාගේ කටහඬ, ටිකක් වෙව්ලන, ටිකක් විතර බ්‍රැන්ඩි වගේ බැරැන්ඩි, හිදැස් ගොඩක් ඉතිරි වෙලා ඇහෙනකොට මම ජනේලයේ ඇඳපු හිනා මූණත් එක්ක හිනා වෙනවා..

"ඔය කඩාගෙන වැටෙන වැස්ස...සරත් සෘතුවේ අන්තිම වැස්ස..වළාකුළකින් බේරිලා එන ලාස්‍ය කඳුළු පිරිමි ඇස් අස්සෙන් ලිස්සපු"

එයා ඒ වචන ටික කියලා උගුරේ ස්වර තන්ත්‍ර ලිහිල් කලා...දෙපාරක් කැහැලා හුස්ම ගන්න සද්දේ ඇහුනා...හුස්ම ඉහළට...හුස්ම පහළට..


"සමසීතෝෂ්ම කොදෙව් වාසියෙක් කොහොමද ප්‍රංශ අහසේ වගතුග දන්නේ?"

දැන් වැස්ස තද කරලා හොඳටම.. නිකලස්, මගේ පුරු පුරු මැෂිම, සුදු ලොම් පූසාවා දණහිස් උඩට නැග්ගේ අකුණු සද්දෙට බය වෙලා වෙන්න ඔනි..

"මම කොදෙව්ව අතෑරලා දාලා මහද්වීපයකට ආවා පදිංචියට..සමාවෙන්න කලින් නොකිව්වාට.."

"ඕස්ට්‍රේලියාවට නිතරම ඉර එළිය..ඒක තමා වැදගත්ම..අනිත් කාරණා ඉතා අන්වීක්ෂීය සාධක"

මම එහෙම කියන ගමන් නිකලස් ගේ බෙල්ලේ යට හෙමින් කිති කැව්වා...පුරු පුරු පුරු පුරු..

ඈතින් එන හුලඟ ජනෙල් වීදුරුවේ හැප්පිලා කෑළි කෑළි වලට කුඩුවෙලා යනවා...සීත සෘතුව කියන්නේ සම්පූර්ණ සුදු පාටක් නෙමෙයි ප්‍රංශයට..එයා ඒක දන්නවා..ඒක කේතලයක අඩියේ පාට..අළු පාට..


"ඉතින් තාමත් ප්‍රංශය කෝපි කෝප්පයක් වගේ උණුසුම්ද?"

"දැන් හැමතැනම හීතල..කෝපි සාප්පු වල විතරක් උණුසුම තොගයට සහ සිල්ලරට විකිණෙනවා හරියට"

එයා හිනා වෙනවා..සිංහලෙන් හයියෙන් හිනා වෙනවට කියන වචනේ මම දන්නේ නෑ..ඒ වචනේ තමා ගැලපෙන්නේ මෙතනට..

මට එයාගේ හිනාව එක්ක අහේතුක ඉරිසියාවක් ආවා...ඒ නිසා ශ්‍රද්ධාවෙන් මම , මගේ හිතේ ඇනුණ බෝගන්විලා කටුවක් එයාට පෙන්නුවා..

"අම්මාට දික්කසාද වෙන්න ඔනිලු තාත්තාගෙන්.."

අම්මා, වයස අවුරුදු හැට අටක,කොණ්ඩය ශ්‍රී ලාංකික පාට තාමත් හොඳට ඇස් පේන ඉලාස්ටික් හදවත් ඇත්තියක්..එයාගේ මුදුන් මුල තියෙන්නේ සියඹලාණ්ඩුව පැත්තේ ගමක වුනාට  මූල කේෂ, මූල ගැටිති, අතු ඉති සහ රිකිලි තියෙන්නේ කොළඹ කුරුඳු වත්තේ තට්ටු නිවාසයක දෙවනි මහලේ මුහුද පැත්තේ ගෙයක..
අම්මාට සාධාරණ හේතු තිබ්බා...මම හේතු ඇහුවේ නැතත් එයා ඒ හේතු බොහොම පරිස්සමට ඉස්සර මගේ කොණ්ඩේ ගැට ලිහනවා වගේ රිදෙන්නේ නැති විදිහට ලිහලා පෙන්නුවා.. මේ කසාදය, ඒ කියන්නේ අම්මාගෙයි තාත්තාගෙයි කසාදය, අම්මාගේ කිසිම කැමැත්තකින් සිද්ද නොවුන වග  අම්මා කිව්වේ විස්මයෙන් තෙත් කරගෙන ඇස්..ඒකට අම්මා ගාව විදිමත් ලිඛිත සාක්කියක් විදිහට අම්මාගේ දිනපොතේ විවාහ දිනයට පෙර ලියපු උල්පත් පෑන් සටහන  ඉතිරි වෙලා තිබ්බා...දැන් ඒක පරණ වැඩි නැද්ද...කාලය ඒ අතරමැද කොච්චරක් ගෙවිලාද..


ඒ සටහන් වල අකුරු, අම්මාගේ පුරුදු සුපුරුදු වුනාට, තැනින් තැන වැස්සක් කඩන් වැටිච්ච සළකුණු ඉතිරියි..ඒ සටහන මගේ අත උඩින් තියලා අම්මා මං දිහා බලන් හිටියේ කල්පය අවසන කඩාගෙන වැටෙන වැස්ස ඇස් වල තකරගෙන...ඒ එයා ගිය සතියේ ප්‍රංශයට ආපු වෙලාවේ...ළා රොස ලිප් බාම් එකක් ගාලා හිටපු හැන්දෑවක , චීන කෑම හලක් ඇතුලේ ජන ශූන්‍ය මුල්ලක මේසයකදි..එයාට ඔනි වුනා එයාගේ අත්තටු ආයිමත් අරගන්න...එයා හොයාගෙන තිබ්බා එයාගේ ප්‍රේමය, ප්‍රථම ප්‍රේමයට පහුවෙලා ආපු ප්‍රේමය ජීවත් වෙලා ඉන්න තැන..


"එයාගේ නෝනා මැරිලා දූ...එයාලට ළමයි නෑලු...දැන් එයා තනියම...මම හිතුවේ ඔයාගේ තාත්තාව කසාද බැඳපු වෙලාවේ හැමදේම ඉවරයි කියලා..ඒත් එහෙම නෑ...තාමත් මගේ හිත රත් වෙනවා...ඔයාගේ තාත්තාට ඔයා , ඔයාගේ අයියා ඉන්නවා දූ.. එයාට කාත් කවුරුවත්ම නෑ...දූ හිතන්නේ මම මහ ජරා ගෑනියෙක් කියලාද...මෙච්චර නාකි වෙලාත් මගුල් විසේ කියලාද..අනේ දූ ඔයාට තේරෙනවද මාව... මම හිතන්නේ මේක හොඳම කාලේ..මටම මාව හොයාගෙන යන්න..."


මම අම්මාව එදා තදකරලා බදාගත්ත වෙලේ අම්මා ඇඬුවා...මාත් අම්මා එක්ක යුගල ගායනාවක් කරන දෙන්නෙක් වගේ එකට එකතු වෙලා ඇඬුවා...මම ඇයි අඬන්නේ?ඒක ගැන මම හරියට දන්නේ නෑ..


දුරදොඩනය උඩත් ලුණු රස වැහි බිංදු දෙකක් වැටිලා කියලා දැන ගත්තේ කම්මුළට දැනිච්ච හීනි හීතල නිසා..

එයා ලොකු හුස්මක් අරගෙන ඒක විසිල් සද්දයක් එක්ක පිට කළා...

"තාත්තා මොකද කියන්නේ ඒ ගැන"

"තාත්තාට හිතා ගන්න බෑ..එයා මගෙන් ඇහුවා මේ ගැන..මම කිව්වා අම්මාට ආයීත් පියාඹන්න ඔනි වග"

"තාත්තා මොකද කිව්වේ?"

"තාත්තා පිළිගන්න අකමැතියි එයාට අම්මා ආදරේ නොකරපු විත්තිය..එයා අම්මාට දොස් කිව්වා එයාගේ ජීවිතෙන් හොඳම කොටසක් මුඩු රස කලාය කියලා..."

"ඒක අසාධාරණ නෑ!!"


"ඇත්ත අසාධාරණ නෑ තමා..ප්‍රේමය වගේ කාරණාවන් කොන්ටම් භෞතික විද්‍යාවට වඩා සංකීර්ණයි..ඉතින් මේකට විසදුම ගැන දළ අදහසකට එන්නවත් අපිට න්‍යායාත්මක දැනුමක් නෑ නෙහ්"


"ඒක ඇත්ත..මම කැමතියි අම්මා එයාගේ ගමන යනවට..වයසට යෑම වේගවත් වෙන්න කලියෙන් තවත්..තාත්තාට පුළුවන් වෙයි වයස හැත්ත දෙකේදි ප්‍රේම ගවේශනයක යෙදෙන්න..මුණ ගැසුනා වූත් මුණ නොගැසුනා වූත් ප්‍රේමයන් වෙනුවෙන් ජීවත් වෙන්න"


"ඔයාට තීරණය කරන්න බෑ විය යුත්ත...එයාලා දෙන්නම වෙන අයගේ නිගමන වලින් අසාර්ථක වෙච්ච පරීක්ෂණ දෙකක් වගේ..මේ අවස්තාව එයාලගේ..එයාලට ඉඩ දෙන්න"   


දැන් වැස්ස පායලා...ඉර එළිය වැටිච්ච වැහි පොදයක දේදුන්නක් ඉතිරි වෙලා...මේ වෙලාවට තමා එක එක ජාතියේ මල් අරගෙන සැන්බැස්ටියන් එන්නේ...මම ආස  රතු සුදු එකතු වෙච්ච තනි රෝස මලකට!!

"ඔයා කවදද එන්නේ ප්‍රංශයට..අපිටත් පුළුවන් වෙයි එකට පියාඹන්න...පැරිස් කැපචිනෝ බොන්න...ඔනිම වුනොත් පැරිස් බෝණික්කෙක් හදන්න"

එයා වළලු බිම වැටෙන සද්දෙට හිනා වුනා...ඒ හිනාව එක්ක පහළින් ඇහෙන වයලීන් සද්දේ මුහු වෙලා දොරට තට්ටු කරනවා ඇහුනා..


"තමුසේ දැන්ද ඕයි නැගිට්ටේ..මමද මේ ගෙදර වැඩකාරයා...කඩේ යන්නයි කක්කුස්සි හෝදන්නයි...තමුසෙව බැන්දට වඩා හොඳයි මම මී පාසානම් කෑල්ලක් කෑවා නම්...මොකට මේකිව මගේ කරේ එල්ලුවද මන්දා මගේ මහ එවුන්...කරුමේ.."


දොර කඩාගෙන ආපු කුණාටුව, ඔව් නෛතික ස්වාමි බන්ධනය, උදෑසන රාජකාරි පටන් අරගෙන...මම දුරදොඩනය විසන්ධි කරලා ජනේලය ඇරියා..දැන් වැස්ස පායලා..ඒත් පාරේ පිළී ගඳට වතුර තැනින් තැන ඉතිරි වෙලා තියෙනවා..

Comments

  1. නියමයි බං. අපිට මේකට අමුතුවෙන් දෙයක් කියන්න ඉඩ නොතියා උඹ හැම දේම සම්පූර්ණ කරලා කතාව ලියලා. සුපර්බ්.

    ReplyDelete
  2. මුලින්ම අදයි ගොඩවුණේ. කතාව ලස්සනට ලියලා. උපමා එක්ක වචන ගැලපීම මරු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ආයිත් ගොඩ වෙලා යන්න එන්න... සාදරයෙන් පිළිගන්නවා..ගොඩක් ස්තූතියි :)

      Delete
  3. කියවන් යද්දි හරිම කම්ප්ලීට් බවක් දැනෙනව. ඔයාට කියන්න ඕනෙ දේවල් අපූරුවට ලියාගන්න පුලුවනි ඔයාට. සුබ පැතුම් අමා. අමා දක්ෂයෙක්.

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ ගොඩාක් ස්තූතියි ^_^

      Delete
  4. නියමයි . ඒත් සම්ප්‍රදායික අසියානු ගැහැණු මානසිකත්වය තියෙන මට නම් මේ වගේ දෙයක් හිතාගන්නවත් බැරි වෙයි.
    "එයාට ඔනි වුනා එයාගේ අත්තටු ආයිමත් අරගන්න..."

    සුපිරියි .

    ReplyDelete
    Replies
    1. මටත් අමාරුවෙයි ඇත්තටම... ඒ අතින් අපි හෙන ආගාද තත්ත්වයක නේද ඉන්නේ.. තැන්ක්යු මෙතූ

      Delete
  5. හරි පුදුමයි නේද අමා අපි අත්හැරීම , අන් අයට දුකෙදි පිහිට වීම වැනි ඉගැන්වීම සහිත බෞද්ධ දර්ශණයක් සහිත රටක උනත් අපි ඉන්න තැන ගැන.. කොයි තරන් පටු සීමාවකද අපේ රටවල් වල පිරිමියා සහ ගැහැනිය ඉන්නේ...

    ReplyDelete
  6. නියමයි මුලින්ම තමයි මම මේ ගොඩවැදුනෙ මේක නම් සුපිරියි.

    ReplyDelete
  7. මේ මගේ මුල්ම කොමෙන්ටුව.
    ඔබේ භාෂා හැසිරවීම අනර්ගයි. කතාව සමහර තැන් පැටලිලි උනා නමුත් සමස්ථයක් ගත්තම නියමයි.
    ඔබට ජය!

    ReplyDelete
  8. ඔබට දෙයක් මවන්න පුළුවන් හොඳට.....ඒකම ඇති කතාව නාට්‍යක් වගේ රසවිඳින්න......

    අහම්බෙන් හම්බුණේ.....දිගටම කියවන්නයි ඉන්නේ.......

    ReplyDelete

Post a Comment