විරහව


"මම රෝස පඳුරක් බව ඇත්ත...ඒත් මමත් කෙළ්ළෙක්.."
පළවෙනිම වෙඩිමුරය නිල් අහසට වෙඩි තිබ්බේ රෝස පඳුර..ඉහ මුදුන් වල විතරක්ම මල් පිපුන රෝස පඳුර හීන් ඉකියක් එක්ක වෙව්ලන හඬකින් දණහිස් අත ගෑවා...රෝස කටු දෙක තුනක් බලහත්කාරෙන් ගලවලා විසි කරන ගමන් සීරුවට කඳුළු බිංදුවක් පිහදැම්මා...
 "ඔයා අහගෙනද ඉන්නේ?හාවක් හූවක් නැති වුනාට දන්නවා අහන් ඉන්න විත්තිය හොඳටම මම...මේ තරම් බරපතල වැරැද්දක් කරලත් ඔහොම ඉන්න කොට ,මට වුනත් දුක හිතෙන එක, තරහ යන එක අසාධාරණ නැහැ නේද?ඒත් ඔහොම කතා නොකර හිටියම...අඩුම ගානේ නිදහසට එකම එක පුංචි කරුණක්වත් නොකිය හිටියම රිදෙන්නේ මගේ හදවත...රෝස කටු නැති තැනක පරිස්සමට තියෙන හදවත...එක පාරක් උත්සහ කළොත් නරකද? නිදෝස් බව පෙන්වන්න නෙමෙයි..මගේ හිත ටිකක් හැදෙන්න..සමාව දෙන්නත් පුළුවන් වෙයි සමහරවිට..අවිශ්වාසද මාව..."
රෝස පඳුර එයා ලඟින්ම හිටිය පිහිඹියා ගහ දිහා බැලුවේ හෙමින් කොඳුරන ගමන්..මේ උයනේ හරිම මැද, මල් පිපෙන්නේ නැති ,කාටවත් වැඩක් නැති පිහිඹියා ගහට ආදරේ කලෙත් රෝස පඳුර විතරමයි...
රෝස පඳුර ඇස් පුංචි කරගෙන පිහිඹියා ගහ දිහාව බලාගෙන හිටියා...දැන් හරි උස මහත හැඩිදැඩි ගහක් වෙලා;පිහිඹියා...
 "ඇත්තමයි හිතෙනවා මට උල් වෙච්ච රෝස කට්ටකින් අනින්න රිදෙන්නම...දන්නවද රෝස කටු හරිම විස බව...උයන් පල්ලාගේ වම් අතේ හදවත් හැඩයට සීරුම් තුවාල කළෙත් මම...ලේත් ආවා හරියට..ඔයාට එහෙම නොවෙන්න බෑ නේද?ගහකට වුනත් රිද්දන්න පුළුවන් මට..ඒත් මට දුක හිතේවිද දන්නේ නෑ තව...ඔයාව , මං අල්ලගෙන ඉන්නේ මුල් වලින් බව දන්නේ අපි දෙන්නම විතරයි ද?අල්ල ගත්තේ මුල් වලින් ආදරෙන් හරිම...කටු නැති මුල්; මගේ ආදරණියම ආත්මය"
පිහිඹියා ගහ ඇස් කොණකින් රෝස පඳුර දිහා බලලා අහක බලා ගත්තා..පිහිඹියා ගහ වියපත් කොළයක් රෝස පඳුර ලඟටම වැටෙන්න අත හැරියා..රෝස පඳුරේ දිගු සුසුම් වලට ඒ වැටිච්ච කොළය ඈතට ගහගෙන ගියා...ඈතට ඈතට..සමහරක්දාට අනන්තයට වෙන්න ඇති...තවත් සමහරක්විට අනන්තයට ටිකක් මෙහායින්..
 "හැමදාම මල් පිපෙන්නේ නැති බව ඇත්ත...ඒත් ඉඳලා හිටලා පිපෙන මල් ඔයාට...දැනන් හිටියෙම නෑ කියන්න එපා තව....පිරිමි හරි ලැජ්ජයි ඔව්වට...මල් කියන්නේ ගෑනු වැඩ..ඒත් ඔයා ආසයි නේද...ඉඳලා හිටලා දෙන මලට...ඒත් අද අමතක කලා නේද?ආදරේ කරන මේ මාව...අසාධාරණයි හරිම ප්‍රේමය.."
රෝස පඳුර ඉකි ගහන සද්දේ වටේ පිටේ රෝස පඳුරු වලට ඇහුනා...රෝස පඳුරක් කියන්නේ අතහැරුනු තනි වුනු අයට...කාගෙවත් දුක අහන්න වෙලාවක් කොහෙද..තමන්ට මහමෙරක් දුක් තියෙන කොට...රෝස පාට කඳුළු වල ආදරේ දිය වෙලා තිබ්බා...පිහිඹියා හිස්ම හිස් අහස දිහා..වැරදුනා...වළාකුළු දෙකක් විතරක් තිබ්බ අහස දිහා බලාගෙන හීල්ලුවා...
 *****************************************
 "මේ රෝස පඳුරේ මල් පිපෙන්නේ නැති එකට..වැරදි මේ පිහිඹියා ගහ..අව්‍ රැල්ලක් වැටෙන්නේ නැති නිසා තමයි ඔය..මේ බලන්න...ඊයෙ දැම්ම සළකුණ ..කපන්නට තමයි මේ ගහ තියෙන්නේ අද.."
උයන් පල්ලාගේ එක පොරෝ පහරකින්..දෙකකින් තුනකින්...දැන් ගහ බිම වැටුණා...රෝස පඳුර ලතෝනි තිබ්බා...කවුරු අහන්නද?කාට ඇහෙන්නද?
 *****************************************
කතාවකට අවසානයක් දෙන එක කොච්චර ලේසිද?අවසානයෙන් පස්සේ වෙන දේවල් ගැන හිතන්නේ කීයෙන් කී දෙනාද?රෝස ගහ දැනන් හිටියෙම ආරම්භයක් ගැන..අපි නොදන්නවා වුනාට රෝස ගහ තාම අල්ලගෙන ඉන්නවා පිහිඹියා මුල් තදට..හීතල වුනත් කොච්චර...ආදරේ කියන්නේ එච්චර තදට බැදෙන එකට..අත්හැරීමක පවා තියෙන්නේ නොපෙනෙන්න ආදරයම තමා...දැන් හැමදාම රෝස ගහේ මල් නම් පිපෙනවා හරියට... ඉඳලා හිටලා දවසක ;
 "කොච්චරක් මං වැරදිද බැනපු එක..ඒත් ඔයාට තිබ්බා නේද අතු විතරක් කපන්නට කියන්න...හිත හැදෙන්නට මගේ ,නිදහසට කරුණු කියන්න"
කියනවා ඇහෙනවා නිතරම...

Comments

  1. අමුතු හැඩකට ලියවුන කතාවක් මම මේ කතා අමාස් ස්ටයිල්ස් ස්ටොරි කියලා හදුන්වනවා

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ අක්කෝ...අමාගේ ස්ටයිල් එකක් කියලා පේනවා කියන්නේ උත්සහය ටිකක් සාර්ථකයි වගේ 😊

      Delete
  2. හිතක් පපුවක් නැති පිහිඹියා ගහෙන් ආදරය ඉල්ලපු පුන්චි රෝස පදුර ගැන ඇත්තටම දුක හිතුණා.කතාව ලස්සනයි.

    ReplyDelete

Post a Comment

Popular Posts