හුදකලාව...
"අයිඅයියෝ මදාරා.. ලාස්ට් වීක් නේද තර්ටි වුනේ ඔයාට.. තාම බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් නැද්ද අනේ?"
සුලෝ ඉඳුල් අතෙන් කෑම පෙට්ටියේ පියන වහන ගමන් මං දිහා බලන් කිව්වා..
මේ පළවෙනි වතාව නෙමෙයි...ඔෆිස් එකේ ලන්ච් ටයිම් එකට නිරායාසයෙන් ඇඳිලා එන මාතෘකාවක් වෙන එක දැන් මට පුරුදුයි.. සමහර දවස් වලට මගේ කොණ්ඩේ තැනින් තැන මතු වෙන සුදු නර කෙස් ගස් දිහා බලාගෙන හූල්ලන "ඔෆිස් ගෑනු සමාජය", තවත් දවසක මගේ ඇස් ලඟ මටවත් නොපෙනන රැළි ගැන හූල්ලනවා... එකට එක කියන්න, මං වෙනුවෙන් පෙනී ඉන්න බැරි තරමට දැන් හෙම්බත් නිසා ඒ හැමදේකට හිනා වෙනවා ඇරෙන්න වෙන වෙනම ප්‍රතිචාර දක්වන්න මට අමාරුයි...
මම ජීවත් වුනේ තනියම.. අංක පහක පඩියක් ලැබෙන්න පටන් ගත්තාට පස්සේ මගේම කියලා පුංචි අපාර්ට්මන්ට් එකක් අරගෙන තනියම ජීවත් වෙන්න මට උවමනාවක් තිබුණා..හතරවෙනි තට්ටුවේ, අංක එකසිය එකොළහ, මුහුද පැත්තට හෝස් ගාලා ඇරලා දාන්න පුළුවන් ජනෙල් තියෙන අපාර්ට්මන්ට් එක මගේ ගෙදර වුනේ එහෙම.. වැඩ ඇරිලා ගෙදර ගිහින්, සාරිය ගලවලා දාලා කණ්ණාඩිය ඉස්සරහා හිටගෙන මම මං දිහාම බලන් ඉන්නකොට,"ඔෆිස් ගෑනු සමාජයෙන්" වහගන්න බැරි තරමට වේගයෙන් මම වෙනස් වෙනවා නේද කියන එක මටම තේරෙන්න පටන් ගන්නවා... ඒ වගේ දවස් වලට ගෙදර එකම එක විදුලි පහනක්වත් පත්තු නොකර, කළුවරේම ඇඳට වෙලා හෙමින් අඬඅඬා ඉන්න එක කලත්, මම දන්නවා ඒක හරිම මෝඩ දෙයක් විත්තිය...
මගේ හොදම යාලුවා, ඉශාරි.. මේ වෙනකොට ඉශාරි පළවෙනි දරුවා ලැබිලා වචන වලින් කියන්න බැරි තරම් බිසී වෙලා ඉන්න වෙලාවක, කෝල් කරලා ඉස්සර වගේ හිතේ තියෙන දුක කියන එක යුතු නෑ කියලා වෙලාවකට මට හිතෙනවා... ඒත් දරාගන්නම බැරි තරම් මූසල පාළු දවස් වලදි, "අනේ මට සමාවෙයන් බන් කරදර කලාට" කියලා පටන් අරන් වක්කඩ කැඩුවා වගේ දුක සතුර බෙදාගතත්, තව ඩිංගක් හදවත පතුලේ ලාටු වලට ඇලවිලා ඉතිරි නේද කියලා හිතෙනකොට, මම දන්නේ නෑ ඒ ඩිංගිත්ත පිටකරගන්න විදිහ..
"ෆේස්බුක් එකේ හොද කොල්ලෝ ඇති.. අපේ මනුස්සයාගේ නංගි බැන්දෙත් ෆේස්බුක් එකෙන් හොයාගෙන නෙහ්.. උඹත් බලපන් නිකන් ඉන්න වෙලාවක ඔළුව දාලා වැළහින්න වගේ නහින්නේ නැතුව", ඉශාරි කිව්වේ එහෙමයි..
කැම්පස් කාලෙන් පස්සේ බලන්නවත් බැරිවුන ෆේස්බුක් අකවුන්ට් එකට කාලෙකට පස්සේ ගියාම තමා දැක්කේ හැමදේම වෙනදට වඩා වෙනස් වෙලා නේද කියලා.. මිතුරු ඇරයුම් දාහක්! ගොඩක් එව්වා පිරිමි ළමයි.. එක එක වයස් වල..එක එක රූප.. එක එක හැඩතල...මම මට හොදයි කියලා හිතුන කිහිපයක් ලයිස්තුවට එකතු කරගත්තා.. පණිවිඩ ගැන ගන්න බැරි තරම් දුරදොඩනය දෙදරවාගෙන එන්න පටන් ගත්තේ, "දැන් මම පිපිරෙන්න යන්නේ" කියනවා වගේ.. ඒ ගොඩක් පණිවිඩ කියවන්න අමාරුයි.. සමහර පණිවිඩ වල තිබ්බේ වල්පල්..සමහට පණිවිඩ වල මල් වැල්..
මුලින්ම මම කතා කලේ මගෙ වයස මට්ටමේම කෙනෙක් එක්ක.. මුලින්ම බොහෝම වැදගත් විදිහට පටන් ගත්ත කතාබහ, ගොරව ගොරවා වහින දවසක අපගමනය වෙලා වෙනත් මාර්ගෙක ගහගෙන ගියා.. ඒ වෙලාවට දේවල් අපිට පාලනය කරගන්න අමාරුයි... හැමදේම ක්ෂණිකව සිද්ධ වුනා.. පස්සේ තමා මම දැනගත්තේ ඒ මනුස්සයා කසාද බැඳපු මිනිහෙක් විත්තිය.. මට දුක හිතුනා..මට මං ගැනම මොහොතකට කළකිරුණා...ඒත් මම මොනවා කරන්නද..සමහර දේවල් සිද්ද් වෙනවා.. පසු පසුතැවීම ඉතිරි වුනත්, ආපස්සට හැරිලා බලනකොට මගේ වැරැද්දක් නෑ නේද හිතුනා..ඒත්,මම ෆේස්බුක් අහක් කරලා දැම්මා...මට ඔනි වුනේ නෑ රැවටෙන්න...මට සෙල්ලම් කරන්න උවමනා වුනත් කාලය තිබ්බේ සීමිත වෙලා..
ඔයාල හිතනවා ඇති, "ඇයි මිනිස්සු හොයහොයා වෙහෙසෙන්නෙ, තනියම ජීවත් වෙන්න පුළුවන් නෙහ්" කියලා.. මම දන්නේ නෑ ඔයාලා විස්වාස කරයි ද කියලා..මම හිතුවෙත් එහෙම..ඒත් ඒක හිතනවට වඩා හරිම අමාරුයි... ආදරය කියන දේ ලබන්න තියෙන තෘෂ්ණාව, ඒක දරාගන්න බැහැ..."අනේ මට ආදරය කරන්න" කියන්න උවමනා වුනත්, කියාගන්න බැරි දුක!! ඔයාලට තේරෙන එකක් නෑ.. ඒ නිසා මම විස්තර නොකර ඉන්නම්..
"ටින්ඩර් දාගන්න..ඒක නම් හොදයි හැබැයි..", ඉශාරිට ෆේස්බුක් විස්තරේ කිව්වාට පස්සේ මට කිව්වා.. ඒක හරිම පහසුයි.. කැමති නම් දකුණට, අකමැති නම් වමට තල්ලු කරන්න..ලස්සන ලස්සන පිරිමි පරාණ විසාල ගාණක් මට කැමති වෙලා තිබුණා..ගොඩක් හිටියේ පොඩි කොල්ලෝ..මගේ වයස අය හිටියේ අඩුවෙන්.. සමහරු දිහා බලන් ඉන්න ආස හිතෙනවා...මම උදේ ඉදන් හවස් වෙනකන් ඇඟිලි වමට දකුණට හෙමින් පැද්දුවා..
සුමිත්‍රව හම්බුනේ එහෙම.. සුමිත්‍ර මට වඩා අවුරුදු පහක් බාලයි..මම එයාට කතා කලේ සුමී මල්ලි කියලා.. සුමී මල්ලි ටික දවසකින් සුමී වුනා.. ඔෆිස් එකේ දි ෆෝන් එක ඔබඔබා ඉන්නවා දැක්කාම සුලෝ ඇවිත්, හොරාට හිනා වෙවී "ආ කෙල්ලට හරි ගිහින් නෙහ්," කිව්වාම මමත් ලැජ්ජාවෙන් හිනා වුනා.. ඒ කාලේ වෙද්දි "ඔෆිස් ගෑනු සංගමයට" වෙන වැදගත් මාතෘකා එකතු වෙලා මාව අමතක වෙලා ගිහින් තිබුණා..
හවස වැඩ ඇරිලා ඇවිත් මම එක ජනෙල් පියනක් ඇරල දැම්මා.. එතකොට ලුණු සුවඳ හුලඟක් ඇවිත් ලැවෙන්ඩර් හඳුන්කූරු වල සුවඳට මුහුවෙනවා.. බිරියානි දෙකක් ඕඩර් කලා..සුමී හරි කැමති මොජිටෝ බොන්න..ඒ නිසාම හවස අරන් ආපු ලෙමන් වලින් මොජිටෝ හැදුවා...සුමී ඇවිත් දොරට ගහනකොට මම මස්කාර ගාන ගමන් හිටියේ..සුමී මට වඩා බාල වුන නිසා මේකප් දැමීම අනිවාර්යය විත්තිය මම මටම කලින් ඉදන් කියාගෙන තිබුණේ..සුමී මල් පොකුරක් අරන් ඇවිත් තිබුණා...
අපි හින වුනා, කතා කලා.. මට දැනුනේ මම තරුණ වෙලා කියලා...සුමීගේ එක් අතක් බදාගන්න මගේ අත් දෙකම ඔනි වුනා.. සුමී මගේ ලඟට ඇවිත් මගේ අතින් ඇල්ලුවා..සුමී ගාවින් ආව කොලොන් සුවඳට මම ආස වුනා..ඒක සුමීගේ සුවඳ..සුමීගේ කම්මුල් ඇවිත් මගේ කම්මුල් වල ගෑවෙනවා දැනුනා..ඒක හරිම සුවපහසු හීනයක් වගේ.. මට දැනුනේ ලෝකයම සුමී වටේට කරකැවෙනවා වගේ...
උදේ නැගිටිනකොට සුමී යන්න ගිහින්.. කොට්ට උර, ඇඳ ඇතිරිලි වල සුමීගේ කොලොන් සුවඳ පොළොං ගඳක් වගේ ඉතිරි වෙලා තිබුණා.. මස්කාර දියවෙලා ගිහින් කම්මුළ දිගේ කළු පාට ඉරක් ඇඳගෙන පල්ලම් බහින අඬන්න හොද නෑ කියලා හිත තද කරගත්තා...මම සුමීට කෝල් කලා..ෆෝන් එක වැඩ කලේ නෑ.. ෆේස්බුක් එකෙත් මට එයාව හොයා ගන්න බැරිවුනා..එයා යන්නම ගිහින්..මම ආයිත් පරණ චක්‍රයට එකතු වුනා...
ආදරය අල්ලා ගන්න කලින්ම ගිලිහෙන කොට දුකයි.."උඹට කවුරුත් ආදරේ නෑ.." කියලා කියන අදිසි කටහඬක් ඔළුව ඇතුළේ දෝංකාර දෙන්න පටන් අරගෙන තිබුණා... එතකොට මට ඉශාරි ගැනත් ඉරිසියාවක් හිතුනා... ඉශාරිට හැමදේම තියෙනවා.. ඒත් මට!! ඉරිසියාව දුක අභිබවා ගෙන ඇවිත් ආත්මානුකම්පාව ඉතිරි කලා.. මම ඉශාරිට කෝල් කලා.. ඒත් ඉශාරිගේ දුරදොඩනය කාර්‍යබහුල වෙලා තිබුණා..
පහුවෙනිදා ආයිත් ඔෆිස් ගියාම, "හොද නැද්ද අර ක්‍රීම් එක අරගත්තා නම්.. බලන්නකෝ ඇස් යට කළු ගැහිලා නෙහ්.."
නර්මදා ලන්ච් ටයිම් එකේදි මගේ දිහා බලාගෙන කිව්වා..
මම හිනා වුනා.. සමහර දේවල් අපි හොයාගෙන ගියත් අපිට ලැබෙන්නේ නෑ නම් ලැබෙන්නේ නෑ.. ඒත් මම ෆෝන් එකේ නෝට් පෑඩ් එකේ " හෙට සැලුන් යන්න ඔනි" කියලා සටහනක් දාගත්තා..
මොනව කියන්නද කියලා තේරෙන්නෙ නෑ... මං තාම ඒ මොමන්ට් එකේ හිරවෙලා...
ReplyDelete