මම , ඔහු සහ කිහිපදෙනෙක් (3 කොටස)

ලෝෂණි-



එයා කියෙව්වේ හැමතිස්සේම වගේ සමාජවාදය ගැන ලියවිච්ච හෙන සයිස් පොත්..මම ඒ කාලේ ඒ.ලෙවල් ලියලා ගෙදර ඉන්න නිසා එයා මට ඒ පතරංග පොත් ගෙනත් දෙනවා කියවකියවා ඉන්න..තව රුසියන් කෙටි කතා වගේ ඒවත් ගෙනත් දෙනවා...එයා සුමේධ...අඩි හයයි අඟල් දෙකක් විතර උස , තලෙළු හමක් තියෙන බොකටු කොණ්ඩකාරයෙක්...

හැමදේම පටන් ගත්තේ පොත් වලින්ම තමා...සුමේධ හිටියේ අපේ ගෙදර ඉදන් ගෙවල් හතක් එහායින් තියෙන පුංචි කාමරයක් කුලියට අරගෙන...එයා රස්සාවක් කළාද නැද්ද කියන එක අදටත් ප්‍රශ්නයක් වුනත් දැන් රස්සාවල් කරන ගොඩක් ආඬපාලිකාරයන්ට වඩා එයා ගොඩක් දේවල් දැනගෙන හිටියා...මුලින්ම මුලින්ම නම් පොත් ගෙදරට ගෙනත් දුන්නත් පස්සේ පොත් අරගන්න මට එයා හිටපු කාමරේට
යන්න වුනා...කාමරේ හැමතැනම ගහලා තිබ්බේ රතු පාට පෝස්ටර්...රතු පාට කියන්නෙම ගිනි ගන්න පාටක් නෙහ්....සුමේධත් ගිනි අරගෙන හිටපු දවසක මමත් එයත් එක්ක හවුලෙම ගිනි ගත්තා...එතකොට මට දාහතයි....සුමේධට විසිහත නම් පැනලා විත්තිය කියන්න පුළුවන්...හැමදේම ඉවර වෙලා සුමේධ  හතිදාන කොට තාමා දැක්කේ බිත්තියේ රතු පාට ඇඳ රෙද්දේ ඉහිරිලා තියෙනවා...සුමේධ කිව්වේ රතු කියන්නේම විප්ලවයක පාට කියලා...එයා හිනා වුනා මාත් එක්ක...මමත් හිනා වුනා...මම හිතුවා එයා හැමතිස්සෙම හරි කියලා..

විප්ලවයේ ප්‍රතිඵල එන්න පටන් ගත්තේ මාසෙකට විතර පස්සේ...මුලින්ම ඔළුව කරකැවිල්ල..ඊටත් පස්සේ වමනය...අම්මා කිව්වේ කාපු ජරාවක් අජීරණය වෙලා ඇති කියලා...අම්මා මට කන්න බෑ කිව්වාම රසම් හදලා දුන්නා...එදා හවසම මම සුමේධව හොයාගෙන ගියේ මේ හැමදේම එයාට කියන්න..සුමේධ හිටියේ රුසියානු විප්ලවයේ කාන්තා සළකුණු කියලා පොතක් කියවන ගමන්...
මම සුමේධට හැමදේම කිව්වා...මට වමනය යන එක ගැන ඉඳන් යටිබඩ රිදෙන එක දක්වා හැමදේම...සුමේධ සුදුමැලි වුනා...කෙළ ගිල ගන්න බැරි වුනා....එයා කිව්වා විප්ලවය කරන්න ගෑනියෙකුයි පිරිමියෙකුයි දෙන්නෙක් ඔනි වුනාට ප්‍රතිඵල නම් භුක්ති විඳින්න ඔනි ගෑනි විතරමයි කියලා...මම ඇඬුවා...එයා කිව්වේ මෙහෙම දෙයක් වෙන්න කලින් ගෑනියෙක් වුනාම පරිස්සම් වෙන්න දැනගන්න ඔනි කියලා...එයාගේ බිත්තිවල ලියලා තියෙන සටන් පාඨ පිස්සුවෙන් හිනා වුනා...සුමේධ මුකුත් නොවිච්ච ගානට ආයිත් පොත කියවන්න පටන් ගත්තා...ඊට පහුවෙනිදාම සුමේධ කොහෙද ගිහින්...කිසිමදෙයක් ඉතිරි නොකර අරන් ගිහින්...ඊටත් සතියකට පස්සේ අපේ විප්ලවයේ ඵලය හොර පාරෙන්ම බඩ අතෑරලා යන්න ගිහින් තිබ්බා..
මේ පළවෙනි වතාව...පිරිමි සතෙක්ට රැවටිච්ච...සුමේධ තමා පළවෙනි පිරිමි සතා මම රැවටිච්ච...දෙවනි පිරිමි සතා ආවේ මෝටර් සයිකලේක නැගලා...කොණ්ඩේ කූරු කූරු වෙන්න හදලා...බෙල්ලට සුදු යකඩ මාලයක් දාලා...එයා රොමේෂ්..එයා ආවේ සුමේධ වගේ පොත් ගොඩකට මුවා වෙලා නෙමෙයි..එයා ආවේ තරුණ ජවයත් එක්ක...හයියෙන් කතා කරන හයියෙන් හිනා වෙන අමුතු පිරිමි ගතියක් එක්ක...  

රොමේෂ් වැඩ කලේ මම මැහුම් පංති ගියපු තැන ඉස්සරහා තිබ්බ කොමිනිකේෂණ් එහෙක...මැහුම් පංති ගියේ මහන්න ඉගෙන ගන්නම නෙමෙයි ඒ කාලේ...රස්සාවක් හම්බවෙනකන් කාලේ කන්න...ඒ.ලෙවල් පාස් නිසා මං රස්සාවල් තුන හතරකට ඇප්ලයි කලත් එකකින් වත් ඉන්ටර්වීව් වත් ආවේ නෑ...ඉතින් ඉඳිකටු නූල් බෝල අරගෙන උදෙන්ම මැහුම් පංති ගියා...මුලින්ම රොමේෂ් මට දුන්නේ සුදු කඩදාසියක ලිව්ව ලියමනක්...ලස්සන බෝල අකුරු තිබ්බ ඒ ලියමන කාටදෝ කියලා ලියවගත්ත විත්තිය දැනගත්තේ පස්සේ කාලෙක...ඒ ලියුමෙන් අමුතු සුවඳක් ආවා...හරියට ඒක ගැටපිච්ච සුවඳක් වගේ...

රොමේෂ්ට ආදරේ කරන්න පටන් ගත්තේ මමවත් දන්නේ නැතිව...ඒ කාලේ කෙල්ලෝ හැමෝම කියවපු කුසුම් පත්තරේ ප්‍රසන්න කුරුප්පු ලියපු මල් හීන කතාවේ සඳා වගේ...ඒක හෙන පිස්සු කාලයක්...මම ඇන්දේම දිග ෆ්ලෙයාඩ් සායවල්...කොණ්ඩේ එක කරලට ගොතලා හින්දි සිංදුවක් මුමුණ මුණ ඔහේ කාලෙ ගෙවලා දාපු..රොමේෂුයි මමයි ගියේ මුහුදු වෙරළට හැමදාම...දවසක් රොමේෂ්ට ඔනි වුනා රැළ්ළ පාගනවාට වඩා දෙයක්...මමත් දෙපාරක් නොහිතා කැමති වුනා...ඇයි මම බය වෙන්නේ රොමේෂ් මගේ නෙහ් කියලායි මම හිතුවේ...

රොමේෂ්ට ඔනි වෙලා තිබ්බෙත් දොළ පිදේනිය විතරයි...රොමේෂ් තමා යකා...මම තමා දොළ පිදේනිය...යක්කු දොළ පිදේනි ගෙවල් වල අරගෙන යන සිරිතක් නෑ නෙහ්...මම දෙවනි පාරටත් එකම වැරැද්ද කරගෙන තිබ්බා...මම රොමේෂ්ව හොයාගෙන ගියේ ඔළුව උඩ ගිනි කබලකුයි බඩේ දරු පැටියෙකුයි තියාගෙන...රොමේෂ්ට විස්තරේ කිව්වාම රොමේෂ් පිළිගත්තේ නෑ ඒ එයාගේ ළමයෙක් කියලා...ඒ වෙලාවේ තමා ජීවිතේ තියෙන නන්නත්තාරම පතුළට මාව ඇඳගෙන වැටුනේ...මම ඇඬුවා...හින්දි ෆිල්ම් වල දෙබස් කියකියා කෑ ගැහුවා...ඒත් රොමේෂ් කලේ කම්මුළට ගහලා එලව ගත්ත එක...රොමේෂ් වගේ පාහරයෙක්ගේ ලමයෙක්ව හදන්න උඩු හිත කැමති වුනේ නැති වුනාට යටි හිත හිටියේ යටි බඩ බදාගෙන...රොමේෂ් කිව්වා බඩ සෝදමු කියලා...මුලින්ම හිත කිව්වේ එපා කියලා...ප්‍රාණඝාතය කරාම ලබන ආත්මේ විඳවන්න වෙනවා කියලා බුදු බණේ තියනවා තමා..ඒත් තාත්තෙක්  නැති ආතක් පාතක් නැති දරුවෙක්ට හුස්ම දීලා ඌවත් මේ කාළකණ්ණි ලෝකෙට එක්කන් එනවාට වඩා බඩ ඇතුලේදිම බෙල්ල හිරකරලා මරලා දාන එක හොඳයි කියලා ඒ වෙලාවේ හිතුනේ...ඉතින් අන්තිමට බඩ ඇතුළට ආපු සුළි සුළඟින් මගේ දරුවා ගහගෙන ගියා...ආයිත් නොයෙන්නම පාවෙලා ගියා...ඊට පස්සේ රොමේෂ්ව කවදාවත් හම්බුනේ නෑ.....ආයිත් සංසාරේ කවදාවත් හම්බ වෙන්න ඔනිත් නෑ....


ඔය හැමදේටම පස්සේ තමා මට ජොබ් එකට ඉනටර්වීව් ආවේ...එතන හිටිය අමුනුස්ස ප්‍රාණියන්ට වෙන වෙනම බිලි පූජා තිබ්බාට පස්සේ තමා රස්සාව හම්බ වුනේ...ගෑනු වෙලා ඉපදෙන එකම අනතුරක්...ඒක කොයි වෙලාවේ සිද්ද වෙනවාද කියන්න කවුරුත් දන්නේ නෑ...ඒ වගේම ගෑනු කෙනෙක්ට ඉහළට යන්න තියෙන හැම පාරකම යක්කු ඉන්නවා...එක්කෝ ඒ යකෙක්ට බිල්ලක් වෙන්න ඔනි..නැත්නම් ආයිත් හැරිලා පස්සට එන්න ඔනි...
මාව බඳින්න කැමැත්තෙන් ගොඩක් අය ආවා...අන්තිමට බැරිම තැන මම සමන්ට කැමති වුනා...සමන් සාමාන්‍ය පිරිමි ජාතියේ කෙනෙක් නෙමෙයි...එයා මාව බැඳලා තියෙන්නේ නිකන් ප්‍රදර්ශනයට වගේ...ඒකට කමක් නෑ කියලා මම ඉවසුවා...ඒත් එක දවසක් ඒ ඉවසීමේ සීමාව අතුරුදහන් වුනා..සමන් හිටියේ අපේ කාමරේ වෙන තව කොල්ලෙක් එක්ක...මම එදාම සමන්ව දාලා ඇවිත් කාමරයක් කුලියට අරගෙන නතර වුනා...සමන්ගෙන් ඩිවෝස් එක ගන්න අමාරු වුනේ නෑ..සමන් මට වන්දියක් අදටත් ගෙවනවා...මම ඒ සල්ලි පාවිච්චි කරන්න කැමති නෑ...ඒ ඇයි කියලා අහන්න එපා...මම කලින් රස්සාව අතෑරියා..මොකද සමන් ගැන එතනට ආරංචි වෙලා තිබ්බ නිසා...ටික කාලෙකට පස්සේ තමා මට අලුත් රස්සාවක් ලැබුනේ..ඒක තවත් කතාවක් පටන් ගන්න හේතුවක් වෙයි කියලා හිතුනේ නෑ...



සරත් මගේ කතාවට ආවේ මේ කාලෙදි...මම රස්සාවට යන්න කලින් කොණ්ඩේ ස්ට්‍රේට් කරා..මේකප් ගාන්න පුරුදු වුනා....මට ඔනි වුනේ මගේ මුළු අතීතයම පුයර ටිකක් උලලා වහගන්න...ගොඩක් දුරට ඒක සාර්ථකයි...මම නිතරෝම හිනා වෙලා ඉන්න හැදුවා...එහෙම ඉන්න කොට හැමෝම හිතන්නේ සතුටින් ඉන්නවා කියලා...මම ඒකට කැමතියි...එක දිගට රැවටිලා ඉන්න ගෑනියෙක් මෙහෙම රැවටීමක් කරන එක මහ පවක්   වෙන්නේ නෑ නෙහ්...
සරත් මාත් එක්ක හිටියේ සතුටින්...මමත් සතුටින් හිටියාද කියලා කියන්න මම දන්නේ නෑ...මම හිටියේ මානසිකව වෙහෙස වෙලා...ශාරීරිකව තෙහෙට්ටු වෙලා...සරත්ගෙන් ආරක්ෂාවත් ආදරයත් ලැබුනා...ඒත් මට එයාට පෙන්නන පුළුවන් වුනේ ආදරේට වඩා සෙනෙහසක් වගේ දෙයක්...තාත්තෙක්ට දුවෙක් කරනවා වගේ...
මම සරත් නිසා  අම්මෙක් වෙන්න යනවා කියලා දැන ගත්තාම මට බය හිතුනා...සරත් අනිත් අය වගේම පලා යෑමක් වගේ තීරණයක් ගනියි කියලා හිතෙන එක සාමාන්‍යයි..ඒකයි ළමයා නැති කරන්න වුනත් මම කැමති බව සරත්ට කිව්වේ...සරත් කිව්වේ ළමයා හදාගමු කියලා...දැන් මගේ කුස යහනේ දරු පැටියෙක් හුස්ම ගන්නවා...තාත්තා කවුද කියන එකට වඩා දරුවෙක් කුසේ ඉන්න එකම ප්‍රාතිහාරයක් වගේ...මේ දරුවාට මගේ කුස ඇතුළෙදි එයාගේ සහෝදර ගන්ධබ්බ රූප මුණ ගැහෙනවා ඇති...පැටියෝ...පුළුවන් නම් එයාලට කියන්න අම්මාට පුළුවන් නම් සමාව දෙන්න කියලා...


සරත් මාව කසාද නොබැන්දට කමක් නෑ...මේ ලැබෙන දේවල් මට ඔනිවටත් වැඩියි..සරත්ගේ නෝනා ගැන මට තියෙන්නේ දුකක්..එයත් මං වගේ ගෑනියෙක්...තමන්ගේ මිනිහා දන් දෙන්න මොන ගෑනිද කැමතියි..ඒත් මට සමාවෙන්න .... අපි හැමෝම එක එක විදිහට ජීවිතේ අසරණ වෙලා...හරි වැරැද්දක් හොයා ගන්න බැරි තරමට... සරත් කසාද බැඳපු බව දැන දැන මෙහෙම හැසිරෙන එක මහා කැත බව ඇත්ත...ඒත් අන්ත අසරණ වෙච්ච ගෑනියෙක් පිදුරු ගහක වුනත් එල්ලෙනවා...මම කලෙත් ගිලෙන්නේ නැතිව ඉන්න සරත් කියන පිදුරු ගහ අල්ල ගත්ත එක...ඉතින් මට ගල් ගහන්න හිතනවා නම් ගල් ගහන්න...ඒ ගල් මමම ඇහිදලා දෙන්නම්...

Comments

  1. මේ ලෝකෙ හරි කූරයි නේද ?

    කතාවක් ඊට සම්බන්ධ හැම පැත්තකින්ම කියවනවමද මංදා... අපූරුයි !

    රමණි(මම)ගේ ලෝකේ ලෝෂණීටත්, ලෝෂණීගේ ලෝකෙ රමණිටත් තියෙන්නෙ කොච්චර පුංචි ඉඩක් වුනත්, ඔවුන් එකම් දංවැලක පුරුක් කියලා හිතෙනකොට හරි පුදුමෙකුත් එනවා...

    ReplyDelete
  2. අකුරු වල සයිස් ඒක පොඩ්ඩක් ලොකු කරන්නකෝ මල්ලි. අපි වගේ නාකි උදවියත් එනවනේ මේවා කියවන්න.

    ඉතුරු කොටස් එනකන් බලන් ඉන්නේ...

    ReplyDelete
  3. බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කලාට බොහොම ස්තුතියි මල්ලි...

    එකම කතාව දෙස සෑම කෝණයකින්ම බැලිය යුතුයි කියන දේ ඔයා බොහොම අපුරුවට දැනෙන්න ඉඩ හැරලා තියනවා...විශේෂයෙන්ම අඹු සැමි සම්බන්ධතා, ප්‍රේම කතන්දර පමණක් නෙවේ එදිනෙදා ජිවිතේ වෙන ඕනෙම දෙයක් දිහා බලල අපි නිගමන වලට එළඹෙද්දී, අපි අනිකාගේ සපත්තුව තුලට අනිවාර්යෙන් බැසිය යුතුමයි..

    අලුත් ආරකින් මේ ලියවෙන් කතන්දරයට මම බොහොම කැමතියි...

    ReplyDelete
  4. කලින් කතාවල ලින්ක් අලුත් කතාවට එකතු කළා නම් අලුතෙන් කියවන අයට පහසු වේවි..

    ReplyDelete

Post a Comment