මම , ඔහු සහ කිහිපදෙනෙක්(2 කොටස)

සරත්-


මම ගොළුවෙක්...උප්පත්තියෙන්ම නෙමෙයි...හිතාමතාම කතා නොකර ඉන්න ජාතියේ ගොළුවෙක්...අම්මා තාත්තා මම කතා නොකර පොත් බලබලා පැත්තක් ගහලා ඉන්නකොට හරියට සතුටු වුනා..එයාලා හිතුවේ මම හොඳටෝම හිතලා වැඩකරන හෙන බුද්ධිමත් ඩයල් එකක් කියලා...මමත් එහෙම එයාලට හිතෙන , එහෙම නැත්නම් එහෙම හිතන්න පෙළඹවෙන තාලෙට වැඩ කලා...සමහරක්දාට අම්මා මගේ ලඟට ඇවිත් එක එක ඕපදූප කතා කරනවා...එහෙම වෙලාවට එයා මගෙන් හූ මිටි බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා මම දන්නවා...මමත් ඔහේ අහන් ඉඳලා එපා වුනාම අම්මාගෙන් තේ එකක් ඉල්ලනවා...එතකොට අම්මා හාමුදුරුවන්ට හදන ගිලන්පස කෝප්පයක් වගේ සද්ධාවෙන් රත්තී පිටි කිරි දාපු කිරි එකක් අසෝක වීදුරුවක් පුරෝලා අරන් එනවා...ඒ ලෙවල් පංතිය වෙනකන් ඉස්කෝලේ ගියා තමයි...අන්තිමට බී.ඒ එක කරන්න කොළඹටත් තේරුනා තමයි..එහෙමයි කියලා ගොළු ප්‍රතිපත්තිය පාවලා දීලා විප්ලවයක් කරන්න තරම් ඕනිකමක් මට තිබ්බේම නෑ...ඇරත් කතා  කරනවාට වඩා මට ගොඩක් හිතන්න දේවල් තිබ්බා...අලුත් නැවේ ආපු කෙල්ලෝ සායවල් ඇඳගෙන, ලයිබ්‍රියට යන්න පඩි පෙළ නගින කොට පහළ ඉඳන් පේන දර්ශනේ ගැන...ගෑනු ළමයෙක් ඉඹිනකොට මුලින්ම ඉඹින්න ඕන කොහෙද කියන එක වගේ දේවල්...ඔව් ඉතින් මේ දේවල් කටක් ඇරලා කියන්න බැරි නිසා මම හිතුවේ කට වහගෙන ඉන්න එක හොඳ ආරක්ෂිත උපක්‍රමයක් කියලා...හැබැයි මගේ ගොළු ප්‍රතිපත්තිය රමණිව බඳින කොටම අහෝසි කරන්න සිද්ද වුනා...


රමණි කියන අකුරු තුන මතක් වෙනකොට මට මතක් වෙන්නේ අපේ ගෙදර වැලේ වනලා තියෙන ළා රෝස පාට රෑ ගවුම..දැන් ඒක ගොඩාක් පරණ පාටයි...රමණි එක අතකින් පව්...අලුත් රෑ ගවුමක් අරන් දෙන්න කියලා නිකන් විහිළුවටවත් කියලා නැහැනේ...රමණි ගැන මට කියන්න කතා කරන්න මහ ලොකු දේවල් මතකෙට එන්නේ නෑ...ඒ ඇයි කියලා මටම තේරුම් ගන්න බෑ..එයාගේ නවත්තනේ නැති කච කච කියවිල්ල, පීරන්නේ නැති පතනශීලි කොණ්ඩය වගේ සුළු සුළු අඩුපාඩු ටිකක් ඇරුනාම එයාගේ වෙන මහ වැරැද්දක් මට පේන්නේ නෑ...සමහරවිට වැරැද්දක් නෑ වගේම විශේෂයෙන් කියන්න තරම් හොඳකුත් රමණිගේ නෑ තමා...


මට මතකයි අපේ කසාදේ සිද්ද වෙච්ච විදිහ...අපේ අම්මා නැති වෙලා අවුරුද්දේ දානේ දීලා ඊට පහු වෙනිදා තමයි රමණිලාගේ ගේ දොර බලන්න යන්න තිබ්බේ...හරි නම් ඒක මනමාලි බලන්න යෑමක් තමා වෙන්න ඕනි..ඒත් පනස් ගනන් වල මැදක ඉන්න, දත් බොල්ලෑව, ඩයි ගාලා ගාලාම මැද තට්ටෙ පෑදිච්ච එලොවටයි මෙලොවටයි නැති මං , ක්ලියෝපැට්‍රා කෙනෙක් බලාපොරොත්තු නොවිච්ච නිසා මනමාලියෙක්ගේ මට විශේෂයෙන් බලන්න දෙයක් තිබ්බේ නෑ...මම බලන්න ගිය පළවෙනි මනමාලිත් රමණි නෙමෙයි...ඇත්තටම අන්තිම කෙනත් රමණි නෙමෙයි...  ඒත් අන්තිමට කර ගහන්න සිද්ද වුනේ නම් රමණිව..

රමණිව මුලින්ම දැකපු දවසේ එයා කොහොම හිටියාද කියලා මම කොච්චර මතක් කරන්න හැදුවත් මතකෙට එන්නේ නෑ...ඒත් මට මතකයි රමණිට පස්සේ ඊට පහුවෙනිදා බලන්න ගිය මනමාලිගේ නියපොතු වල ගාලා තිබ්බ සායම් වල පාට පවා...ඒ ගෑනු දැරිවි ලස්සන පොඩි කෙල්ලෙක්...කොහොම හරි කැමැත්ත දන්වලා තිබ්බේ රමණි..ඉතින් ආයිත් වැඩිය නොහිතාම මම කැමති වුනා...ඊට පස්සේ කසාදේ...ඒ හැමදේම ඉක්මනට ඉක්මනට සිද්ද වුනා..එහෙම වෙන්න එපැයි...අපිට තව බලන් ඉන්න කාලයක් තිබ්බේ නෑ නෙහ්..අපි මැදි වයස පහු කරලත් සෑහෙන කාලයක් නෙහ්..
අඳුන ගන්න කියලා, ආදරේ කරන්න කියලා වෙන වෙනම මාස සති දින වෙන් කරන්න අපිට ( ඇත්තටම රමණිට එහෙම ඕනිකමක් තිබ්බාද කියලා මම දන්නේ නෑ )අවශ්‍යතාවයක් තිබ්බේ නෑ...මම හිතන් හිටියේ ඉන්දියන් මෙගා කතා වල වගේ බැන්දට පස්සේ ආදරේ කරන්න..ඒත් එක හෙන ගේමක් දෙන්න ඔනි වැඩක් කියලා තේරෙනකොට ටිකක් පරක්කුයි..


රමණිව මම ඉඹින්න එනකොට එයා ඇස් පියා ගන්නවා...එයා ඇස් පියා ගත්තාම ඇස් ඇරගෙන ඉන්නවාට වඩා නම් ලස්සනයි...වෙලාවකට මට හිතුනා එයාව බියුටි සැලෝන් එහෙකට එක්කගෙන යන්න...එයාගේ සුදු කෙස් ගස් ටික දිළිසෙන දුඹුරු පාට කරන්න...ඇහි බම දේදුන්නක් වගේ කප්පවන්න..ඒත් රමණි හිටියේ දස සිල් ගත්ත තාලෙට...
මම කොහොමද දසසිල් මාතාවක්ව බදාගෙන නිදාගන්නේ..හීනියට වල් කතාවක් කියලා හිනා වෙන්නේ...ඉතින් ගොඩක් දවස් වලට    රමණිගේ නළල ඉඹලා ශේප් වෙනවා...රමණි කොච්චර කතා කලත් එයාට මට ආස හිතෙන , මට හිනා යන දෙයක් කියන්න තරම් හැකියාවක් නෑ කියලා කසාද බැඳලා පළවෙනි සතියෙදිම තේරුම් ගියා..එයා හිටියේ නිතරම මාව දුටු තැන පලා යන මූඩ් එකේ..ඒක වෙලාවකට හෙන හිසරදයක් වුනා..එයා දවසක් කිව්වා මගේ දත් ටික හදාගන්න කියලා..ඒකට මගේ හිත නම් හරියට රිදුනා.. ඇයි එයා මගේ දත් වලට ආස නැද්ද කියලා හිතෙන කොට හෙන අසරණකමක් දැනුනා...ඒක කියන්න මට වචන හොයාගන්න අමාරුයි..එයා මගේ දත් වලට අකමැති නම් කසාදෙට කැමති නොවී ඉන්න තිබුණා නෙහ්..දත් ටික හදන්න පුළුවන් වුනා නම් මම නොහදා ඉඳිවිද මෙච්චර කාලයක් යනකන්...දත් ටික කලින් හැඳුවා නම් රමණිට වඩා හොඳ දීගෙකට මට යන්නත් තිබ්බා..ඒත් මම සද්ද නැතිව හිටියා...සද්ද කලොත් නෙහ් ප්‍රශ්න වැඩි..රමණි මගෙන් ටිකක් දුරින් හිටියේ මගේ දත් නිසාදෝ කියලාත් හිතෙනවා..ඒත් ලෝෂණි එහෙම හිතන්නේ නෑ කියලා විශ්වාසයි..

රමණි හිතාගෙන ඉන්නේ බත් තම්බලා ගිල්ලවන එක , ඇඳුම් හම යනකන් හෝදන එක තමා භාර්යාවකගේ පරම පවිත්‍ර යුතුකම් ටික කියලා...ඒ ටික කරගන්න ගෑනියෙක්ව කසාද බඳින්න ඔනිම නෑ නෙහ්...වැඩකාර ගෑනියෙක් ගෙනාවා නම් ඉවරයි...රමණි අකලට වයසට ගිහින්ද මන්දා..


ලෝෂණි අලුතින් අපේ ඩිපාර්ට්මෙන්ට් එකට වැඩට ආවේ රමණියි මමයි ඇඳ මැද්දෙන් බර්ලීන් තාප්පයක් හදන්න පටන් ගත්ත මුල් දවස් පහු වෙනවා එක්කම...
ලෝෂණි මට වඩා අවුරුදු බර ප්‍රමාණයක් බාලයි කියලා බැලූ බැල්මට පේනවා...එයාට තිබ්බේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් ලොකු පපුවක් (ටිකක් කිව්වට ටිකක්මත් නෙමෙයි)..එයා ඇඳගෙන ආවේම හෙන තද පාටවල් ඔෆිස් එනකොට...ලෝෂණිව දැක්කම හිතුනේ මමත් එන්න එන්නම තරුණ වෙනවා වගේ...රමණි ගැන තිබ්බ සමහර අප්‍රසන්න අදහස් ලෝෂණි නිසා අතුරුදහන් වෙන්න පටන් ගත්තා...ලෝෂණි මං ගැන උනන්දුවක් තිබ්බේ නෑ මුලදි ඇත්ත..ඒත් එක දවසකට පස්සේ ටික ටික හැමදේම වෙනස් වෙනවා වගේ දැනෙන්න ගත්තා..


ඒ ජනවාරි මාසේ මෝසම් සුළං නිසා බෙංගාල බොක්ක කැළබිච්ච දවසක්...හොදටෝම වැස්ස නිසා ලෝෂණි කුඩයත් අතේ තියාගෙන ගෙදර යන්න බැරිව මූණ පුළුටු කරගෙන අහස දිහා බලාගෙන හිටියා...හවස් වෙනකොට එයාගේ ලිප්ස්ටික් පාට නැති වෙලා ගිහින් තොල් වල ඇත්ත පාට මතු වෙනවා...පොඩි දම් පාටක් තියෙන රෝස පාට තොල් දෙකක් එයාට තිබ්බේ...මුලින්ම මම කලේ ලෝෂණි ගාවට ගිහින් හිනා වෙච්ච එක...ඊට පස්සේ මාත් එක්ක කාර් එකේ යන්න කතා කරපු එක...එයා දෙපාරක් නොහිතාම කැමති වුනා....එයා හිටියේ දෙහිවල පුංචි ගෙයක් කුළියට අරගෙන...එයා කසාද බැඳලා ඩිවෝස් වෙලා හිටිය විත්තිය දෑන ගත්තෙත් වැස්සට පින් සිද්ද වෙන්න...මගේ හිත අස්සෙන් ආවේ කාර් එකේ ඒ.සී එකට නිවන්න බැරි මහ රස්නයක්...මම හීතල නැති කරගන්න කියලා හිතලා ලෝෂණිගේ අත ඇල්ලුවා...රමණි මෙතන හිටියා නම් අත අහකට ගසලා ගන්නවා ශුවර්..ඒත් ලෝෂණි හරි වෙනස්...එයා එහෙම්මම සද්දයක් නැතිව හිටියා...එහෙම ටිකෙන් ටික පටන් ගත්ත සම්බන්ධෙ නිසා මට තේරුනේ එන්න එන්නම තිරිහන් වෙනවා වගේ හැගීමක්...ලෝෂණි කියන්නේ මුහුදක් වගේ....කැමති වෙලාවට  රැළ්ල පාගන්න පුළුවන් වුනාට අයිති කරගන්න බැරි...


මම දන්නවා මම රමණිට කලේ වස අසාධාරණයක් විත්තිය...උදේ හවා පන්සිල් ගන්න කොට කාමය වරදවා හැසිරෙන්නේ නෑ කියලා පොරොන්දු වුනාට ලෝෂණිව දැක්කම මාරයා පන්දමක් අරගෙන නගින්නේ ඔළුව
 උඩට...දැන් ලෝෂණි අම්මෙක් වෙන්න යනවා...මේ හැමදේම රමණි දැනගෙනත් සද්දයක් නැතිව ඉන්න එක තමා මට වාවන්නේ නැත්තේ...රමණි හිතාගෙන ඉන්නේ මම තාත්තෙක් වෙන්න තියෙන කැමැත්තට මෙහෙම දෙයක් සිද්ද වුනා කියලා...මගේ එහෙම කැමැත්තක් තිබ්බේ නෑ විශේෂ..ඒක නිකන් බෝනස් එකක් වගේ චාන්ස් එකක්...ලෝෂණි දරුවා නැති කරගන්නද ඇහුවම එපා කිව්වේ ඒ නිසා...ඒත් රමණිට දැන් මොකක් වෙයිද....ලෝෂණි හැමදාම මෙහෙම කසාද නොබැඳ පවුල් කන්න කැමති වෙයිද...රමණිගේ කිසි වැරැද්දක් නැතිව එයාව ඩිවෝස් කරන එක යුතු නෑ නේද...මේ දේවල් කල්පනා වෙන කොට හදිස්සි වුනා වැඩියි කියලා හිත කියනවා...ඇත්තටම හදිස්සි නොවුනා නම් හැමදේම හරි යාවිද   ?

Comments

  1. ආහ් කතාවේ අනිත් පැත්ත.... හොඳයි.. බලමු ඉදිරියත්....

    ReplyDelete
  2. අනේ මල්ලියෝ, මේ කළු පාට පසුබිම නම් ඇහැට අමාරුයි...

    මිනිස් සිතිවිලි ගැඹුරින් විග්‍රහ කර බැලීමක්...බලමු ලෝෂිනිගේ කතාව...

    ReplyDelete
  3. අනිත් අය කියන එකත් බලමුකෝ...

    ReplyDelete

Post a Comment