තටු


මේක සිද්ධ නොවෙන්න තිබ්බ දෙයක්...සමහර දේවල් සිද්ධ වෙන්න හොඳ නෑ කියලා හිතෙන්නේ පෙරහැර ගියාට පස්සේ..එතකොට ඉතිරි වෙන්නේ පසුතැවිල්ල....පසුතැවිල්ලයි දුකයි කියන්නේ දෙකක් කියලා තේරුම් ගන්න මට අවුරුදු පහලෝවක්ම ගියා...ඒකත් ලංකාවේ ගොඩක් දේවල් අතෑරලා කැනඩාවට ආවටත් පස්සේ...


කතාවක් කියනවා වගේ මුල ඉදන් කියන්න තරම් මට හයියක් නැති තරම්...මම දන්නවා ඔයා වුනත් කැමති වෙන එකක් නැහැ ඔයාට හිතන්න මුකුත් ඉතිරි නොකරනවට..නේද?


එතකොට මට වයස අවුරුදු විස්සයි...විකුම් කැනඩාවට ආවේ ගිම්හාන කාලේ මුල..ඒ නිසා වසන්තයේ හෙවනැලි හැම ගහකම හැම තණ පිටියකම ඉතිරි වෙලා තිබුණා..
මම පදිංචි වෙලා හිටපු මොස්බෑන්ක් වල අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වසන්තය ගිම්හානය වග අමතක වෙලා වගේ නැවතිලා හිටියා.......කැනඩාව මට අනුමාන කරගන්නවත් බැරි තරම් විසාල රටක් වුනත් මොස්බෑන්ක් කියන්නේ එච්චර මිනිස්සු නොහිටපු පුංචි පළාතක්..(ලංකාවේ පුංචි පළාත් කැනඩාවේ පුංචි පළාත් එක්ක   සසදන්න යන්න එපා!!)



මගේ උභය කුළයම මුල් ඇදලා හිටියේ කැනේඩියානු තෘණ බහුල පසට...කොපර් පාට කොණ්ඩය, සුදුමැළි හම වගේම බිළාල ඇස් ඒ වගට ඕනිම වෙලාවක සාක්කි දෙන්න සූදානමින් හිටියේ...විකුම්ව මට හම්බුනේ කැපචිනෝ එකක් බොන්න කෝපි ශොප් එහෙකට ගියපු වෙලාවක..කැපචිනෝ කෝප්පේ බීලා ඉවර වෙනකොට මම ඒ දුඹුරු පාට දකුණු ආසිතක නිම්බාවට ආදරේ කරන්නත් පටන්  අරන් තිබුණා..



හැමදේම වුනේ හදිස්සියට තමා...ආදරේ කරන්න පටන් ගන්න නැකත් බලබලා ඉන්න තරම් ඉස්පාසුවක් මටවත් විකුම්ටවත් තිබුණේ නෑ...අපේ දෙවනි හමුවෙදි එයා මට ආදරෙයි කිව්වා...ඊට සති තුනකට පස්සේ අපි පල්ලියේදි කසාද බැන්දා...ඒක ගොඩක් චාම් උත්සවයක්...මම මුලින් හිතුවේ විකුම් කතෝලික කියලා...පස්සේ තමා දැන ගත්තේ එයා බුද්ධාගමේ කියන එක වුනත්..ඉතින් හිතා ගන්න බලන්න කොච්චර හදිස්සියෙන්ද හැමදේම වුනේ කියලා...




මම කැනඩාව සදහටම අතෑරලා ලංකාවට යනවා කියලා හිතන කොට හුස්ම ගන්නත් ආමාරු වුනා..යටි බඩ කොර වෙන්න ගත්තා..ඇස් වලින් කඳුළු පැන්නේ නම් අම්මාව මතක වෙලා...විකුම් මගේ කඳුළු පිහදැම්මා මට හොඳට මතකයි...ඊට පස්සේ " ඔයාට ලංකාවෙත් දැන් අම්මා තාත්තා ඉන්නවා" කියලා කිව්වා...මම හිනා වුනා...කවදාවත්ම නොදැකපු ලංකාව මම විකුම්ගේ දිළිසෙන ඇස් වලින් දැක්කා..



මුලින්ම ලංකාව දැක්කේ අහසෙදි..හැමතැනම කොළ පාටයි නේද කියලා හිතුනම නම් කැනඩාව දාලා ආපු එක ගැන තිබ්බ දුක ටික ටික නැතිවෙලා ගියා..ඇරත් විකුම් මගෙන් ලගින්ම හිටියා...තමන්ගේ මව් රට අතෑරලා නන්නාදුනන රටකට කසාද බැඳලා එනවාය කියන එක කරන්න අමාරු දෙයක් තමා...ඉස්සර රජ කාලේ නම් එහෙම ආවලු කුමාරියෝ..ඒත් ඒ ආවෙත් පිරිවරක් එක්කලු නෙහ්...මට පිරිවරට බල්ලෙක්වත් ආවේ නැහැ..ඉතින් බය හිතෙන එක සාධාරණයි තමා..ඒත් හැමදේම හරියාවි කියලා මට විස්වාස කරන්නම වුනා..නැත්නම් වෙන විකල්පයක් මට පේන්න තිබ්බේ නම් නෑ..



විකුම්ගේ මහ ගෙදර මෙන්න මේ වගේය කියලා කියන්න කැනඩාවෙන් ගන්න හොඳ උදාහරණයක් මට දැනෙන තරමින් නෑ...විකුම්ගේ අම්මාත් ඒ ගෙදර උළු කැටයක් වගේ මට පෙනුනේ...මම ගෙදරට ඇතුල් වෙන කොටම විකුම් අම්මාව හඳුන්වලා දුන්නා...අම්මා මං දිහා බලන් හිටියේ ලාදුරු ලෙඩෙක් ගානට දාලා...මම හිනා වෙලා එයාට "හායි" කිව්වම එයා මම අහලා නැති සිංහල වචනයක් කියාගෙන ගෙට ගියා..(මම තාම ඒ වචනේ තේරුම දන්නේ නෑ)



විකුම්ගේ අම්මා එක්ක කතා කරන්න මට භාෂාව දැනගෙන හිටියේ නෑ...මම පුළුවන් තරම් අම්මාව මඟහරින්න හැදුවත් අවතාරයක් වගේ හැමතැනම ඉන්නවා වගේ දැනුනා...මම එයාගේ තද කළු රැළි වැටුණ කම්මුල් වලට නොසෑහෙන්න හේතුවක් නැතිව බය වෙලා හිටියේ......පස්සෙන් පහු මට විකුම් සිංහල කියලා දෙන්න දවසෙන් වෙනම කාලයක් වෙන් කලා..ඒ වෙනකන්ම අම්මා එක්ක කතා කලේ අතපය එහාට මෙහාට විසිකරලා ගොළු බාසාවකින්..මම ලංකාවට ආපු තුන් වෙනි දවසේදි මගේ කොට කලිසම්, අත් නැති කමිස ඔක්කෝම අම්මා පුච්චන්න දැම්මා මගෙන් වචනයක්වත් අහන්නේ නැතිව...මම එදා හිටියේ පුදුමයෙන්...ඒත් අද මට මං ගැනම තරහයි..එදා තරහ ගන්න ඔනි තැනේදි තරහ නොගත්ත එක ගැන..



අමාරුවෙන් වුනත් හැමදේම ඉවසගෙන හිටියේ මම විකුම් නිසා...විකුම් ගාව ඔනි තරම් ආදරේ තිබ්බා මං වෙනුවෙන්..මම මට ඔනි වෙලාවට ඒ ආදරෙන් ටිකක් පපුවේ ගාගෙන අතුල්ල ගත්තා.. එතකොට හිතට සැහැල්ලුයි..


ඔයාට කම්මැලියි වගේ නෑ නේද?මුල ඉදන් දිගටම කතාව නොකියා ඉන්න හිතුවත් ගෑනු ගතිය කියන දේ මතු වෙන එක නවත්ත ගන්න අමාරුයි..ඒ ගතිය ජානගතයි...කතා කරකර ඉන්න තියෙන කැමැත්ත!

කඩින් කඩ අකුණු පුපුර පුපුරා හරි ලොකු පුතා හම්බවෙන්න එනකන්ම තිබ්බේ නිවර්තන කලාපීය වසන්තයක් වග මට දැනුනා...හැමදේම සර්වසම්පූර්ණ නැති වුනාට ගොඩක් දේවල් එකතු වුනා..මම ලංකාවෙම කෑල්ලක් වගේ දැනෙන්න පටන් ගත්තා..ලංකාව කියන්නේ ඉන්දියන් සාගරේ මුතු ඇටය කිව්වට හැඩය ගොඩක් සමාන පුංචි කඳුළු බිංදුවට වග හිතුනත් කාටවත්ම කියන්න ගියේ නෑ..බාගදා ඒ සතුටු කඳුළු වෙන්න පුළුවන් නෙහ්..


ලොකු පුතා ලැබෙන්න ඉන්න කොට විකුම්ගේ අංශක එකසිය අසූවක වෙනසක් තේරෙන්න පටන් ගත්තා...එයාට ඉක්මනට තරහා ගියා...මම තරහ ගන්න කොට එයාගේ ඇස් වල තියෙන ක්‍රිම්සන් පාටට බයයි...මම ඇස් තද කරලා වහගත්තේ ඒ නිසයි..ඊට පස්සේ වීදුරු පිඟන් පොළවේ ගහන සද්දේ අහගෙන ඉන්නවා...ලොකු පුතා හම්බ වෙලා තව අවුරුද්දකට පස්සේ පොඩි පුතාව ලැබුනා..විකුම් එක්ක තිබ්බ බන්ධනේ කැඩීලා යනකොට මම දරුවෝ එක්ක අලුතින් බන්ධනයක් හදාගෙන තිබ්බේ..දරුවන්ට කතා කලේ මට හුරු විදිහට ඉංග්‍රීසියෙන්..ඒත් විකුම්ගේ අම්මා ඒකට කැති වුනේ නෑ...එයා හිතුවේ මම ඉංග්‍රීසියෙන් එයාට ළමයි එක්ක බනිනවා කියලා...

මම මගේ අම්මා එක්ක කතා කරනකොට කිව්වේ දික්කසාද වෙලා ආයිත් කැනඩාවට එන්න කියලා ළමයින්වත් අරගෙන..ඒ වෙනකොට විකුම්ට තවත් පවුලක් නඩත්තු කරන්න වෙන තැනට වැඩ සිද්ද වෙලා තිබුණා...මට කියන්න කවුරුත්ම හිටියේ නෑ හිතේ ගින්දර...ඒ නිසාමයි කවදාවත් යන්න නොහිතපු පන්සල් වලට යන්න පුරුදු වුනේ..මම බෝ ගහට නමෝ මරියනී කියන ගමන් වතුර වත් කරා...පල්ලියක් ලඟ පාත නැති කොට පන්සලත් පල්ලියක් වගේ පේන්න පටන් ගන්නවාලු නෙහ්..


දික්කසාද වෙන්න කැමති නොවී හිටියේ දරුවෝ දෙන්නා නිසා...එකක් එයාලට විකුම් හොඳට සැලකුවා...එයාලත් තාත්තාට ආදරෙයි..මට එයාලව දුරස් කරන්න තරම් හිත හයිය නැති වුනා...ඊටත් වඩා ලංකාව  එක්ක මට සාංසාරික බැඳීමක් තියෙනවා වගේ දැනිච්ච නිසා ආයිත් කැනඩාවට යන්න බැරිකමක් තිබ්බා..
දැන් ලොකු පුතාට වයස තිස් එකයි..එය දැන් ඉන්නේ මාත් එක්ක කැනඩාවෙ...පොඩි පුතා නීතිය
 ඉගෙන ගන්නවා ලංකාවෙ...මම විකුම් එක්ක අවුරුදු පහලොවක් තිස්සේ කතා කරලා නෑ..නෑ මගේ හිතේ තරහක් නෑ...එයාට අයිතියක් තියෙනවා ලඟ ඉන්න වගේම අතෑරලා යන්නත්..මගේ කැමැත්ත තිබ්බේ එයාව අතෑරලා වුනත් අල්ලගෙන ඉන්න ...ඒක මගේ හිතේ වැරැද්ද වෙන්න ඇති..ඒත් පුතාලා කියන්නේ මම ඉවසුවා ඔනිවට වැඩී කියලා...මම කැනඩාවේ ඉපදිලා ලංකාවේ ගොඩේ ගෑනියෙක් තාලෙට වැඩ කළාය කියලා..ඒත් මම දන්නවා මගේ ඉවසීම නිසා මට නැති වෙච්ච දේවල් වලට වඩා ලැබිච්ච දේවල් වැඩියි කියලා..  



මම දන්නවා කොන්ක්‍රීට් වලට කන් ඇහෙන්නේ නැති විත්තිය..ඇරත් මගේ කතාව අහගෙන ඉන්න තරම් ඉවසීමක් තියෙන පණ තියෙන කෙනෙක් හොයා ගන්න අමාරුයි..කැනඩාවේ වසන්ත කාලේට වුනත් මං වගේ පාර්ක් එහෙකට ඇවිත් කුරුල්ල්නට පොරි දාන්න නිදහසක් නාකි උන්දෑ කෙනෙක්ටවත් නෑ..එහෙම වෙලාවකදි තනියට ඔයා ඉන්න එක රත්තරන්..ඔයා කොන්ක්‍රීට් පිලිමයක් වුනාට කමක් නෑ..මට මේකට උත්තරයක් දෙන්න...මම විකුම්ව බැන්දේ නැත්නම් ජීවිතේ කොහොම වෙනස් වෙයිද?

Comments

  1. හීන සාප්පුවක පැණිවළලු විකුණන්න තියෙනවා දැකල රසවිඳල සතුටු වෙන පළවෙනි වතාව වෙන්න ඇති...
    හීන නං ඉතිං දැං කඩවල මාකට් වෙනවනෙ

    ReplyDelete
  2. අපුරුයි.. තවත් ගැහැණියකගේ කතාවක් නෙවෙයි මේක කියලා හිතෙනවා.. මොකද මේ වගේ දේවල් ඕන තරම් වෙනවා...

    ReplyDelete
  3. නොරිකො සං ආයේ එන්න..

    ReplyDelete
    Replies
    1. මටත් ඒ චරිත මතක් උනා

      Delete
  4. \* මම බෝ ගහට නමෝ මරියනී කියන ගමන් වතුර වත් කරා...*\

    පුදුමාකාර ලියවිල්ලක්. හැම වාක්‍යයක්ම වෙන වෙනම විචාරය කරන්න පුළුවන් කියලා හිතෙන, ඒත් මුකුත්ම හිතාගන්න බැරුව හිත ගල්ගැහෙන අපූර්වතම ලියවිල්ලක්. ඔය උඩින් තියෙන්නේ මගේ හිතට තදටම දැනිච්ච කොටස. ඔබට ජය සොයුර!

    ReplyDelete
  5. තරහ ගන්න ඕන තැන්වලදිත් තරහ නොගන්නවා කියන්නේ වැරද්දක්ම තමයි කියලා මට හිතෙන්නේ. හරි අපූරු ලියවිල්ලක්. බැඳීම් සහ බැඳීම්.........නිමක් නැති බැඳීම්.

    ReplyDelete
  6. ෂා නියමෙට ලියල.

    ReplyDelete
  7. මේ ලියවිල්ල හරි අගෙයි මල්ලි.ගලා යාම වුනත් හරි සුමටයි එක දිගට කියවන්න පුළුවන් ඒ නිසාම. වෙනස්ම කතාවක් කවදාවත් මම නොහිතපු පැතිකඩක්.අගෙයි ... :)

    ReplyDelete
  8. ඔබ ඉතාම "විසල්" ලේඛකයෙක් මල්ලි. පුදුම තරම් රසවත් මේ ලියවිල්ල! මට මතක් වුණේ සුනේත්‍රා.. :)

    ReplyDelete
  9. "මගේ හිතේ තරහක් නෑ...එයාට අයිතියක් තියෙනවා ලඟ ඉන්න වගේම අතෑරලා යන්නත්..මගේ කැමැත්ත තිබ්බේ එයාව අතෑරලා වුනත් අල්ලගෙන ඉන්න ...ඒක මගේ හිතේ වැරැද්ද වෙන්න ඇති."
    මං කියවන හැමදේකම කොනක් අල්ලගන්න එක මට පුරුද්දක්. මේ වචන ටිකට මං කැමතියි. ඒ වගේම ඇත්තටම හිතන්න ඕන දෙයක්. ආදරේ විද දරාගන්න ලස්සන චරිතයක් එයා දුර්වල නෑ. මට හිතෙන්නෙ කරන්න ඕන හරිම දේ එයා කළා කියල

    ReplyDelete
  10. හරිම අපූරු වියමනක්...බොහොමත්ම වින්දා...

    ReplyDelete
  11. සමහර විට නොරිකො ලන්කාවට ආවනම් එයාගෙ කතාවත් මේක ම වෙන්න තිබ්බ නේද?

    හරීම ලස්සනයි අමා

    ReplyDelete
  12. හැමෝටම ගොඩාක් ස්තූතියි..මේ අදහස් මට ගොඩක් වටිනවා <3

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. "මම මට ඔනි වෙලාවට ඒ ආදරෙන් ටිකක් පපුවේ ගාගෙන අතුල්ල ගත්තා.. එතකොට හිතට සැහැල්ලුයි.."බැදගත්තට පස්සේ දාල යන්නයෑ.

      එක දිගට කියවන් යන්න ඇහැකි.
      ඔබ හරිම විශාල පරාසයක් තියන ලේඛකයෙක්

      Delete

Post a Comment