කල්පට❤️

ආදර කල්ප..

නොනවතින වැස්ස ,නවතින්නම ගෙනත් ඇරලපු සීතල, ජනෙල් රෙදි නැති බෝඩිමේ ජනේලෙන් විසරණය වෙනවා... ඈතින් ඇහෙන ගිටාරයක සද්දේ, අළු පාට වලාකුළක ඉදන් මහ පොළව දිහාවට එන මහ වැස්සක සාන්ද්‍රණය වෙන හැටි, නැවුම් කෝපි සුවඳ දුමක් පිට කරන කිරි කෝපි ජොග්ගුවක් බොන ගමන් බලන් ඉන්න මට,ඔයාව එක පාරටම මතක් වෙන එක ඔයාට විසාල පුදුමයක් නෙමෙයි විත්තිය මම දන්නවා..ඒත්, විශාදයේ අඳුරු මීදුම අස්සෙන් ගෙවිලා ගියපු, අඩු ලකුණු,ඉවරයක් නැති විභාග, බිඳ වැටුණ සිහින වල වීදුරු කටු වලට කැපුණ හදවත් පටක සහ වැහි වතුරට දිය වෙච්ච සමනල් තටු අතරින් අමාරුවෙන් ගෙවිලා ගියපු සතියක, සති අන්තයේ ඔයාව එක පාරටම මතක් වුන එක ගැන මට පුදුමයි..

දුරදොඩනයෙන් ඇහෙන ඒකාකාරී මුණුමුණුව, ඔයාගෙන් මම කොයිතරම් ඈතක ද කියලා දනවන්න කොයිතරම් උත්සහ කලත්, මම මහ මෝඩ විදිහට පුංචි ලංකා සිතියමක් අරන් අපි දෙන්නා ඉන්න තැන් දෙක අතර දුර සෙන්ටිමීටර වලින් ගණන් හදනවා..ආදරේ හරිම මෝඩ තැනක ඉදන් හිත හදාගන්න කොයිතරම් උදව් කරනවා ද..

ඉමක් නොපෙනෙන මහ මුහුද මැද්දේ පාවෙන දූපතක් වගේ, මම ජීවිතේ පාවෙන එක, කුඩා මුහුදු රැළි වලට උඩ පහළ වෙන එක.. කල්ප, මම දන්නවා, ඔයත් එක්ක ජීවිතේ හිතන තරම් පහසු නැති විත්තිය..ඒ හැම අපහසුවක්ම, ඔයාගේ උරහිසට ඔළුව තියාගෙන, ඔයා මං වෙනුවෙන් ලියපු පුංචි සටහන් ඔයාගේ කටහඬින් අහන්න තියන හීනයේ අධික සාන්ද්‍රණයට ශුණ වෙලා යනවා... අවුරුදු ගණනාවක්ම එක දිගට එකතු කරන් හිටපු හීන මල්ලත් එක්ක, මම තාම ඉස්සර වගේම ඔයා එනකන් බලන් ඉන්නවා...

(මෙන්න මේ තැන හරිම හිස්..මෙතනට ලියගන්න ඔනි දාහක් දේවල් ඔළුව අස්සේ එක දිගට ගොඩ ගැහෙනවා..මුහුද වෙරළකට මුහුණලාපු  පුංචි කාමරයක්, ගැඹුරු නින්දක ඉන්න ඔයා දිහා බලන් ඉන්න මං, ඔයාගේ අත් වල රස්නේ, තව මහ ගොඩක් දේවල්..ඒ හැමදෙයක්ම අකුරු කරගන්න අමාරු මහ විසාල බරක් තියෙන අපිළිවෙල  දේවල්..ඒ අපිළිවෙල හැඟීම්  අස්සේ මීට ගොඩක් කාලයකට කලින් "මම ආදරෙයි" කියලා ඔයා කියපු කටහඬ ඇහෙනවා...ඒ කටහඬ  ජීවිතේ හරි අඩක දෝංකාර දෙනවා දැනෙනව.. ඉතින්  මම මේ ඡේදය හිස්වම තියන්නම්..ලියාගන්න පුළුවන් කාලයක මේ ඡේදයේ මොනවාම හරි ලියන්න පොරොන්දු වෙනවා)

මට මහන්සියි..මුකුත්ම ලියාගන්නට බැරි තරමට,ඔයාව හොයාගෙන එන්න බැරි තරමට..ඒ නිසා මම ඔයාට මාව හොයාගෙන එන්න පුළුවන් තැනක නවතිනවා..කල්ප, ඉලඟ කුණාටුවට කලින් එන්න පුළුවන් වෙයි නේද..බාගදා මට ඉලඟ කුණාටුව වෙනකන් මාවම බලාගන්න බැරි වෙන්නත් පුළුවන්..






Comments