සරතය..

"Mehe kola wala Pata wenas wenawa oyata oheta dannenne kohomada? Aththatama pereda indan thamai Pata wenas wenna gatte"
-මිතුරෙකුගේ පණිවිඩයක්-


කර්කටක නිවර්තනයේ වෙසෙන
ඔබ දකින ඒ සෘතු මා නොදකින
කුඩා කොළ පාට දූවක තනිවම
සිටින මට කෙසේ නම්
සරතයක් ගැන දැනෙන්නද



වාහන දුම් වලාකුළු මැද
උදෑසන පාතරසයත් මඟහැර
අටේ ලෙක්චරේට දුවන,
පෙබරවාරියේ ළා රෝස පැහැ
රොබරොසියා පිපුනාට
හැම කොළයක්ම හැමදාම
අපිට නම් කොළ පාට..




ඔබ ශීත කබායක් තුළ ගුලිව
ක්‍රිම්සන් පැහැ තුරු පතක්
කුඩා සටහන් පොතක
පිටු අතර රඳවන,
මඟවැරදිලා වැටෙන
සුදු පාට හිම පියළි
අතල මත සිර කරන.



ඔය වෙනස් වෙන පාටට
ඔබ වෙනස් වෙනවාට
වඩා මා රිදවන්න හැකිවේද,
මට හිතෙන හැමදේම
සරතයේ අගිස්සක
අමුණලා ලිව්වාට කම් නෑද..



ඉතින් මම
සමකයේ සිට ඔබ ගැන
බොහෝ සංසුන්ව ළතවෙමිනි,
ඔබට ළතවෙන්න මම
සරතයත් දිගු වේ නම් කැමති..


Comments

  1. අයියෝ.. දුක හිතෙනවා අප්ෆා..

    ReplyDelete

Post a Comment

Popular Posts