පරණ පෙම්වතිය

හැම තැනම එක එක පාට කුඩ ඉහළගෙන යන ගෑනු මිනිස්සු, කුඩයක් අරගෙන එන්න මතක නැතිවීමේ කණගාටුවෙන් මිරිකිලා කඩපිලවල් වලට වෙලා අහස දිහා බලාගෙන ඉන්න ගෑනු මිනිස්සු කාර් එකේ වීදුරුවෙන් මට  පේනවා.. ඩ්‍රයිවර් දැන් විනාඩි විස්සක් තිස්සේ ඉලඟ නැවතුමට ගැන මගෙන් ඉඟියක් ලැබෙන තුරු බලාගෙන ඉන්නවා.. කොලරය බුරුල් කරමින්,සුක්කානම පිසදමමින්.. ඒ හැමදේම මට පේනවා.. ඒත් ඒ දේවල් නොදැක්කා මෙන් ඉන්න එක මට පහසුයි...


කාර් එකේ වීදුරුවෙන් එළියේ කළබලය විතරක් නෙමෙයි පේන්නේ.. ඇතුළේ ඉඳගෙන කළබලයෙන් ඉන්න මගේ චායාවත් පේනවා.. මේ තරම් ලිප්ස්ටික් ගාන්නේ නැතිව ඉන්න තිබ්බේ.. පර්ෆියුම් එකත් ටිකක් වැඩියි කියලා මට හිතෙනවා...මේ වයසට මේ තරම් කොණ්ඩේ පාට ගාපු එක වුනත්, ඔනිවට වැඩි නැද්ද..මේ පේන චායාව මම නෙමෙයි නේද කියලා මට හිතෙනවා..


කොහොම වුනත් මම යන්න ඔනි පරක්කු වෙලා..


එතකොට මම එයාව ඒ තරම් ගණන් නොගන්නවා කියලා හිතේවි.. එහෙම හිතෙන්න අරින  එක, බැලුම් බෝලයකට අයකට්ටකින් ඇනලා ගන්න සතුට වගේ..


"කැෆේ බයි බූ එකට යමු"


මම ඩ්‍රයිවර්ට එහෙම කියන ගමන් ආපස්සට ආපස්සට යන කඩ සාප්පු, මිනිස්සු දිහා බලාගෙන හිටියා...වැස්ස පායලා.. ඒත්  හීතල වලාකුළු, කළුවර විතරක් ඉතිරි වෙලා තිබුනා..



කැෆේ බයි බූ එකේ වීදුරු දොරෙන් ඇතුළේ ඉඳගෙන ඉන්න මිනිස්සුන්ව පේනවා.. සුදු පාට කුර්තා එකක් ඇඳගෙන එයා හිටියේ කෝපි කෝප්පයක් අත් දෙකෙන්ම අල්ලගෙන.. වීදුරුවෙන් එහා පැත්තේ ඉදන් එයා දිහා බලන් ඉන්න මං දිහාවට එයා හිනාවක් පා කළා.. මමත් හිනා වුනා..



මේසේ උඩ පෙරලළා තිබුණේ අරුන්දතී රෝයිගේ පොතක්..එයා කියව කියව හිටපු තැන වේලිච්ච රෝස මලකින් ලකුණු කරලා කපු රෙද්දකින් මහපු මල්ලක් ඇතුළට දාගත්තා..



"ඔයා හරිම ලස්සනයි.."


එයා කණ්ණාඩිය උඩින් මං දිහා බලලා කිව්වා.. මම දන්නවා.. මේ තරම් මේකප් ලිප්ස්ටික් ගාගෙන නොඑන්න තිබ්බේ..


"ඔයා ඇවිත් ගොඩක් වෙලාද.. සොරි එන්න පරක්කු වුනාට"


" නෑ ඒකට කමක් නෑ.. ඒක ගැන දුක් වෙන්න ඔනි නෑ.. ඔයා කෝපි බොනවා නේද.. මම කෝපි එකක් ඕඩර් කරන්නද"


එයාගේ කොණ්ඩේ කොල්ලෙක් වගේ කොටට කපලා හිටියේ..මගේ උරහිස්  වල ගෑවෙන තරම් දිග කරාඹු , එයාගේ හිස් කන්පෙති දිහා ඔහේ බලාගෙන වැනිවැනි හිටියා..


"දැන් අවුරුදු තිහකටත් වැඩියි... ඇයි ඔයාට මාව හම්බවන්න  එක පාරටම ඔනි වුනේ.. ඔයා මගේ නම්බරේ හොයා ගත්තේ කොහොමද කියලා මට තාම පුදුමයි  "


එයා බොහෝම සැහැල්ලුවෙන් මං දිහා බලාගෙන කතා කරනවා.. සැරෙන් සැරේ කෝපි උගුරක් බොනවා..


"මට ගෝපාල් ඔයා ගැන කිව්වේ අවුරුදු දෙකකට විතර උඩදි.. අපි ලොකු පුතාගේ බබා බලන්න ලන්ඩන් ගියපු දවස් වල.. ඉතින් එක පාරටම ඔයාව මට බලන්න ආස හිතුනා."


"හ්ම්ම්..මට සතුටුයි.. එයාට ලස්සන නෝනා කෙනෙක් ඉන්න එක ගැන නම්..ඔයාට ලස්සන ඇස් දෙකක් තියෙනවා.."


මම කෝපි උගුරක් බිව්වා.. ආයිමත් එළියේ වහින්න පටන් අරගෙන..වැස්ස කැම්පස් එක පැත්තේ ඉදන් එන උද්ඝෝෂණයක් වගේ මහ සද්දෙන් අහසේ ඉදන් කඩගෙන වැටෙනවා..


"ගෝපාල් දන්නේ නෑ මම ඔයාව හම්බෙන විත්තිය.. ඉතින් ඔයාගේ ජීවිතේ කොහොමද.. මට ආසයි ඒ දවස් වල ගෝපල් කොයි වගේද කියලා ඔයාගෙන් අහලා දැන ගන්න.. ඒක පිස්සුවක් වගේ තමා නේද?"


" නෑ එහෙම නෑ.. මම කැම්පස් එකෙන් අවුට් වුනාට පස්සේ ගෝපාල්ව දැකලා නෑ.. කතා කරලත් නෑ.. මටත් පුළුවන් මගේ හිතේ ඉන්න ගෝපාල්ව ඔයාගේ විස්තර වලින් අප්ඩේට් කරගන්න.."


මම කම්මුල් දෙකට අත් වලින් මුක්කු ගහලා පොඩි ළමයෙක් කතාවක් අහන් ඉන්න ලෑස්ති වෙනවා වගේ ලෑස්ති වුනා.. එයා කියන්න යන්නේ සුරංගනා කතාවක් කියලා මම මටම කියා ගත්තා..


" ගෝපල් ඒ කාලේ ගොඩක් කෙට්ටුයි..ඒත් එයා ගොඩක් කනවා.. කොච්චර කෑවත් එයා කෝට්ටක් වගේ නිසා අපි එයාට විහිළු කරනවා ඉස්සර... මට එයාව මුලින්ම හම්බුනේ සුමංගලේ ගාවදි...පස්සේ හැමදාම ලයිබ්‍රියේදි..මට නවල් කියවන්න තරම් වෙලා තිබ්බේ නෑ.. එයාට නම් වෙලා තිබ්බා.. මම කරන්නේ එයා කියවන පොත් ගැන මාත් එක්ක කතා කරනකොට අහගෙන ඉන්න එක.."


එයාගේ නම සාරදා.. සාරදා කොහේදෝ ඈතක් දිහා බලාගෙන කතාව කියනවා.. එයා  ඒ කතාව කියන්නේ මට නෙමෙයි වගේ.. එයා එයා එක්කම කතා කරන්න පටන් අරගෙන...මම එයා තමන් එක්කම කතා කරන එක අහගෙන ඉන්නවා..


"ළමයි ගහගත්තා.. තවත් ළමයි ගුටි කෑවා.. ගෝපාලුත් ගුටි කෑවා.. ඒ හැමෝම සටන් කරන්නේ මොනවා බෙදා ගන්නද කියලා දැනගෙන හිටියේ නෑ..සටන් කරනවා නම් සටන් කරන්න, ගහගන්නවා නම් ගහගන්න මේ ලෝකේ කොයිතරම් වැදගත් හේතු තියෙනවද..එයාලා මාර්ක්ස් දිව්‍යලෝකේ ඉදන් ආවා වගේ හිතාගෙන ඉන්න අන්ධ භක්තිකයෝ ටිකක් විතරයි ...දැන් ළමයි එච්චර මෝඩ නැතිව ඇති නේද.. ඒ කිසිම කෙනෙක් අඩුම ගානේ එංගල්ස් ගේ පොතක පිටකවරයක් වත් දැකලා තිබ්බ අය නෙමෙයි.. ගෝපාල්,මම තව අපේ යාලුවෝ කිහිප දෙනෙක් ශිෂ්‍ය දේශපාලනය කොයි වගේ දෙයක් වෙන්න ඔනිද කියන එක ගැන ඉස්සර එළි වෙනකන් කතා කලා..ඒ කාලේ ලයිබ්‍රියේ යටම තට්ටුවේ කතා කර කර ඉන්න පුළුවන් .. ඒ වගේම නෙස්කැෆේ මැශිමකුත් තිබ්බා.. අපි නෙස්කැෆේ බොන ගමන් දේශපාලනේ ගැන කතා කලා..ගෝපාල් හරිම නරක ලිබරල් කාරයෙක්.. අපි හරියට රණ්ඩු වෙනවා ඒ නිසා."


සාරදාගේ ඇස් දිළිසෙනවා.. මම එයා කියන් දේවල් තේරුම් ගන්න බැරිව එයා දිහා බලන් ඉන්නවා..


"ඔයාලා ලව් කරේ නැද්ද ඉතින් "


මම එහෙම අහපු විදිහට එයාට හිනාව නවත්ත ගන්න බැරි වුනා.. එයාට මාව මොඩ ගෑනියෙක් වගේ පේන්න ඇති කියලා ලැජ්ජාවක් දැනුනත්, ඒ වෙනකොට පරක්කු වැඩියි නෙහ්..


"අපි ලව් කළා.. එයා මට කවි ලිව්වා.. ඒ කවි පුදුම කැතයි.. ඒත් මම ඉස්සර එයාට ඒවා ලස්සනයි කියලා කියනවා හිත හැදෙන්න..එයා හැමදාම ඇන්දේ එකම ශර්ට් එක.. මට මතකයි මම මහපොළ එකතු කරලා එයාට කමිසයක් අරන් දුන්නා උපන්දිනේකට"



සාරදා අතීතෙන් වර්තමානෙට ඇවිත් මගේ දිහා බලලා හිනා වුනා..ගෝපල් ගේ අතීත ප්‍රේමය, අතීත මතක අස්සෙන් ඇදලා අරගෙන මම දැකලවත් නැති ගෝපාල් කෙනෙක් මගේ ළඟින් වාඩි කෙරුවා..මම මගේ කසාද මනුස්සයට කොච්චර ආගන්තුක ද ඇත්තටම..


"ඇයි ඔයාලා ඈත් වුනේ..?"


සාරදා කෝපි මණ්ඩි වලින් කෝප්පේ හැදිච්ච පැල්ලම දිහා බලා ගත්තා..


"ආදරේ විතරක් දෙන්න පුළුවන් දෙමළ කෙල්ලෙක්ට එයාලගේ ගෙදරින් කැමති වුනේ නෑ.. පවුලේ එකම ළමයව කුදලගෙන කොහේ හරි යන්න තරම් දුෂ්ට වෙන්න මටත් අමාරු වුනා.. අනේ සමාවෙන්න.. දැන් ඒ දේවල් වෙලා ගොඩක් කල්.. මට අමතක වෙලත් තිබ්බේ මේ දේවල්"


මම සාරදාගේ ඇස් ලඟ තියෙන වයසට යෑමේ ලකුණු වලට යටින් ඉස්සර හිටිය සාරදාගේ ලස්සන දකින්න හැදුවා.. මට වඩා ලස්සනට ඉන්න ඇතිද කියලා හිතෙන කොට ගෑනු ඉරිසියාව ඇවිත් කම්මුලට ගහලා මාව රතු වුනා..


"කියන්න මටත් ගෝපාල් ගැන..එයාට කොහොමද දැන්..ඔයාලා හම්බවුනේ කොහොමද ඇත්තටම"


අපි හම්බවුනේ කොහොමද..ගෝපාල්ගේ ගෙදරින් අපේ අපේ ගෙදරට ගෙනපු යෝජනාවකින්, ඊට පස්සේ අපි බැන්දා, අපිට ළමයි තුනක් ඉන්නවා, මේ දේවල් සාරදාගේ කතාව වගේ ලස්සනට ගලපන්න මට තේරෙන්නේ නෑ.. මම හිනා වුනා.. අපි හම්බවුන්නේ පොත් කියවල නෙමෙයි.. මම එයාට කන්න හදලා දුන්නා..එයාගේ ළමයි හැදුවා.. අපි සතුටින්.. මම දේශපාලනය කියලා දන්නේ අලියට හරි බුලත් කොළේට හරි කතිරයක් ගහල එන එක..සමහර වෙලාවලට දුකින් වුනත් අපි ගොඩක් වෙලාවට සතුටින් හිටියා..



"එයාට දැන් ලොකු බඩක් තියෙනවා...කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්නවා...අපේ බබාල තුන් දෙනාම බැදලා එයාලට ළමයි ඉන්නවා.. "


සාරදා පන්සලක් වගේ ශාන්තව වැස්ස දිහා බලාගෙන ඉන්නවා..


"මගේ මහත්තයා ශාන්ති නිකේතනේ උගන්වනවා..මේ දවස් වල එයා රිසර්ච් එකක් කරන්න ඇමරිකාවට ගිහින් ඉන්නේ..මම නම් දැන් පොත් ලියනවා.."


"ඔයා මොනවගේ පොත් ද ලියන්නේ"


සාරදා ආයිමත් ටිකක් සද්දෙට හිනා වුනා.. 


"මම ඔයාට පොතක් දෙන්නම්.. ආයිමත් හම්බුනාම"


මම ඔයා එක්ක කතා කරන්න ආවේ මේ දේවල් නෙමෙයි සාරදා..ඔයාට අයිති කරගන්න බැරි වුන දේ මට අයිති වුනා කියන් කුරිරු සතුට ලබාගන්න ඔනි කමට මම මේ ගමන ආවේ.. ඒත් අතීතය එක්ක බලනකොට වර්තමානෙට තියෙන වටිනාකම සෘණ වෙලා ගිහින් මට දුක හිතෙනවා.. මම පොත් කියවන කෙනෙක් නෙමෙයි... අඩුම තරමේ මම කැම්පස් ගිහින්වත් නෑ.. අවුරුදු බර ගාණකට පස්සේ  ජීවිතේ අතාරින්න ඔන්න මෙන්න තියලා ගෝපල් ඇයි සාරදා ගැන මට කිව්වේ.. ඒකට හේතුව මට හිතා ගන්න බෑ.. සාරදා මං දිහා බලාගෙන ඉන්නවා.. ඔයාට මොනවද සාරදා හිතෙන්නේ.. ඔයා ආදරේ කරපු මනුස්සයා දැන් මගේ නිසා දුක හිතෙන්නේ නැද්ද.. ඔයාට කැම්පස් එක ගාවින් යනකොට පපුව හිර වෙනවා වගේ  දැනෙන්නේ නැද්ද ... මට දුක හිතෙනවා.. මම ආදරේ කරන මනුස්සයාගේ අතීත අනාගත හැම ප්‍රේමයක් ගැනම මට ඉරිසියයි... දැන් අපි දෙන්නාම එහෙම ඉරිසියා හිතෙන වයස පහු කරලා වුනත්..මට මහ නරක විදිහට දුක හිතෙනවා..


"සාරදා අපි පොටෝ එකක් ගමු"


සාරදා මගේ ලඟට පුටුව ළං කරලා උරහිස උඩින් අතක් දාලා මාව ලඟට ගත්තා...මේ පොටෝ එක ෆේස්බුක් දාන්න ඔනි..මට හිතා ගන්න බෑ දාන්න ඔනි කැප්ශන් එකක් ගැන..ගෝපාල් ඔයාට ටිකක් දුක හිතෙන විදිහේ කැප්ශන් එකක් හොයා ගන්න ඔනි..


Comments

  1. ඒක අපූරුයි. ඒත් ඒක ටිකක් අසාධාරණ විදිහට ලියවිච්ච කතාවක්

    ReplyDelete

Post a Comment

Popular Posts