කළුවර

මම බිත්තිය පැත්තට හැරිලා ගුලි වුනා..ඇස් පියා ගත්තත් ඇස් පියා නොගත්තත් වෙනසක් නෑ..හැමතැනම එකම විදිහට කළුවරයි..ඒත් සැරෙන් සැරේ දුරදොඩනයට එන කෙටි පණිවිඩ නිසා පුංචි සුදු එළියක් කළුවර මැද්දෙන් ඉපදිලා එහෙම්මම නිවිලා යනවා. ඒ පුංචි එළියෙන් බිත්තිය පැත්තට හැරිලා නිදාගෙන ඉන්න මගේ හෙවනැල්ල මොහොතකට බිත්තිය මත ඇති වෙලා ක්ෂණිකව නැති වෙලා යනවා..

දුරදොඩනය මට පිටුපාලා ඇඳේම කෙළවර හාන්සි වෙලා..මට ඔනි වුනේ ආපස්සට යන්න.. කාලය දිගේ ආපස්සට ආපස්සට දුවගෙන ගිහින් මේ පැය බාගෙකට කලින් වෙච්ච දේ නවත්තන්න... සිවිලිම් ගහපු නැති නිසා වැස්සේ ළා හිරිකඩක් සීතලක් එක්ක කාන්දු වෙලා කාමරේ පුරාම භ්‍රමණය වෙනවා වගේ තේරෙනවා...මම තව තවත් ඇඳේ මුල්ලකට ගුලින්වුනා.. තද කරලා ඇස් පියා ගත්තා..එහෙම දෙයක් වුනේ නෑ කියලා හිත  හදාගන්න හැදුවත් එක දිගට එක දිගට වෙව්ලන දුරදොඩනය තවමත් පැය බාගයකට කලින් වෙච්ච හැම දේම මතක් කර කර එක දිගටම වෙව්ලනවා..

"ඔයාට එක පාරටම මොකද වුනේ? ඔයා භය වුනාද? Everything is ok right"

මම හැමදෙයක්ම හරි නැති විත්තියත්, මේ එක දිගට එක දිගට හිතට දැනෙන ලෝකේ ලොකුම වැරැද්දක් කලා කියන හැඟීමත් ටික වෙලාවකට කොට්ටය උඩින් තියලා "Yeah..Everything is fine..I have to sleep now..good night" කියලා පණිවිඩයක් විද්‍යුත් ලිහිණියෙක් අත පා කෙරුවා..

*********************************************
ප්‍රභූ එදා ඇවිත් උරහිස උඩට හුලඟේ ගහගෙන ඇවිත් තිබ්බ වෙරළු කොළයක් ඇඟිලි තුඩු වලින් අරගෙන බිමට අතෑරියා..මම හිටියේ ප්‍රභූගේ ඇස් දිහා බලාගෙන , මගේ ඇස් වල කඳුළු පුරෝගෙන...

"ඔයාට දැන් ගියාට පස්සේ මාව අමතක වෙලා යාවී නේද?"

මම එහෙම කියලා ප්‍රභූගේ අතකින් අල්ල ගත්තා.. ප්‍රභූ යන්න ලෑස්ති වුනේ රට රස්සාවකට..කාර් සෝදන්න, සුද්දන්ට අයිස්ක්‍රීම් විකුණන්න වගේ රස්සාවකට එහෙම නෙමෙයි...මිනිස්සු වගේම වැඩ කරන රොබෝලා හදන කම්පැනියක විද්‍යාඥයෙක් විදිහට වැඩ බාර ගන්න..මම එතකොට කැම්පස් ආපු අලුත..අත්තටු දෙකක් හම්බෙනවාත් එක්කම ඒ අත්තටු ගහලා ඉගිලෙන්න පුළුවන් තරම් දුර ඉගිලෙන්න, මාත් එක්කම හිටිය ගමන් සඟයා අහිමි වීමේ ප්‍රිය විප්‍රයෝගය එක්ක මාව දියවෙලා නොගිය එක විතරයි.. ප්‍රභූ හිනා වුනා... එයා එනකන් ඉන්න කිව්වා...හැමදාම රෑට ස්කයිප් ජනේලයෙන් එබිලා මං දිහා බලන් ඉන්නම් කිව්වා..


එයා ගිහින් පළවෙනි සතියේ හැමදාම වගේ රෑට කතා කලා.. එහෙට වැටෙන හිම ගැන, රතු පාට වෙච්ච මේපල් කොළ ගැන, ගොඩාක් රස චොකලට් අයිස්ක්‍රීම් ජාති ගැන  කතා කලා..එයා දිගටෝම කතා කරනකොට මට තිබ්බේ එයාගේ ශ්‍රාවකයා වෙලා අහගෙන ඉන්න..ලැබ් රිපෝට් ලියන ගමන්, විභාගෙට ගස් වල නම් ,සත්තුන්ගේ නම් පාඩම් කරන ගමන් එයාගේ අලුත් ජීවිතේ තොරතුරු අහගෙන ඉන්න..දිනපතා මගේ ජීවිතේ තොරතුරු ගොඩ ගැහෙන්න පටන් ගත්තා.. කියන්න කෙනෙක් නැතිව , අහගෙන ඉන්න තරම් සංයමක් තියෙන කෙනෙක් නැතිව හිත ඇතුලෙම පැසවන්න පටන් ගත්තා..එක දවසක ප්‍රභූ එක පාරටම කතා කරන එක නතර කරලා දැම්මා.. කිසිම සාධාරණ හේතුවක් නොකියාම,එක පාරටම හොදට පායන දවසක ගොරව ගොරව වහින්න පටන් ගත්තා වගේ...

රුද්‍ර ඇවිත් අරලිය ගස් යටදි මගේ අතින් අල්ල ගත්තේ අහම්බයකින් වගේ...ප්‍රභූට තියෙන ආදරේ එහෙමම හදවතේ තියෙද්දි , හරිම පුංචියට ළා පාට තේ දල්ලක් වගේ රුද්‍ර  හදවතේ දළු දාන්න පටන් අරගත්තා.. උදේට දැක්කාම හිනා වෙන එකේ පටන්, හවසට ඉල්ලුවත් නොයිල්ලුවත් අරන් දෙන කැම්පස් කැන්ටිමේ පහේ තේක වෙනකන් අපි අපිටම ආවේනික විදිහකට අපි අපිටම හුරුවෙමින් හිටියා..ප්‍රභූ හකුළවලා දාපු තටු රුද්‍ර තෙල් ගාලා පිරිමැද්දා..මම හිටියේ ඒදණ්ඩක.කොයි පැත්තට වැටුණා වුනත් මම ගිලෙනවා..ඒ දවස් වලම  ආයිමත් ප්‍රභූ ස්කයිප් ජනේලය ලඟට ඇවිත් කතා නොකර හිටපු එකට හේතු කියන්න පටන් අරගෙන තිබ්බේ.. අවුරුදු පහක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි..ප්‍රභූ කියන්නේ අවුරුදු පහක විසාල මතකයක දියවෙච්ච  භූතයෙක්.. ඒත් රුද්‍ර කියන්නේ සති කිහිපයකින් ඉක්මනට දළු දාලා වැඩෙන හෙන්දිරික්කා පඳුරක් වගේ..

ප්‍රභූගෙයි මගෙයි මැද්දෙන් පුංචි සාගරයක් ඇති වෙන්න පටන් ගත්තේ එයා මුහුදු හතක් එහායින් හිටපු නිසා කියලා හිතන්න මම කැමති නෑ... එයාට තිබ්බා එහෙ ඉදන් මං ගැනත් ඉදලා හිටලාවත් වද වෙන්න..මම ඔළුව රිදනවා කිව්වාම බොරුවට හරි දුක් වෙනව බව පෙන්නන්න..මට හාදුවක් ඔනි වුනාම පියාඹන හාද්දක් එවන්න...ඒ හිටියේ ප්‍රභූ නෙමෙයි.. ඒ හිටියේ එයා හදපු මිනිස් රොබෝ කෙනෙක් ද කියලත් මට සැක හිතුනා..එයා යාන්ත්‍රිකව මං දිහා  බලන් හිටියා ..ඒත් හැමදාම රෑට ප්‍රභූ "ආදරෙයි" කියලා එවන පණිවිඩය නිසා, ඒ පුංචි අකුරු ටික නිසා ජීවිතේ විසල් රළ ඉහළට නැගලා පදාසයක්ම තෙමාගෙන ගහගෙන යනවා..


රුද්‍ර දෙමළිච්චි පිහාටුවක් වගේ සැහැල්ලුවෙන් හැමතැනම පාවුනා.. මගේ වටේ පා වෙලා ඇවිත් කම්මුල් කිති කවන්න පටන් ගත්තා...ඒ හැමදේම වුනේ හදිස්සියෙන් වගේ..ප්‍රභූ ගැන මතක් කරන්න වෙලාවක් නැති තරම් ඉක්මනින්.. රුද්‍රව විස්වාස කරන්න තරම් හේතුවක් නැති වුනත් මම විස්වාස කලා...

ඒක උගුලක් වෙන්නත් පුළුවන් කියලා මගේ යටි හිත කිව්වත්, උඩු හිත ලෑස්ති වෙලා හිටියේ ඒ මොහොතේ යකාගේ කටට හරි පනින්න.. ඒ මෝඩකමද කියලා මම දන්නේ නෑ...සමහර විට මෝඩකම වෙන්න ඇති..නැත්නම් ඔළුවේ හිර වෙලා තෙරපිලා තියෙන පීඩණය කොහෙන් හරි පිට වෙලා යන විදිහ වෙන්න ඇති..මගේ වටේ පාවෙන තෙත හැඟීම් මාව ආගදායකට ඇදගෙන  යමින් ඉන්න ඇත්තේ...


රුද්‍ර කිසිම දේකට බල කරේ නෑ...හැමදේම වුනේ හරිම ස්වභාවික විදිහට..මුලින්ම පොටෝ එකක් එව්වේ එයා..එයා ජිම් ගිහින් මහන්සියි කියලා එවපු පොටෝ එකක්..එයාගේ කමිසය දාඩියෙන් තෙත් වෙලා තිබ්බා...ඇස් බාගෙට පියවිලා.එයාට ඔනි වුනා මම ඉන්න විදිහත් බලන්න..මම දෙපාරක් නොහිතාම එයාට මගේ පොටෝ එකක් යැව්වා.. හිනා වෙලා ඉන්න එකක්..ඒ පොටෝ එක පිටිපස්සේ බෝඩිමේ රෙදි වැලත් වැදිලා තිබ්බා...ඒක මම දැක්කෙ පස්සේ.. මුලින්ම එක පොටෝ එකයි.. පස්සේ දෙකයි තුනයි...පපුව පේන්න පොටෝ එකක් යැව්වම එයා ඒකට කැමති වුනා..කවුරුත් මීට කලින් මට ලස්සන පපුවක් තියෙන විත්තිය කියලා තිබ්බේ නෑ....ඉතින් මට ආස හිතුනා... වහින්න පටන් ගන්නකන්ම අපි කලේ පොටෝ හුවමාරු කරගන්න එක...සමහරවිට වැහපු එකත් වැරදි ඇති..වහින්නේ නැතුවම තිබ්බා නම්, මේ කාලේ නියං කාලයක් වුනා නම්...

අන්තිමට මට ප්‍රකෘති සිහිය ආවම ඉහෙන් කනෙන් දාඩිය දාන්න පටන් ගත්තා.. මේ මොකක්ද කලේ කියලා හිතෙන කොට  සියදිවි නහගන්න හොදම ක්‍රමයක් ගැන හොයන්න ඔනි කියලා මතක් වුනා...රුද්‍ර මේ පොටෝ වලට මොනවා කරාවිද..ඇයි මම එහෙම පොටෝ යැව්වේ..අම්මලා නම් මාව මරයි.. ප්‍රභූ හිතයි මම මහ ජරා ගෑනියෙක් කියලා...කැම්පස් යන්නත් බැරි වෙයි...කොහොමද මෙහෙම දෙයක් වුනාට පස්සේ කැම්පස් යන්නේ...මම රුද්‍රට කිව්වා හැම දෙයක්ම මකලා දාන්න කියලා..


මොකක්ම හරි දෙයක් සිද්ද වුනාට පස්සේ තමා අපිට ඒ දේවල් වල හරි වැරැද්ද පේන්නේ...ඊට පස්සේ කරන්නේ දිගටම දිගටම පසුතැවෙන එක...මෙහෙම නොකරා නම්, මෙහෙම කරා නම් කියලා හිත හිතා වද වෙන එක..ඒත්, සිද්ද වෙච්ච දෙයක් ගැන වද වෙලා වැඩක් නෑ...ඒත් වද නොවී ඉන්නේ කොහොමද කියලා මට තේරෙන්නෙත් නෑ..


*********************************************

ප්‍රභූ ස්කයිප් කවුළුවෙන් එබිලා මගේ ඇස් යට අඳුරු පැල්ලම් දිහා බලාගෙන හිටියා..මම හිටියේ බිම බලාගෙන..ප්‍රභූ මොනවදෝ දිග විස්තරයක් කිව්වත් මට ඇහුනේ නෑ... අන්තිමට ඇහුනේ ආදරෙයි කියලා කියන එක විතරයි..


රුද්‍ර බොහෝම සංවර විදිහට හිනා මූණක් එවලා තිබ්බා...බය වෙන්න දෙයක් නැහැය, හැමදෙයක්ම මකලා දැම්මාය කියලා...ඒ එක්කම එවලා තිබ්බ හදවත් ඉමෝජි එකයි ප්‍රභූගේ ආදරෙයි කියන වචනෙයි තරාදියක දෙපැත්තට දැම්මොතින් කොයි පැත්ත උඩ යාවිද කියලා මමවත් හරියට දන්නේ නෑ...

ආදරේ කියන එකයි, මෝඩ තීරණ ගන්න හිතට එන විශ්වාසයයි, හදවත් වපසරියට දක්වන්නේ අනුලෝම සම්බන්ධයක් ද ප්‍රතිලෝම සම්බන්ධයක්ද  කියලා  හොයාගෙන, සමීකරණයක් හදාගන්න තිබ්බා නම්..එහෙනම් හැමදේම ලේසි වෙන්න තිබ්බා...


තාමත් එළියේ හොදටෝම වහිනවා..දුරදොඩනය නොවත්වාම වෙව්ලමින් නිවි නිවි පත්තු වෙනවා...හෙට මොනවා වෙයිද කියලා මට හිතන්න බයයි... රුද්‍ර රුද්‍ර වේශයක් ගත්තොත් හෙට මිනිස්සු මං දිහා කොහොම බලයිද, ප්‍රභූ මං දිහා කොහොම බලයිද වගේ දේවල් හිතේ ඇවිලිලා ඇස් වලින් වාන් දානවා...


සමහර වෙලාවට ජීව්තේ අපේ අතින් ගිලිහිලා ගිහින් අදිසි හස්තයකට බාර දෙන්න වෙනවා.. ඒ  වෙලාවට කරන්න තියෙන හොදම දේ,මේ මං වගේ හෙට දවස ගැන අමතක කරලා ඉන්න එක..අමාරු වුනත් කරන්න තියෙන හොදම දේ ඒක..


මම ඇස් තද කරලා පියා ගත්ත..හැමදේම කළුවරයි..ඇස් පියා ගත්තත් නැතත් කළුවරයි..



Comments

  1. හෙට උදේට නෙමේ ලැප් එක හරි පෝන් එක හරි කැඩිල හදන්න දුන්න දාට පහුවදා ඇක්ස් ලේනා බලපන්

    ReplyDelete
  2. හම්මේ..මොකද බන් ඒ වුනේ...

    ReplyDelete

Post a Comment