කෝච්චි ගායිකාව
සමහර මිනිස්සු බෙල්ල ජනේලෙන් එලියට දාගෙන මුහුදු ලුණු හුලඟින් පපුව ජාඩි දාන්න වගේ ඉඳගෙන ඉන්නවා.. තවත් සමහරු කාට හරි ඉඳගෙන ඉන්න සීට් එක දෙන්න වෙයි කියලා බයෙන් වගේ හොරට නිදාගෙන ඉන්නවා.. තවත් සමහරු පොත් කියවනවා.. අල්ලපු සීට් එකේ ඉන්න ලස්සන නෝනා කෙනෙක්ට ඇල්ම බැල්ම දාන මහත්වරු පවා ඉන්නවා..දැන් මේ හැමදේම ඉර පායනවා බහිනවා වගේ දැකලා දැකලාම ගාණක් නැති වෙලා...මට දැන් උදේ සාගරිකාවේ නැගලා කොටුවට යන එක හරියට උදේට බොන කහට කෝප්පේ වගේ පත්තියම්...කෝච්චි පෙට්ටියට අත් රබානත් අරන් ගොඩ වෙනකොටම ගොඩක් අය අහක බලාගන්නවා..ගෑනු කෙනෙක් රබානක් අරන් කෝච්චි පෙට්ටියට නගිනවා දැක්කාම මහත්වරු නම් ඇස් පිහදලා හොරෙන් බලන්න පටන් ගන්නවා...ඒ වෙලාවට ඒ මිනිස්සු එක්ක කට පුරා හිනා වෙන්න ඔනී කියන එක මම දැන ගත්තේ ඉවෙන් වගේ.. එහෙම වුනාම ඒ අයගෙන් රුපියල් පනහක් විස්සක් වරදින්නේ නෑ..
මුලින්ම පටන් ගන්නේ නන්දාගේ "තරු ද නිදන මහ රෑ" කියලා..එක අතකින් රබාන ගහන ගමන් අනිත් අතෙන් මූණට ලං කරගෙන ඉන්න ඔනි රබාන.. එතකොට සද්දේ ටිකක් වැඩි වෙලා ඇහෙනවා..මම යටි ගිරියෙන් කෑගැහුවත් කෝච්චියේ මහ ගෝසාවයි ,මහ මුහුදේ ගෝසාවයි එක්ක තරඟ කරන්න තරම් මට හයිය හත්තියක් නෑ.. ඒත් එහෙමයි කියලා සිංදු නොකියා ඉන්නවා කියලද මං.. මම කොහොම හරි සිංදු තුනක් කියලාම තමා පස්ස බලන්නේ..
ලුණු හුලඟ එක්ක ගහහෙන එන්නේ වෙහෙස.. දවසම හිටගෙන කෑ ගහන එක, සිංදු ගායනා කරන්න තරම් මට මහ දැනුමක් නැතත්,පුළුවන් උපරිම විදිහකට කියන්න මම උත්සහ කරනවා.. සමහර ගෑනු අය නම් මූණට මූණ බලාගෙන මුල්ම දවස් වල හිනා වුනා මතකයි.. මේ සාගරිකාවේ හැමදාම යන්නේ එකම පිරිසක්.. ඒ අයට මගේ ගොරහැඬි සිංදු දැන් පුරුදු වෙලා..එයාලාට ඒ සිංදු ඇහෙන්නේ නැති ගාණට ඉන්න පුළුවන් වෙලා..
දවල් වෙනකොට උගුර මගේ නෙමෙයි, මේ සිංදු කියන්නේ මම නෙමෙයි කියලා මට හිතෙන්න පටන් ගන්නවා...උගුර යාන්තම් මළකඩ රහ වෙනකොට මම කොටුවේ ස්ටේශන් කැන්ටිමෙන් කිරි කහට එකකුයි ටී බනිස් ගෙඩියකුයි කන්න ගන්නේ... ආයිත් කළුතර දකුණට යන කෝච්චියක එල්ලිලා සිංදු කියන්න යන්න ඔනි... ගවුම දාඩියෙන් පෙඟිලා..කොණ්ඩ ගස් අස්සේ ඉදන් දාඩිය ගාලෙන ඇවිත් පපුව මැද්දේ නතර වෙලා හෙලවෙන්නේ නැතිව පපුවේ ගින්දරට එහෙම්මම වාෂ්ප වෙලා යනවා... සිංදු කියන්නේ මම විතරක් නෙමෙයි..මම නැගැපු පෙට්ටියේ වෙන කවුරු හරි සිංදු කියනවා නම් ඒ කෙනා එක්කෝ තිත්ත කුණු හරුපෙන් බැනලා එලවගන්නවා මාව.. නැත්නම් හයියෙන් කෑ ගහලා පෙට්ටියෙන් බැහැලා යන්නය කියනවා..කෝච්චිය අද්දලා තියෙන වෙලාවක නම් ඒ කෙනා කියන සිංදුව අහගෙන කණුවක් බදාගෙන ඉන්න වෙනවා.. දෙන්නෙක් සිංදු කියන් කෝච්චියක යන එක පාඩුයි.. නිකන් මහන්සිය විතරයි..
සිංදු කියලා කියලා හම්බකරන තුට්ටු දෙකෙන් අම්මාගේ කාසේ අමාරුවට බෙහෙත් ගන්නයි, දුවගේ ඉස්කොලේ පොත් පත් වලටයි,මහත්තයාගේ අංශබාගෙට වෙදමහත්තයා දෙන බෙහෙත් ගන්නයි ගියාම ඉතිරි වෙන සොච්චමෙන් තමා අපි කාලා ඇදලා ඉන්නේ.. දන්නවාද මේ ගවුම කොච්චර පරණද කියලා.. ලොකු දුව හම්බුන් දවසේ මහත්තයා අරන් දුන්න ගවුමක් මේක.. දැන් ඒකී අටේ පංතියේ...මහත්තයා පොල් රා මදින්න ගිහින් අතුරෙන් වැටුනේ දූ ලැබිලා අවුරුද්දෙන්.. එදා ඉදන් ගෙදර බර මගේ උරහිසට ඇවිත් මාව කුදු වෙලා ගියා.. මට ලේසියෙන් සල්ලි හම්බ කරන්න තිබ්බා.. මම තරුණයි...ගණුදෙනු පාර්ශ්වය වුනත් සැදීපැහැදී හිටියා.. ඒත් මට දුවෙක් ඉන්නවා.. මම රබානත් අරගෙන කෝච්චියට ආවේ ඒ නිසා..
උගුර කඩාගෙන සිංදු කියාගෙන රබන් ගහගෙන කෝච්චියේ එල්ලිලා යනකොට ජැක් ගහන්න එන මිනිස්සු, සල්ලි දෙනවා වගේ ඇවිත් අතින් අල්ලලා කෝලම් කරන්න හදන මිනිස්සු, ඉරෙන්න ඔන්න මෙන්න තියෙන හිර ගවුමේ තැනින් තැන මිරිකන මිනිස්සු එක්ක දිනපතා ගැටිලා මාව රවුම් ගලක් වෙලා... සමහරු කෝච්චි පෙට්ටියෙන් බැහැලා ඇවිත් අතින් ඇදගෙන යන්න හදනවා.. තවත් සමහරු දවසම මහන්සියි වෙලා හොයා ගත්ත සල්ලි මඩිස්සලේට විදින්න ඔනි නැති ඇඟෑලුම්කම් පාන්න එනවා... මට මේ හැමදේම හොදට හුරුයි..
හෙට උදේටත් සාගරිකාවේ නැගලා සිංදු කියන්න එන්න වෙනවා... දුවගේ ක්ලාස් පීස් වෙලාවට දුන්නේ නැත්නම් සර් පංතියෙන් එළියට දානවාලු.. එහෙම වුනොත් උදේට ගම්හට යන කෝච්චියක නැගලා ගම්පහට වෙනකන්ම සිංදු කියකියා යනවා...
දුව කියනවා අලුත් සිංදුවක් කියන්නලු.. මම අලුත් සිංදු කියන්න දන්නේ නෑ.. මට දැන් මේ සිංදු තුන මගේ ජීවිතේම කොටහක් වෙලා.. හරියට මන්තරයක් වගේ.. මගේ ඔළුවේ සිංදු තුන එකසිය ගාණට මැතිරෙනවා..දුවටත් සිංදු කියන්න පුළුවන්.. එයා ඉස්කෝලේ තරඟ වලටත් යනවා.. දුව සිංදු කියනකොට මට බය හිතෙනවා..ඒ ඇයි කියලා මම දන්නේ නෑ..
අලුත් සිංදුවක් කියන්න ඔනි.. පරණ මිනිස්සු ටිකම හැමදාම හිටියත්..
Please add the follower gadget to your blog.Thanks
ReplyDeleteකියන්න වචනයක් නැති වෙන තැනක අන්තිමට හිර වුණා 😞
ReplyDeleteහැමදාම වගේ කියන්න තියෙන්නෙ ;
විශිෂ්ටයි අමා...