කුස සහ මම
ඔයාලට මාව විශ්වාස නෑ නේද?එයාගේ හම මගේ වගේ පීච් පාට නැති නිසා...එයාට අනිත් කොල්ලන්ට වගේ සික්ස් පැක් නැති නිසා..එයාගේ කොණ්ඩේ කර්ල් නැති නිසා..ඔයාලට විශ්වාස කරන්න අමාරුයි නේද?? එහෙම කොල්ලෙක්ට මං වගේ කෙල්ලෙක් ඇත්තටම ආදරරේ කරාවි කියලා..
අපි කවුරුත් කැමති අපිට පේන දේවල්, අපිට දැනෙන දේවල් "මේක තමා හරිම දේ" කියලා බදාගන්න..ඒත් අපිට පේන දැනෙන් දේවල් හැමවෙලාවෙම සත්‍ය පෙන්නන්නේ නෑ.. ජීවත් වෙනවා කියන්නෙම අපිට දැනෙන හැඟෙන දේවල්, පේන ඇහෙන දේවල් අපේ තරාදි වලින් කිරලා ගොඩවල් ගහන එකටද මන්දා..
මනුරංග මට ගෙනත් දුන්නේ ලස්සන ගල් අල්ලපු ඔරලෝසුවක් උපන්දිනේට.. දැන් මගේ ලඟ තියෙන ඔරලෝසුවේ හම්පටි දෙක පරඩැල් ගානයි..උපන්දිනයක් වගේ දවසක තමන් ආදරේ කරන මනුස්සයා එක්ක බොහෝම අහිංසක විදිහට පොටෝ එකක් ගහලා බොහෝම අහිංසක විදිහට සතුටු වෙන එක මේ තරම් බරපතල වැරැද්දක් වෙයි කියලා අපි දෙන්නාගෙන් කවුරුත්ම හීනෙකින් වත් හිතුවේ නෑ..
මට මතකයි මම ඕලෙවල් පංතියේදී අවුරුදු කුමාරි වෙච්ච දවස්.. ඒ දවස් වල මගේ වටේට යාලුවෝ හිටියේ මී මැසි රැජින වටේට ඉන්න පරිවාර මැස්සියෝ ටික වගේ.. මගේ ගොතපු කොණ්ඩේ අතගගා හූල්ලන කෙල්ලෝ අස්සේ මට මං ගැනම හීන් ආඩම්බරයක් තිබ්බා, මම ලස්සනයි නේද කියලා...ඒ ලෙවල් කාලේදි රොත්ත පිටින් කොල්ලෝ පස්සෙන් එනකොට, ඇවිත් චොකලට් ටොෆි තව ලිප්ස්ටික් කූරු යාලුවෝ අතේ තෑගි විදිහට එවනකොට මට මං වටේ හුලඟ මහ බරට දැනුනා.. ඒ දවස් හරි සැහැල්ලු වුනත්..
ආදරේ දෙන්න බලාගෙන පස්සෙන් එන පිරිමි පරාණ ගොඩක් ආවෙ ආදරේට වඩා වෙන වෙන දේවල් දීලා දුවලා යන්න..ගහක වුනත් ලස්සන මලක් තියෙනවා දැක්කාම අපිට ඔනි ඒක කඩාගන්න..කඩාගත්තාට පස්සේ ඒකේ වටිනාකම නැති වෙලා යනවා.. එක්කෝ බිමට දාලා පාගනවා.. නැත්නම් අහක වීසි කරලා දානවා.. ගොඩක් පිරිමි අතින් අල්ලන් එක්කන් යන්න කැමැත්තෙන් හිටියේ බොහෝම සුවපහසු හීන ගොඩක් මැද්දෙන් කටු අකුළක් වගේ පේන ඇඳවල් උඩට...සමහරු බොහෝම වැදගත් වෙස්මූණු යටින් හිවල් සෙවනැලි හංගගෙන හිටියා... ලස්සන කියන්නේ එක්තරා සාපයක් වගේ.. හැම දේකින්ම හොඳටෝම හෙම්බත් වෙලා ඉන්න කාලෙක මට එහෙම හිතුනා...
මනුරංග පුස්තකාලේ කෙළවරේම බංකුවක ඉඳගෙන පාවුලෝගේ මිනිත්තු එකොළහ කියවන හැටි මට මැවිලා පේනවා...කිසිම විශේෂත්වයක් නැති, කැපීපෙනීමේ හැකියාව සෘණ කියලා හැමෝම තමන්ගේ ලයිස්තුවල අගටම නම දාගෙන හිටිය මනුරංග මාත් එක්ක එයාගේ හිදැස් දත් පෙන්නලා හිනා වුනා...අපි මුලින්ම කතා කලේ නූතන සිනමාව ගැන.. එයාගේ බොර පාට ඇස් වල මහ දිස්නයක් තියෙන විත්තිය මම දැක්කේ එදා..පස්සේ අපි නවකතා ගැන කතා කලා.. එයා ජපන් නවකතාවේ සාධනීය ලක්ෂණ ලාංකීය සාහිත්‍යට බලපාන විදිහ ගැන මාත් එක්ක කෝපි බොන ගමන් පැය ගාණක් කතා කලා..කෝපි බොන්න යන තැන මිනිස්සු අපි දිහා අමුතු විදිහට බලබලා යන එක අපි දෙන්නාටම ගාණක් වුනේ නෑ... මම මනුරංගට ආදරේ කරන්න පටන් ගන්න කොට මම සම්පූර්ණ නමවත් හරියට දැනගෙන හිටියේ නෑ..
මම මගේ හොඳම යාලුවාට මනුරංග ගැන කිව්වාම එයාගේ මූණ ලුණු දෙහි හට්ටියක් වගේ වෙච්ච හැටි මතක් වෙනවා.. " අර කාල ගෝල වගේ මිනිහා විතරද යකෝ උඹට හිටියේ යාලුවෙන්න.. බලහන්කෝ බතල කොටයක් වගේ.." කියලා මහ හයියෙන් යාලුවා හිනා වුනත් මට එයා එක්ක හිනා වෙන්න බැරි ගතියක් තේරුනා..මම මනුරංගට ආදරේ ඇයි?? එයාට ආදරේ වෙන්න හේතු මම හිතෙන් මහ ලයිස්තුවක් හදාගෙන හිටියේ.. එයාගේ බඩ, එයාගේ පාට, එයාගේ උස වගේ කාරණා මට මහ ලොකු දේවල් වගේ පෙනුනේ නෑ..
මනුරංග මට ආදරෙයි කිව්ව දවසේ එයා මට තෑගි කලේ නිකොලස් ස්පාර්ක් ගේ නවකතාවක්..එයා ඇවිදින පුස්තකාලයක් වගේ මිනිහෙක්...ආදරේ කිරීම ආදරේ විදීම හා විදවීම පුරුදු කරන යෝගියෙක් වගේ මිනිහෙක්..එහෙම මිනිහෙක්ට ආදරේ නොකර ඉන්න එක කොයිතරම් අමාරුද..
මම මේ පොටො එක ෆේස්බුක් නොදා හිටියා නම්.. ඒ පොටෝ එකට මගේ ලඟම යාලුවෝ පවා දාලා තිබ්බ කමෙන්ට් දිහා මට උපේක්ෂවෙන් බලන්න කියලා දුන්නේ මනුරංග.. "සල්ලි වලට තමා මේ යාලු වෙලා ඉන්නේ", "උඹට ඇස් නැද්ද බන්" තව කියන්න බැරි තරම් අසභ්‍ය කතා මහ් ගොඩක් අපි අහිංසකව අරගත්ත පොටෝ එක යටින් මාළු කටු ගොඩක් වගේ ගොඩ ගැහිලා...
කුස රජතුමාට පබාවතී ආදරේ කලාය කියලා පිළිගන්න මිනිස්සු මහ ගොඩක් මැද්දේ , මම මනුරංගට ආදරේ කරනවාය කියන එක පිළිගන්න මිනිස්සු අකමැති ඇයි කියලා කියන්න මට තේරෙන්නේ නෑ..ඔෆිස් එකේ මිනිස්සු අපි දිහා සූ එකෙන් ගෙනාපු රිලව් ගාණට බලන කොට,ගෙදර මිනිස්සුන්ට අපිව වෙන් කරන්න කියලා නෑයෝ කෝල් කරනකොට, එක පොඩි පොටෝ කෑල්ලකට කොච්චර හදියක් කරන්න පුළුවන් ද කියලා විතරක් මට තේරුම් ගියා...
ඔයාලට විශ්වාස නැහැ නේද..බියුටි බීස්ට් කෙනෙක්ට ආදරේ කලා කියලා..නැහැ ඔයාලට ඒක විශ්වාසයි.. ඒත් මම මනුරංගට ආදරේ කරන එක සුරංගනා කතාවක් කියලාවත් විස්වාස කරන්න අමාරුයි නේද...අමාරුවෙන් විස්වාස කරන්න උත්සහ කරන්නත් එපා..
ආදරේ කියන දේ දිරලා කුණු වෙලා යන මේ ශරීරය මත රඳන දෙයක් නම්, අපි මේ කරන්නේ ආදරේ නෙමෙයි වෙන්න ඇති.. ඒත් මේ පපුව මැද මනුරංග වෙනුවෙන් ඇවිලෙන උණුහුමට මම ආදරේ කියලා කියන්න කැමති..මම අදත් ෆේස්බුක් එකට අපේ පොටෝ එකක් දැම්මා.. අපිට මිනිස්සු වෙනස් කරන්න බැහැ.. අපිට මිනිස්සු විදිහට වෙනස් වෙන්න උවමනාවකුත් නෑ.
Nice one malli.
ReplyDeleteනිරුත්තරයි
ReplyDelete