ආගන්තුක බංකුව___

කැම්පස් එක ඉස්සරහම වැවිලා තියෙන රොබරොසියා ගස් වලින් රෝස පාට පිහාටු වගේ මල් බිම වැටෙන සෘතුව ,මහ වේගයකින් අහවර  වෙලා, තද කොළ පාට කොළ හැම අත්තකම, හැම පුංචි රිකිල්ලලම රඳවගෙන බුම්මගෙන ඉන්න සෘතුවක් කොහේදෝ ඉදන් ගහගෙන ඇවිත් ජූලි මාසේ අගිස්සක එල්ලිලා ඉන්නවා.. එක සෙමෙස්ටරයක් ඉවර වෙලා අලුත් සෙමෙස්ටරයකට අනුවර්තනය වෙන ළමයි, තමන්ගේ  සම්පූර්ණ ශරීර බරටත් වඩා විසාල පොත් පපුවට තුරුල් කරගෙන, දකුණු අතේ මහපටගිල්ලයි, දබරගිල්ලයි විතරක් අච්චාරු කෝප්පයට දාලා ඇඹුල් ඇඹරැල්ලා කෑල්ලක් හක්කටම දාලා හපන ගමන්, ඇස් හීනි කරලා ලඟ ඉන්න යාලුවාටත් ඇඹරැල්ලා කොහොම කලත් ඇඹුලයි නේද කියලා කියනවා..තවත් සමහරු කස කැලේ තැනින් තැන හදලා තියෙන ගිම්හාන ගිමන්හල් වල ට වෙලා ප්‍රේම ගීයක් මුමුණන ගමන් කඩදාසිවල කවි කුරුටු ගානවා...




මම හිටියේ, මැයි මාසයක් වුනත් නොවුනත්,රතු පාට මලක් දෙකක් බිමට අතාරින මැයි ගහක් යට ඉඳගෙන අමරදේවගේ "හන්තානේ කඳුමුදුන සිසාරා" අහන ගමන්...ආපු දිහාවක්, යන දිහාවක් ගැන හිතා ගන්න බැරි, ගෙන්දගම් මධ්‍යහන  සුලඟත් එක්ක එන නිස්සාරණය කළ නොහැකි පාළුව, සංසාර මතක පොතෙ පිටු සරබර ගාලා පෙරළනවා..




"ඔයා හුස්ම ගන්නවද"




මැයි ගස් හෙවන යට මං විතරක් හිටපු බංකුවෙන් ආගන්තුකයෙක් ඇවිත් ඉඳගන්න ඇහුවේ එහෙම...එක අතකින් යමුනා මාලිනීගේ කවි පොතක් අරගෙන අනිත් අතෙන් හුලඟේ යන එයාගේම කොණ්ඩය එක්ක සෙල්ලම් කරනගමන්..




"බංකුවේ තව ඔනි තරම් ඉඩ තියෙනවා...මේ කෙළවර මං ඉඳගෙන ඉන්න ඉඩ,මට හොඳටම ඇති"




මම බංකුවේ කෙළවරට වුනා..හුලඟට අතු එකින් එක ඇතිල්ලිලා ඇහෙන සද්දේ පවා සීතලයි..මම මගේ ශිපර් කැඩිච්ච කඩමාල්ලෙන් "මගේ ආදරණිය යක්ෂණීව" උකුළට ගත්තා..




"පාවෙන්න පටන් අරගෙන කොච්චර කල්ද?"




ආගන්තුකයා 'ආගන්තුකයා' කියන පඩිය ලඟට වෙලා ඉලඟ පඩිය දිහා බලන් ඉන්නවා...




"ගොඩාක් පොඩි කාලේ ඉඳන්... යක්ෂණීයකට ආදරණීය වෙන්න  පුළුවන් කියන එක ගැන දැනෙන්න කියවන අද දවස වෙනකන්, තව ඉස්සරහටත් කඩදාසි දිගේ හිත පා කරන එක,ඔයාට දැනෙනවද,ඒක කොයිතරම් සැහැල්ලුවක්ද කියන එක,මේ තරම් දේවල් නමක්වත් නොදන්න කෙනෙක්ට කියන්න සුදුසු නෑ..ඔයාගෙ නම මොකක්ද ?"




"ඔයාට බැරිද නමක් දෙන්න..මට මගේ නම මඟ දාලා ගොඩක් දුර එන්න සිද්ද වෙලා.. ආයිත්මත් ජීවිතේ ආපස්සට යන්න බැරි තරම් මහන්සියි.. තව ඉස්සරහට යන්න බැරි තරම් හර්ද ස්පන්දනය දුර්වලයි..ඔයා මට නමක් දුන්නොත් , මට පුළුවන් වෙයි මේ මොහොතේ ඔයා වෙනුවෙන් ඒ නම වෙනුවෙන් පෙනී ඉන්න..ඔයා ඉස්සරහට යනකොට මට පුළුවන් වෙයි ඒ නමත් එක්ක මෙතනට වෙලා බලන් ඉන්න.."




"මම බයයි..ගොඩක් දෙනෙක් මේ බංකුව යටට එනවා...සමහරු එන්නේ සංචාරයට එන සංචාරකයෝ වගේ..නැවත ආපහු යන්න ටිකට් එකත් අරගෙන...එහෙම කෙනෙක් එක්ක දීර්ඝ සංවාදයක් අරගෙන ගිහින් නැවතිලා ඉන්නය කියන්න බැහැ..ඉතින් ඒ වගේ වෙලාවට සද්දයක් නැතිව ඉන්න එක හොදයි..තවත් සමහරු අහිකුණ්ඨිකයන් වගේ.. තැනකින් තැනකට යෑමේ ආශාවෙන් ඉන්නේ.. එයාලට බැදීම් අඩුයි.. එයාලට ඔනි ඇවිත් රසවිදලා  වෙන කොහෙ හරි තියෙන රසයක් හොයාගෙන යන්න..මම කැමති නෑ එහෙම වෙනවට..මම අකමැති කියන එකෙන් කියන්නේ නෑ එයාලා නරකය නපුරුය කියන එක...තවත් සමහරු ඇති මේ වගේ බංකුවක් යටදි හම්බෙලා ජීවිත කාලෙක් සහ තව ස්වල්පයක් වෙනුවෙන් බලාගෙන ඉන්න පුළුවන්.. ඒත් මේ කලියුගය..එහෙම දේවල් වෙන්න අමාරුයි"




මම කතා කලේ එයා දිහා බලාගෙන නෙමෙයි.. ඉස්කෝලේ කාලේ, ප්‍රධාන රැස්වීමේදි කතා කරන කොට වුනත් මම කතා කලේ අහස දිහා බලාගෙන.."උඩ බලන් කතා කරන්න එපා.." කියලා කොච්චර කීවත්,මම කත කලේ මිනිස්සු එක්ක නෙමෙයි..අහස් වාසීන් එක්ක..මොකද මිනිස්සු එයාලට නොතේරෙන පරාසයේ දේවල් ගැන වද වෙන්න කැමති නැහැ..එයාලා ඒ දේවල් ගැන බරපතලව හිතන්න කම්මැලි..මම කියන දේවල් ගැන වුනත් එච්චරයි ..ඇස් දිහා බලන් කතා කළ යුතු බොහෝම සීමිත අවස්තා කිහිපයක හැර අනිත් හැම වෙලේම නිහඬව ඉන්න තීරණය කලේ උඩ බලන් කතා කරන්නේ තමන් ගැන විස්වාසයක් නැති අය කියල පත්තරේක ගිය පු ලිපියක් කියෙව්වාට පස්සේ..මට මං ගැන විස්වාස නැද්ද..නෑ සමහර වෙලාවට විස්වාස නෑ තමා...ඒ නිසා තමා කැල්කියුලේටරෙන් හදන ගාණ වුනත් දෙපාරක් හරිද කියලා ආයිමත් ආයිමත් බලන්නේ..ඒත්, මට මාව අවිස්වාස නෑ...මට මාව, දැනෙන කුඩා දේවල් ගැන පවා විස්වාසයි.. බලන්න!! විස්වාසේ කියන එක පවා කොච්චර සංකීර්ණ ද..උඩ බලන් කතා කරන එක වගෙ සරල දෙයකින් ඒක ගැන කතා කරන්නවත් පුළුවන් ද!!




"ඔයා කැමතිද කවියක් අහන්න..මේ වගේ දවසක කවියක් අහන ගමන් පාවෙන එක හොදයි නේද?"



"ඔයා කවි ලියනවද?කවි කියනවද?"




"කවි ලියමින් කියනවා"




"මම අහන්න ආස නෑ.. ඔයා කවියක් ලියලා සුමංගලේ ඉස්සරහා තෙල් බැම්මෙන් තියලා යන්න..මම මට හිතුනොත් අහුලගෙන කියවන්නම්"




"හිතුනේ නැත්නම්?"



"එතකොට ඒ කවිය වෙන කෙනෙක් කියවාවී.. ඒ කොළේ ඔයාගේ ෆෝන් නම්බරයක් ලියලා තිබ්බොත් කියවන කෙනා ඔයාට කතා කරලා සුභ පතාවි..පස්සේ හැමදාම කතා කරාවි..ඔයාලා අතර ආදරයක් ඇති වෙන්න තියෙනවා නම් ඒ දේත් වේවි..නැත්නම් හරිම සරලයි..ඔය කොළේ හුලඟේ ගහගෙන යාවි"




ආගන්තුකයා දත් නොපෙනෙන්න හිනා වෙලා බංකුවෙන් නැගිට්ටා...බංකුව උඩින් සුදු පාට මොනවදෝ ලියපු කොළයක් තියලා ඒක උඩින් පොඩි කළු ගල් කෑල්ලක් තියලා යන්න ගියා...එයා යනගමන් ආපස්සට බෙල්ල විතරක් හරවන ගමන් මෙහෙම කියලා කෑගැහුවා..




"මේ කොළය ඔයාට..ඔයා කැමති නම් කියවලා බලන්න..මම හෙටත් එනවා...එනකොට මට අරන් එන්න නමක්, ඔයා කැමති නම් විතරක්..මේක ඉල්ලීමක් විතරයි..."




නමක් දෙනවාය කියන එක අයිතය  පෙන්වීමක් නෙමෙයිද..අයිති නම් බැඳීමක් ඇති වෙනවා..බැඳීමක් ඇති වෙනවා නම් ඇලීමක් ඇතිවෙනවා..ඇලෙන්න ඇලෙන්න තණ්හාව ඇතිවෙනවා..තණ්හාව නිසා දුක ඇති වෙනවා..ඒත්, ආදරේ කියන තණ්හාව බොහෝම සියුම් ලස්සන දුක්ඛදායි හැඟීමක් නේද..අපි අන්තිමට දුක ඇති වෙන බව දැන දැනම අපි ඒ වෙනුවෙන් සැදීපැහැදී ඉන්නවා..ආදරේ ලැබුනත් නොලැබුනත් ඒ එක්කම ඉපදෙන දුක, ආදරේ නිවුන් සහෝදරයා තමා ශෝකීය වේදනවා..ගොඩක් සතුටු ආදර කතා ලෝකයේ නැහැ..ඒ හැම කතාවකම ආදරේ ඉහළම තලයන්ගේ හරය ශෝකය..ඒ ශෝකය සුළු සතුටක දිය වෙනවා..අපි ආදරේ කරමින් විදවන්න කැමති...ඒ විදවීම කවියක් වගේ සෞන්දර්යක් නිසා වෙන්න ඇති අපි ආදරණිය විදවීම වලට මේ තරම් මනාප..




මම ඒ කොළය අතට ගත්තා...ඒ අකුරු කුරුමිණි කකුල් වගේ..පුංචියි..ඒත් බොහෝම සීරුවට ලියලා තිබ්බා..සමහර ඉස්පිලි පාපිලි අකුරට වඩා විසාලයි..




"අම්ලකර අශ්වාස වාතයෙන්

තැම්බිච්ච කොළඹ පෙනහලු මැද්දේ,

නිස්සාර ජීවිතේ දෝතින්ම බදාගෙන

හර්දයක් පණ අදිනවා සොඳුර




වස්සාන  සෘතුවක සංසාර සුගන්ධය

ඇටමිඳුළු වල පවා නිධන් කර,

ජීවිතේ කල්වාරි කඳු මුදුන් මස්තකෙට

ප්‍රේම කුරුසය රැගෙන එනවාද




බාටා සෙරෙප්පුව වගේ දින ගෙවෙයි 

ඉවර වෙයි,

තව දිනෙක නුඹ ඇවිත් බංකුවේ වාඩි වෙයි,

දුරින් ඉඳ නුඹ දිහා බලන් ඉඳ දැන් ඇතී,

ප්‍රේමයේ ගීතයේ  ස්වර පෙළක් මට මදියි"




ඒ කවිය, දෙපාරක් කියවලා දකුණු අතේ ගුලි කරගත්තා.. පුස්තකාලේ පැත්තට ගෙවිච්ච බාටා දෙකත් දාගෙන යන ආගන්තුකයාව මට තවමත් පේනවා...මේ වගේ කොල්ලෙක්ට කොයි වගේ නමක් ඇත්තටම හරි යයිද??




Comments

  1. පුදුම තරම් ලස්සනයි.. වෙනම ලෝකෙකට ගියා වගේ..

    ReplyDelete
  2. //අපි ආදරේ කරමින් විදවන්න කැමති...ඒ විදවීම කවියක් වගේ සෞන්දර්යක් නිසා වෙන්න ඇති අපි ආදරණිය විදවීම වලට මේ තරම් මනාප..//

    විප්‍රයොගය කියන්නෙ මිනිස්සු නැවත නැවතත්,නැවත නැවතත් ස්මරණය කරමින් විදින්න කැමති අතිශයින්ම ගැඹුරු හැගීමක්.එවැනි ජීවිතේ ගැඹුරු යතාර්ථයන් කිහිපයක්ම කෙටි කතාව අස්සෙ තිබුන.අර විශ්වාසය කියන එක ප්‍රශ්න කරපු එකත් එක අවස්තාවක්.

    අහම්බෙන් වගේ හීන සාප්පුවට ගොඩ උනේ, අතිශයින්ම සතුටුයි.

    ReplyDelete

Post a Comment

Popular Posts