ස්කයි කැෆේ

තුරු ළැම සළු පාවෙන
බ්‍රහස්පතින්දා හවසක
අහස් අවන්හල වෙත
ඔබ පැමිණෙනවාද

කඳුළු හංගත්ත සුදු
වළාකුළු පාවෙනවා බලබල
කහට වැඩි කිරි තේ බොන ගමන්
ඇස් වලින් කතා කරන හැටි
කියා දී යන්න එනවාද


උත්තෝලකයේ වීදුරු වලින්
ඈතම ඈත කොළ පාට පේන කොට
නුඹේ ඇස් මාව මඟහැර
දුර ඈත බලන්නට වෙහෙසෙන,
මෝඩ විහිළුවකින් නුඹේ ඇස්
මගේ ඇස් වලට පටලව ගන්න
එක පාරක් ඇවිත් යනවාද

තවම මල් පිපුනේ නැති
රොබරෝසියා ගස් සෙවනේ
වසන්තය ගැන අලුතින්ම
කවි ලියන්න ඔබ එනවාද

Comments

Post a Comment

Popular Posts