ගෑනු මදුරුවෝ








මම ධර්මෙට කැමති නෑ කිව්වම අම්මා එයාගේ ඇස් දෙක කටේ දාගෙන මං දිහා බලාගෙන හිටියා...ගෙයි පිළිකන්නේ හිටපු ආච්චි දුවගෙන ඇවිත් කොන්තේ මාලේ අතට අරගෙන මං දිහා බලන් හිටියේ තව වචනයක් හරි කිව්වොතින් පුටුවක බැඳලා කොන්තේ මාලේ බඩට බස්සන්න වගේ...


"සන්තානම් මෑනියනේ..උඹ එතකොට අර ධර්මෙට කැමති නෑ"


අම්මගේ කටහඬ බිම වැටිලා  අහුලන ගානට කොණ්ද දෙකට නමලා බිම වැටිච්ච හැට්ට කට්ටක් ඇහිදගෙනම  මැද සාලේ බංකු කොටයක් උඩින් පස්ස පැත්ත පතබෑවා...ආච්චි එහෙම්මම බිම ඉඳගෙන කොන්තේ බිමින් තියලා ලේඩියෙක් හූරන්න පටන් ගත්තා..


මම හිටියේ හිටගෙන..මොකක් හරි බරපතල සාකච්චාවකට කලින් අපි තුන් දෙනා එකතු වෙන්නේ මෙහෙම තමා...ආච්චිගේ කටට වචන එන්න නම් ලේඬියෙක් දෙන්නෙක් මහපට ඇඟිල්ලෙන් චප්ප කරන්නම ඔනි...අම්මාට එහෙම නෑ..ඔනි වෙලාවක වක්කඩ කැඩුනා වගේ කතා
කරන්න ඇහැකි..


අපි තුන් දෙනාටම උඩින් චිමිණිය මහ මූසල එළියකින් බිම තෙමමින් තිබුණා...වැස්සක් ගැන කියාගෙන ආපු මෙරු ඉගිල්ලිලා ඇවිත් චිමිණියේ වහලා පිච්චිලා බිමට වැටෙනකොට උන්ට වගකියන්න හූනෙක් චික් චික් කියකියා බිත්තිය දිගේ බිමට බඩ ගෑවා..


"දුවේ උඹෙ බඩ දැන් රවුම් වෙන්න පටන් අරගෙන...ධර්මෙගේ ඇඟේ එල්ලන්නේ නැත්නම්  අපි උඹව ඒරොප්පේ රජ්ජුරුවොන්ට සහේට දෙන්නද?"

"මූට අප්පෙක් ඔනි නෑ..ධර්මේ වගේ එකෙක් නම් කොහොමත් එපා"

"ඒ මොකෝ ධර්මේ එපා??උගේ ඇට හැලිලාද?"

"ඇට හැලිලා?? උගේ ඇට තලන්න ඔනි..මම මගේ දෑහටම දැක්කා වූ වැටකෙයියා පඳුර ගාව මාර්තාගේ පොඩි එකා එක්ක..."

"කටවහපන් කිව්වේ..මේ දේව මෑනිගේ සුරුවම ඉස්සරහා තියාගෙන වනචර කතා කියන්න පටන් ගත්තා"

අම්මා ඇඳන් හිටිය රෙද්ද ලිහලා ඇඳ ගත්තා...ආච්චිගේ  ලේඩි හීරිල්ල ඉවරයක් නෑ..හොඳට නිස්සබ්ද වුනාම රෑට දියඹට යන බෝට්ටු කාරයන්ගේ  "හෙලෙයියා" සද්දේ ඇහෙනවා...මම චිමිණියේ එළිය අඩු කලා..


"ඉතින් අම්මේ මට ඌ එක්ක දීග යන්න ඇහැකිද?මම දන්නවා මගේ බඩට පැටියා දෙයියෝ ගෙනත් ඇරලුවා නෙමෙයි කියලා..මම පත්තිනි අම්මෙක් නෙමෙයි..එහෙම කියලා ධර්මෙ එක්ක ගිහින් මට කනේරු කන්න තමා වෙන්නේ"


ආච්චී උගුර පාදලා කොන්තේ ගණින්න පටන් ගත්තා...

"අම්මගෙයි දුවගෙයි මදන විසේ...යකෝ බඩක් එක්ක ගෑනියෙක් බාරගනීද හරි හමන් පුරුසයෙක්..ධර්මේ උඹට හොඳ වැඩී"


ආච්චි එහෙම කියලා හයියෙන් හයියෙන් "නමෝ මරියනි" කියන්න පටන් ගත්තා...   


"දැන් වෙච්ච දේ වෙලා ඉවරයි..මොකෝ දැන් බැන අඬගැහුවා කියලා මේකිව අපි මරාන කන්න කියලෑ...ධර්මේ එක්ක පලයන් දුවේ..මට නම් වෙන විදිහක් පේන්නේ නෑ.."



අම්මා හොටු හූරන සද්දෙට බය වෙච්ච හූනෙක් බිත්තිය දිගේ දුවගෙන ගිහින් ආයිමත් බිමට පත බෑවුනා..


"හරි..මම ධර්මේව කරකාර බැඳාමත් මූ වැටකෙයිය ගාල අස්සේ තක් ගැහෙන්න ගත්තොත් නම් ජේසු ස්වාමි පල්ලා කෙලවල්ලා කුට්ටිය වගේ පෙති ගහන්නේ"


"උඹට එහෙනම් පෙති ගහන්න තිබ්බේ මුලින්ම උඹෙ බඩට මේ වසංගතේ ඇරලවපු එකාව..උඹ,මම,මේ බොරුවට කොන්තේ ගණින නාකිච්චි ඔක්කෝම ගෑනු එකම බෝට්ටුවේ බන්..අපිට අතරමං වෙන්න හේතු දෙයියෝ මවලාම තමා පොළවට අතෑරලා දාලා තියෙන්නේ.."


"අම්මා කියන්නේ ධර්මේ එක්ක යන්නම කියලෑ" මම අම්මා ගාවින් වාඩි වෙලා අම්මාගේ ඔඩොක්කුවේ ඔළුව ඔබා ගත්තා..

අම්මා ගාවින් ආවේ ලුණු සුවඳ..අපේ ගමේ හැම ගෑනියෙක් ගාවින්ම එන්නේ මේ ලුණු සුවඳ..


"මම දන්නේ නෑ බං..දැන් වාරකන් පටන් ගත්තම මාළු කෑල්ලක් හොයා ගන්නවත් නැති වෙයි..ඒ නිසා මම හිතුවේ ජාඩියක් දාගන්න ඔනි කියලා"


ආච්චි ඈත අහස දිහා බලාගෙන හූල්ලන සද්දේ ඇහිලා අපි ඒ දිහා බලාගෙන හිටියා..ආච්චිට තිබ්බා යාතිකාවෙන් බොරුවට වහ ගන්න හදන හර්ද සාක්කියක්...

මමත් අම්මාත් දැකලා තිබ්බා ආච්චි ඈත හෙළුවෙන් නාන සුද්දෝ දිහා බලාගෙන ඉන්න හැටි...අම්මා කියන්නේ ආච්චිගේ මිනිහා නැති වෙලා තියෙන්නේ අම්මා හම්බෙලා හත් මාසෙන් කියලා..ඊට පස්සේ ආච්චිගෙ අම්මා ගාවට වෙලා ඔහේ ජීවිතේ දිය වෙලා ගිහින්..ආයිත් කසාදයක් කරගත්තොත් ඒ මිනිහත් මැරෙයි කියලා ආච්චි බය වුනාලු..


"අම්මා හිතන්නේ බඩේ ඉන්නේ සරමක්ද කම්බායක්ද?"

"කරුම කරගහන්න එන්නේ කම්බායක්..මේ ගෙදර පිරිමි ඵල නෑ බන්"

"මම එක්කෝ ධර්මේ එක්ක යනවා....ගිහින් වෙන දෙයක් වෙච්චාවෙ කියලා ඌත් එක්ක බුදිය ගන්නවා"

"හ්ම්ම්"

අම්මා මගේ තට්ටමක වහලා හිටපු මදුරුවෙක්ව අල්ලෙන් තලලා චප්ප   කලා..

"අන්තිමට ළමයි හදන්න ගිහින් මැරුම් කන්නෙත් ගෑනු..බලහන් මේත් ගෑනු මදුරුවෙක්"

Comments

  1. සුපිරියි... සමහරතැන් ජුගුප්සාජනකයි.... ඒඋනාට ඒක නියමයි කතාවට

    ReplyDelete

Post a Comment

Popular Posts