ගාබ්‍රියෙල්







"මම එයාට ලිප් කිස් කරන  පොටෝ එකක් වට්සැප් එකෙන් යැව්වා..එයා මට මැද ඇගිල්ල දික් කරගෙන ඉන්න ඉමෝජි එකක් එවලා තිබ්බා...මම ඇයි කියලා මැසේජ් කරන්න හිතුවත් කෝල් කරලාම විස්තරේ අහන්න ඔනි කියලා අන්තිමට තීරණය කරලා කෝල් එකක් ගත්තා..ඔයා දන්නවද ගාබ්‍රියල්..එයා මට මොනවද කිව්වේ කියලා?



එයා කිව්වා මම හරිම වලත්තයි කියලා... එහෙම පින්තූරයක් එයාට එව්වේ ඒ නිසා කියලා මට හොඳටම දොස් කිව්වා..ගෑනු ළමයි කිසිම වෙලාවක හීනෙන්වත් එහෙම දේවල් ගැන හිතන්න හොඳ නෑලු..එයාට මගේ කන්‍යාභාවය ගැනත් දැන් සැකයිලු..ඔයාටත් ඒක සැකයිද ගාබ්‍රී...ඔයා මගේ හැමදේම දැකලා තියෙනවා නෙහ්...මම ඇඳුම් ගලවන වෙලාවට වුනත් ඔයා මං දිහා බලන් ඉඳලා තියෙනවා..මම කණ්ණාඩිය ගාවට ගිහින් පපුවෙ කොයි පැත්තද වැඩිපුර ලොකු කියලා බලන වෙලාවට වුනත් ඔය ඉන්නේ මාත් එක්කමයි...ඇයි මම කොමඩ් එකේ ඉඳගෙන ඉන්න වෙලාවට වුනත් ඔයා මගේ ලඟට ඇවිත් මූණ දිහා බලන් ඉන්නේ..ඔයා අපේ විශේෂයේ නෙමෙයි නිසා මටත් ලැජ්ජාවක් නෑ ඉතින්..ඒත් ඔයත් කොල්ලෙක් නෙහ් එක අතකින්..ඔයා හරිම වලත්ත කොල්ලෙක් ගාබ්‍රී...ඔයාට ලැජ්ජ නැද්ද අනේ එහෙම කන්න වගේ බලාගෙන ඉන්න ඇත්තටම..පිස්සා..


මට ඔයාව ඔඩොක්කුවට ගන්න බෑ ඩාලින්..මම වීස් එකට බෙහෙත් ගත්තේ ගිය සතියේ..බොරු නෙමෙයි මේ බලන්න... ඉන්හේලර් දෙකක් උරනවා.. ඩොක්ටර් කිව්වා ඔයාව ලඟට ගන්න එපා කියලා..ඔව් මම ඩොක්ටර් කියපු පළියටම එහෙම කරන්නේ නෑ කියලා ඔයා දන්නවා..ඒත් අල්ලපු ගෙදර එල්සී නැන්දා කියපු කතාවට නම් මට බය හිතුනා..


එල්සී නැන්දා  කියනවා ඔයාගේ මයිල් ගස් හොරෙන් හොරෙන් කකුළ් දෙක අස්සෙන් ගිහින් යට සාය ,යට කලිසම පහු කරලා ඇඟ ඇතුළටම සුටුස් ගාලා යන්න පුළුවන්ලු..එහෙම ගිහින් අන්තිමට මහ ජරා ලෙඩක් හැදෙනවලු..මට රිස්ක් එකක් ගන්න බෑ අනේ..මම තාම බැඳලත් නෑ..ළමයි හම්බෙලත් නෑ නෙහ්..මම තාම රෝස් පාන් එක්ක ලින්ගුස් කාලත් නෑ අෆ්ෆා..


ඔයා කාටහරි ආදරේ කරලා තියෙයිද ගාබ්‍රී..අන්න අන්න ඔයා මහ කපටියි..අහක බලා ගත්තාට මම දැක්කා අල්ලපු ගෙදර අළු පාට නැට්ටිච්චි පස්සෙන් නැට්ට උඩ තියාගෙන දුවන හැටි..මගේ හැම ආදර කතාවක්ම  හරියට සබන් බෝල වගේ.. ලස්සනයි..ඉක්මනට නැති වෙලා යනවා..බාගවිට මගේ වැරැද්ද වෙන්න ඇති...මම ඔනිවට වඩා දේවල් හොයනවා නෙහ්..අනික මේ ලංකාව...මිනිස්සු ඉන්නේ හතර වටෙන් කොටු වෙලා මුහුදෙන්... එයාලා කාටවත් පීනලා යන්න බෑ..


එල්සී නැන්දා කියන්නේ ලංකාවේ අය පිටරට යන්නෙත් ඒ මුහුද විසාල බෑග් අස්සේ දාගෙනලු..එයාලා එහෙදි එයාලටම කියලා දූපත් හදාගන්නවලු..ඇත්ත..මට වුනත් ඔනි ලිප් කිස් එකක් දෙන ජෝඩුවකගේ පොටෝ එකක් කෙල්ලෙක් එව්වම ඒකිව "බඩුවක්" කියලා ලේබල් නොකරන රටකට පීනලා යන්න..ඒත් මට දිය යට හුස්ම ගන්න බෑ..මට සල්ලි නෑ එච්චර..


ගාබ්‍රී ඔයා හිතන්නේ මම හිතන විදිහටම නේද.. වෙලාවකට මට හිතෙනවා ඔයාවත් අරන් පැනලා යන්න..එහෙම ගිහින් අපි  සිරීපාදේ රොටි කඩයක් දාගමු...ඔයා රොටි කන්න ආසයි නෙහ්...එහේ රොටියක් මෙහෙ පීසා එකක ගාන විතර ඇති...ඔයා පුරුපුරු ගාද්දි හෙන කොමළේ අනේ...ලඟ හඩු ගඳ වුනාට බෙල්ල චුට්ටක් කිති කවන්නම වෙනවා...


ගාබ්‍රියෙල් මම නාන්න යනවා අනේ... අරයා ආයිත් කෝල් කරන එකක් නෑ.. ඔයා බය වෙන්න එපා එයාව අතෑරියා කියලා මම ආයිත් බොන්නේ නෑ..එහෙම බීලා ඔයාව ජනේලෙන් එලියට විසික්කා කරන්නේ නෑ.. කෝ මෙහෙට එන්න ඔළුවේ අත තියලා සත්තයි කියන්න..මේ සැරේ බිව්වත් සැර ජාතියක් ගන්නේ නෑ නෑමයි...බියර් එකක් කමක් නෑ නෙහ්..හා කියන්නකෝ ඉතින්.."
***********************************

"අම්මේ කෝ ගාබ්‍රියෙල්..මම උදේ ඉදන් හොයනවා..කොහෙවත් නෑ"



"ඌ ඊයේ ඉදන් නෑ..කොහේ ගිහින්ද මන්දා...මම දැක්කා තව රැලක් එක්ක හන්දියේ රස්තියාදු ගගහා ඉන්නවා"


"එයා ආයිත් ඒවිද අම්මේ?"


"බඩගිනි වුනාම එයි...කොහේ ගියත් ගෙදරට පුරුදු පිරිමි සතා ගෙදරටම එනවා...උන් දන්නවා ඌව ගෙදර ගෑනු එළවන්නේ නෑ කියලා"


"එතකොට අම්මේ තාත්තා??"

Comments

  1. ලස්සනට ලියලා තියෙනවා...

    ReplyDelete
  2. Kondeesi wirahitha unusumakata hondama sagaya Gabriel !��

    ReplyDelete
  3. කොච්චර කියෙව්වත් එපා වෙන් නෑ අප්ෆ...

    ReplyDelete
  4. නියමයි..." එතකොට අම්මේ තාත්තා??" හිතට වැදුණා .

    ReplyDelete

Post a Comment

Popular Posts