දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...

පසුව ලියමි-
කතාවක් පටන් ගැන්මට පෙර පසුව ලිවිය යුතු කොටස ලිවීම  කියවන්නා තව දුරටත් කතාව වෙත  බැඳ තබා ගන්නට මා සතුව ඇති නොහැකියාව පෙන්වීමක් බව දනිමි.නමුත් මුලටම ලිවිය යුතුව ඇත්තේ පස්සා පැත්තට සවි වියයුතු යැයි සම්මතය කර ගත් පසු වදන වීම ගැන මට පෞද්ගලිකව කල හැක්කේ සමාව ඉල්ලිම පමණයි..මේ කතාව ලියන කතා නායිකාව මේ වන විටත් ඇලුමිනියම් මුට්ටියක තැම්බෙන නියඟලා අලයට ලුණු ඉහගෙන කනවද එහෙමත් නැත්නම් ගම්මිරිස් ඉහගෙන කනවාද කියා දෙගෙඩියාවෙන් සිටිනවා විය හැකියි. එසේ නැත්නම් නියඟලා අලය ලබා දෙන මරණය  හිතනවාට වඩා වේදනාත්මක වේ දැයි සිතමින් මෙය ලියනවා විය හැකියි. බාගදා නියඟලා අලය නිසා මැරෙමින් සිටින විට කවුරුන් හෝ තමාව බේරා ගනිතොත් එතනින් පසුව ජීවිතය වඩා සුවදායි කරගැනීමට යමක් බැංකු පොතක ඉතිරි කර යෑමට සිතා සිටිනවා  විය හැකියි.සැබවින්ම බොහෝ දේ අපට අනුමාන කළ හැකි වුනද ඒ අනුමානයන් අතර සත්‍ය තිබේ යැයි විශ්වාසයෙන් කිවීමට නොහැකි වීම කනගාටුයි.අනුමානයන් කල්පිතයන් හා මනංකල්පිතයන් ගැන වදවීම් මා මෙන් පසෙකලා කතා නායිකාවට නිදහසේ අගේ කතාව කියාගෙන යාමට ඉඩ දීම මේ මොහොතේ හැටියට යුතු යැයි හැඟෙයි.

කතාව-

මම ඒ ෆො කඩදාසියේ  කළු පෑනකින් මළගෙයක චිත්‍රයක් අඳින්න පටන් ගත්තා.මුලින්ම ඒ ෆෝ කොලේ උඩින්ම ඇන්දේ ඉරක්.පස්සේ බෝල බෝල වලාකුළු හතරක්.කපුටෝ තුනක් අඳින එක ඕනිවට වඩා වැඩියි.එක කපුටෙක් විතරක් අඳිනවා.ඒ හොඳටම ඇති.කොරියන් වගේම හින්දි ෆිල්ම් වල වුනත් සියදිවි නසා ගන්න දර්ශන වල කිසිම වෙලාවක චිත්‍රයක් අඳින ජවනිකාවක් තිබිලා නැහැ.මම බලපු කතාවල තියලා නැහැ කියන එක තමා හරිම කතාව.ලියුමක් ලියා තැබීම තමා සම්මතය.පොඩි කොලයක් අරගෙන එකේ තීන්ත බොඳ වෙලා ගිය අකුරු වලින් මොනා හරි වැල්වටාරමක් ලිවීම  තමා කළ යුතුව තියෙන්නේ.එහෙම වුනාම සියදිවි නසාගත්ත හේතුව හොයා ගන්න අමාරුවක් නැහැ.ඒත් මට හේතුව ඉතිරි කරලා යන්න උවමනාවක් නැති නිසා මෙහෙම දෙයක් අන්තිම පැය දෙක තුනේ  කරන එක හොඳයි.මළගෙයක් පුළුවන් විදිහට බලි කුරුටු ගාන එක,හිතට හොඳයි වගේ...පස්සේ කඩදාසිය හතරට නවල මැද හොයාගෙන එතනින් මිනී පෙට්ටිය අඳින්න පටන් ගන්න ඔනි..පසේ පෙට්ටිය වටේට රෝස මල් වඩම්.පෙට්ටිය තාම හිස්.

එක දොස්තර කිව්වේ  මේ වගේ අසාමාන්‍ය තත්ත්ව වලට තවම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් හොයාගෙන නැති නිසා බෙහෙතක් දෙන්න බැහැය කියලා.දෙක සහ තුන දොස්තරලා කීවෙත් එකමයි.එක ඉස්පිල්ලක් පාපිල්ලක් ඇලපිල්ලක් හලන්නේ නැතිව.අවශ්‍ය නම් හතර දොස්තර කෙනෙක්ව චැනල් කරන්න මගේ ළඟ සල්ලි තිබුනත්, මම ඒ සල්ලි වලින් සයිවර් කඩයකට ගිහින් තෝසයක් කාලා ප්ලේන්ටියක් බිව්වා.

මගේ හදවත සාමාන්‍ය නොවීම සම්බන්දයෙන් වැරදිකරු කවුරුන්ද කියලා දැනගන්න එක මගේ මුලික අයිතිවාසිකමක්.තොරතුරු දැනගැනීමේ අයිතිය. පල්ලියේ පාදිලි  කිව්වේ  මැවීමේදී සිද්ද වුන වැරද්දක් විත්තිය.ඒ විදිහට බැලුවොතින්  වැරදිකරු දෙවියන් වහන්සේ තමා.ලංකාවේ නම් නොසැලකිලිමත් රිය ධාවනයට, බිමත් රිය ධාවනයට පවා රුපියල් පන්සියේ දාහේ දඩ  ගැහුවත්, දඩ ගෙවා ගන්න බැරි අයව හිරේ විලංගුවේ දැම්මත් ,  ‘නොසැලකිලිමත් ලෙස මිනිසෙකු මැවීම’ ( බාගදා බීමතව)කියන වරද සම්බන්දයෙන් දෙවියන්ට දඩුවමක් නොපැනවීම සම්බන්දයෙන් මට තියෙන්නේ හරිම තරහක්.දෙවියන්ට විරුද්දව මට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ.එයා ඉන්නේ හැංගිලා නිසාත් පොලිස්සියට කියලා බෝගම්බර යවන්න බැරි නිසාත් මා වෙනුවෙන් යමක් කරන්න, දෙවියන්ට මගේ තරමින් දඩුවමක් දීමට කළ හැකි හොඳම විසඳුම කියලා පෙනුනේ, දෙවියන්ගේ අත්වැරැද්ද නිවැරදි කිරීම, දේව මැවිල්ල විනාස කර දෙවියන්ව රිදවීම,සියදිවි නසා ගැනීම.

හැමෝටම තිබ්බේ හරිම සාමාන්‍ය හදවත්.කර්ණිකා දෙකයි, කෝෂිකා දෙකයි.හර්ත් කර්ණික කෝෂික ආවරයෙන් දෙකට බෙදිලා.පෙනහළු දෙක මැද්දේ වමට බරව.මගේ හදවත වමට හා දකුණට බරව කෝෂිකා හතරකුයි කර්ණිකා හතරකුයි එක්ක.මට තියෙන්නේ දෙබිඩි හදවතක්.හදවත් දෙකක් එකට බයින්ඩර් ගාලා අලවලා වගේ.මම කලින්  ඒ ගැන දැනගෙන හිටියේ නැහැ.පෙම්වතා  නොම්බර එක  පැමිණීම වෙනකොටත් මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ.

පෙම්වතා නොම්බර  එක, දෙකේ කාසියක් වගේ පැතලි,සුදුයි.උස වගේ පෙනුමයි.එයා ආවෙ විද්‍යුත් චුම්බක තරංග දිගේ බඩ ගාගෙන.එයාට කළ හැකි සහ කළ නොහැකි එකම දේ වෙලා තිබ්බේ ප්‍රේම කිරීම.එයා ද්විමානයි.අල්ලා බැලිය නොහැකියි.සීතල කාලගුණයකදී උණුසුම්  වීමක් සඳහා වැලඳ ගැනීමක් කළ නොහැකියි.පෙම්වතා නොම්බර එක කුලී ගෙවීමක් නැතිවම එක හදවතක උඩ පහළ සංසරණයට අදාළ බලපත්‍රය අරගෙන තිබ්බා.ඔහු කිසිම වෙලාවක ද්විමානයෙන් පිටට ඇවිත් ත්‍රිමානමය වස්තුවක් වෙන්න වෙහෙස වුනේ නැහැ.මට ඔහුව ත්‍රිමාණව අවශ්‍ය හැම වෙලාවකදීම එයා බොහෝ නිහඬව හිටියා.ඒක මගේ  ඉරණම කියලා පිළිගන්න එයා හැම වෙලාවේම උත්සහ කළා.ඔහු මට ප්‍රේම කළා හෝ නොකළා මම ප්‍රේම කරමින් හිටියා.අනිත් සාමාන්‍ය ගෑනු ළමයි වගේම ප්‍රේමය නිසා පපුවේ වම පැත්ත රිදෙන්න ගත්තා.හරිම සාමාන්‍ය විදිහට මම අසාමන්‍ය ප්‍රේමයකට පොහොර වත් කරමින් ඉන්නකොට, කලබලයෙන් වගේ පෙම්වතා නොම්බර දෙක කඩාගෙන වැටුණා.

සාමාන්‍යයෙන් කඩාගෙන වැටෙන්නේ මොන වගේ දේවල් කියලද අහලා තියෙන්නේ.ගෙවල්, කොන්ක්‍රීට් බිල්ඩිම්,ගස් වගේ දේවල්.ගොඩක් වෙලාවලට කඩාගෙන වැටීම සතුටු හිතෙන දෙයක් වෙන්නේ නැහැ. “ අයියෝ මගේ ගෙදර කඩාගෙන වැටුණා” කියලා සතුටු වෙන කාව හරි දැකලා තියෙනවද.සමහර වෙලාවලට තරු කඩාගෙන වැටෙනවා.මම වගේ බොලඳ  නම් තරු කඩා වැටෙනවට ආසයි.ඒ දිහා බලාගෙන “අනේ හෙට අපේ ඔෆිස් එකට ගංවතුර ගලන්න” කියලා ප්‍රාර්ථනාවක් දෙකක් කරන්න ආසයි.පෙම්වතා නොම්බර  දෙක කඩා වැටුනේ ගහක් වගේද නැත්නම් තරුවක් වගේද කියලා මට තවම හිතා ගන්න අමාරුයි.මම ඒ ගැන දන්නේ කඩාගෙන වැටුණා කියන එක විතරයි.කඩාගෙන වැටුනේ පිටකොටුවේ බෝ ගහ ගාවදි.

එයා පෙම්වතා නොම්බර එක වගේ නෙමෙයි.එයාට දාඩිය දානවා.අල්ලා බැලිය හැකි භෞතික ශරීරයක් තියෙනවා.(පෙම්වතා නොම්බර දෙක කිව්වට එයා ඒ වෙනකොට පෙම්වතා නොම්බර දෙක නෙමෙයි.බඩේ ඉන්න කළලය වුනත් ඉපදෙනකන්ම දරුවෙක් කියලා පිළිගන්නේ නැහැ නේ)එයාට පෙට්‍රෝල් බීලා දුවන්න පුළුවන් යකඩ අස්පයෙක් හිටියා.එයා ඒ අස්පයාට පෙට්‍රෝල් අරන් දෙන්න ඕනි නිසා එයා රස්සාවක් කරනවා.වඩා වැදගත්ම දේ එයා මට ආදරේ ප්‍රකාශ නොකිරීම.පෙම්වතා නොම්බර දෙක සම්බන්දයෙන් ප්‍රේමය පහල වුනේ ඕපපාතිකව.අහේතුකව.අපිට වචන වලින් ගිවිසුම් තිබුනේ නැහැ.කඩ කළ යුතු හෝ රැකිය යුතු පොරොන්දු තිබුනේ නැහැ.එයා ආවා.දකුණු පැත්ත හදවතේ එයාගේ නාම පුවරුවක් එල්ලුවා එච්චරයි.පෙම්වතා නොම්බර එක එයාගේ අසල්වැසියා ගැන දැනගෙන හිටියේ නැහැ.නොම්බර දෙක පෙම්වතාත්  අසල්වැසියා ගැන වද වුනේ නැහැ.

මට හදවත්  දෙකක් තියෙන විත්තිය මම දැනගත්තා. ඒ  හදවත් දෙකම  ආකාර දෙකකට ප්‍රේමය පොම්ප කරනවා. එක හදවතක් වමටත් අනික දකුණටත්.සමහරක් රාත්‍රීන් වලදී වම් හර්දය  දකුණට වඩා ප්‍රේමයෙන් බර වෙනවා.ඒ දවස් වලට මම වම ඇලයට හැරෙනවා. තවත් දවස් වලට හර්දය බර වෙන්නේ දකුණට.එතකොට මම වඩා සුවදායි දකුණු ඇලයට නිදාගන්නවා.කාලය ගෙවුනා.වම හා දකුණ ප්‍රේමය පොම්ප කළා.

අන්තිමට කලින් බොහොම දේවල් වුනා.අපිට ගංවතුරක් ආවා.අපේ ගෙයි  පඩිය ගාවටම ආවත් වතුර ගෙට දැම්මේ නැහැ.වතුර දිගේ ආපු දිය බරියෙක් නංගිගේ කකුල කාලා තිබ්බා.පෙම්වතා එක , ගංවතුරේ ඔරු පදින්න ගිහින් හිටියා. පෙම්වතා දෙක , ගංවතුර බලන්න යාලුවෙක් එක්ක රත්නපුරේ ගියා.හැම දේම නරක අතට හැරුනේ ගංවතුර නිසා කියලා මම හිතනවා. ගංවතුර එයාලව මුණ ගස්සවලා තිබ්බා. අන්තිමට විය යුතු ලෙසම වී තිබුනා.මම චපල වුනා කියලා චෝදනාව ආවා. එයාලා දෙන්නම අතිශය සාමාන්‍ය කොල්ලෝ.හදවත් දෙකක පැවැත්මක් විස්වාස කරන්න අමාරු.පෙම්වතා නොම්බර එක යන්න කලින් එයා හිටිය හදවතේ බිත්ති වල වල් කතා ලිව්වා.එක එක වල් රූප අන්දා.එයා දොර කඩලා දාලා යන්න ගියා.පෙම්වතා නොම්බර දෙක ගියේ ආවා විදිහටමයි.වෙනස එයා යන්න කලින් නාම පුවරුව ඉතිරි කරලා ගියපු එක.

*************************************************************************************

හිතවත් කියවන්නනි, මෙතැන් සිට කතා නායිකාව අඳින ලද මළගෙදර රූපයක්  එල්ලීමට මා කැමති වුනද තාක්‍ෂණික බාධාවක් නිසා එසේ කිරීමට නොවීම ගැන මම කනගාටුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.ඇය තැම්බූ නියඟලා අලය කෑමට ප්‍රථමව පිළිණු වී තිබුන නිසා කෑමෙන් වැලකි සිටීමට ඇය තීරණය කළ අතර,ඇය සිය දිවි නසා ගැනීමට ඇති වඩා යහපත්ම ආකාරය විශාදය සඳහා ඇයට නියම කරන ලද බෙහෙත් පෙති සියල්ලම එක වර ගිල දැමීම වග සිතා ඒ සියල්ලම පානය කලද හිසේ කරකැවිල්ල හා වමනය හැරුනු  විට මරණය ඇය අසලට නොපැමිණි වග දන්වමි. පසුව මානසික රෝගී වාට්ටුවේ ඇය නේවාසිකව ප්‍රතිකාර ගත් අතර ඒ අතරතුර ඇය  හා පෙම්වතා නොම්බර දෙක අතර ඇති වූ සංවාදයන් මෙලෙස දක්වමි.මෙය හුදෙක් උපුටා දැක්වීමක් මිස වෙන කිසිම යටි අදහසකින් පලනොකර වග ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මත ඇත තබා දිවුරා කියමි.

*************************************************************************************

“ඔයාට දැන් සනීපද?මම ගෙනාපු සුප් එක ඔක්කොම බිව්වා නේද?එකට සුප් කැට  දෙකක් දෙකක් දාලා හදවාගෙන ආවෙ”

“ඔව්.එක රහයි.එකේ මස් කෑලි පෙන්න තිබ්බ නිසා මම ආස වුනා.ඔයාට කියලා ටිකක් ප්ලාස්ක් එකේ දාලා අරන් තිබ්බා. බොනවද දැන්?”

“එපා.මම වෙසක් මාසේ මස් කන්නේ නැහැ.අපි මස් ගෙනත් ෆ්‍රිජ් එකේ දාලා අරන් තියලා තියෙන්නේ. වෙසක් පහු වෙච්ච ගමන් උයන්න.”

“ඒක හොඳයි.එත් මාළු කන්න.මාළු නොකෑවත් හාල්මැස්සෝ නම් කන්න.ප්‍රෝටීන් නැත්නම් කලන්තේ දාන්න පුළුවන්.”

“ඔව් මම මාළු කනවා.කෙල්වල්ලෝ මාළු.ඒක නෙමෙයි.දැන් ඔයාට සනීපද?තාම හදවත දෙබඩිද?”

“නැහැ මට තාමත් අසනීපයි.දැන් ප්‍රශ්නේ හදවත් දෙකක් තියෙන එක නෙමෙයිලු.දැන් එක හදවතක්වත් නැහැලු.ඔයාට විස්වාස නැහැ නේද?මේ බලන්න මේ එක්ස්රේ එක.පෙනහළු දෙක මැද්දේ හිලක්.හදවතක් නෑ.”







Comments

  1. බුකියෙන් දැකලා මේ පැත්තට ගොඩ උනේ මලේ...
    .
    කතාවනම් නොම්බර එකයි...
    .
    "අමාගේ" හීන සාප්පුව කියන්නේ....කවුද එතකොට දැන් අමා.... ඕවා සින්බෑඩ් ට ලෝක ප්‍රශ්න මලේ...

    ReplyDelete
  2. බුකියෙන් දැකලා මේ පැත්තට ගොඩ උනේ මලේ...
    .
    කතාවනම් නොම්බර එකයි...
    .
    "අමාගේ" හීන සාප්පුව කියන්නේ....කවුද එතකොට දැන් අමා.... ඕවා සින්බෑඩ් ට ලෝක ප්‍රශ්න මලේ...

    ReplyDelete
    Replies
    1. මම තමා අමා.... මේ මගේ සාප්පුව... (යකෝ කොල්ලෙක් කොහොමද අමා වෙන්නේ කියන ප්‍රශ්නෙට තියෙන්නේ දිග උත්තරයක් හැබැයි. :

      Delete
    2. එල..... දිගඋත්තරේ පැණි වළල්ලක් වගේ රස කෙටි කතාවකින් ලියලා දාමු වෙලාවක...
      .
      .
      ජය වේවා
      .

      Delete
  3. ඔබේ කතා කියවු පසු මා උත්කෘෂ්ට අහ්ලාදයකින් පෙලෙනවා.. ඒ කතාවල ටුවිස්ට් එක මරු...

    ReplyDelete
  4. පංකාදුයි අමා...

    ReplyDelete

Post a Comment

Popular Posts