බිඳුණ පසු තටු..













තවමත් අනන්තයි කියලා විස්වාස කරන  විශ්වයේ  ගණන් කරලා ඉවරයක් කරන්න බැරි තරම් මන්දාකිනි ගොන්නකින් ක්ෂිරපථයේ දිලිසෙන දූලි වළාවන්’තර මැදිවිය පසු කරන මව් තරුවක් වටා අලසව සහ කඩිසරව පරිභ්‍රමණය වෙන ග්‍රහලෝක , ග්‍රාහක එහෙමත් නැත්නම් වල්ගා එක්ක එහා මෙහා යන  අසංවර තරු,  මම තව දන්නේ නැති ඒත් තියෙනවා කියලා විස්වාස කරන  ගොඩක්  දේවල්  අතරින්,  නිල් පාට හර්ද වස්තුවක් තියෙන පෘතුවියේ, සාගර ජලයෙන් අමාරුවෙන් හිස ඔසවාගෙන ඉන්න මහා පොලෝ කෑල්ලක, එයිනුත් මටය කියලා වෙන් වෙච්ච  ගෝල ෆේස් එක පැත්තට ජනෙල් තියෙන ෆ්ලැට් එකේ ඉඳගෙන බීලා ඉවරවෙච්ච බියර් කෑන් තුනක් වටේ තියාගෙන ,මම, සුවිප් ටිකට් එකක් සුරනවා වගේ මගේ ජීවිතේම දබර ඇඟිල්ලෙන් සූරන ගමන් , තුන් වෙනි සිගරට් එකත් පත්තු කරගෙන හුස්ම උඩට පුළුවන් තරම් වෙලා අල්ලගෙන ඉන්නවා.

මට මහන්සියි.ජිවිතේ ආපස්සට  ආපස්සට ඇවිදිනවා කියන එක හිතන තරම් ලේසි නැති විත්තිය තේරෙන්න ගන්න කොට මම ආයිමත් ඉස්සරහට ඉස්සරහට යන්න බැරි තරම් දුරක් ගෙවාගෙන ඇවිත් ඉවරයි.කෙල්ලෙක් ආපස්සට ඇවිදිනකොට ලෝකය කොහොමත් විදුරු කටු පාරට විසිකරන එක සාමාන්‍යයි.මගේ යටි පතුල් කැපිලා ඒ තුවාල වල දුවිලි පිරිලා කළු පාට ගැහිලා.හැමදෙයක්ම අළු පාට වෙලාද එහෙමත් නැත්නම් මම හැමදේම අළු පාටින් දකින්න පටන් අරගෙනද කියලා හරියටම කියන්න තරම් මගේ සිහිකල්පනාව හොඳ මදියි.

සාරදා ඔයා ගිය සතියේ ඇවිත් මගේ පරණ කට  කැඩිච්ච අසෝක වීදුරුවට වතුර පුරවලා ගෙනත්  දාපු මල් දැන් මැලවිලා ගිහින්.බාබන්දෙසියා වල පෙති ගොම දුබුරු පාටට හැරිලා ලියන මේසය පුරාම ඉහිරිලා. රෝස මල් විතරක් ඔයාම වතුරට දියකරපු ඇස්ප්‍රින් පෙති වල පිහිටෙන් පාට යන්තමට රැකගෙන.එත් සාරදා ඒ රෝස මලුත් මැරිලා.පාට විතරක් ඉතිරි කරගත්තට නටුවෙන් වෙන් වෙච්ච මොහොතේ ඉදන් ඕනිම මලක් මැරෙන්න පටන් ගන්නවා.හරියට මේ මම වගේ.ඔයාගේ අත අතෑරපු දවසේ ඉදන් මම මැරෙනවා.මේ ඉන්නේ, මේ බියර් බිබී කාලේ පාපිස්ස ගසනවා වගේ ගසලා අහකට විසි කරන්නේ මැරිච්ච මම.


මම කසාද බඳින්න කැමති වුනා. ඇත්තටම වුනේ කැමති වෙන්න සිද්ද වුන එක වුනත් “කැමැති වුනා” කියන එක ඇතුලේ මම මාවාගත්ත මොකක්දෝ නිදහසක් තිබ්බා.ඒක හරියට කූඩුවක් ඇතුලේ ඉගිලෙන්න තියෙන නිදහස වගේ මහා විකාර දෙයක් වුනත්. වරනාසි වගේ නෙමෙයි මම.වර්නාසි හුළඟ වගේ.එයා පුරුදු වෙලා හිටියේ හමාගෙන හමාගෙන යන්න විතරමයි.එත් මම,මම එක තැනක මුල් ඇදලා ඉන්න ගහක් වගේ.මගේ මුදුන්  මුල් අම්මගේ අප්පච්චිගේ හදය වස්තුව වෙනකන් දුවලා ඉවරයි.

වර්නාසිගේ ඇස් ,පිරිමියෙක්ගේ වගේ රතු පාට,ඇස්  යට තියෙන කළු ගැහිච්ච ඉදිමුන ගතිය.එයා පාවිච්චි කලේ පිරිමි ළමයි පාවිච්චි කරන ජාතියේ පර්ෆියුම් ජාති.කසාදය දවසේදී මාව කසාද බැඳපු සමන් ගාගෙන හිටියෙත් වර්නාසි පාවිච්චි කරන පර්ෆියුම් ජාතියි.සමන් මුණ පුරාම වවාගෙන හිටපු රැවුල් ගස් අස්සෙන් එයාගේ මස් කෑලි,පරිප්පු ඇට, රතු පාට කෑලි මිරිස් කෑලි ඇලවිච්ච දත් ටික විරිත්තුවා.මගේ ඉතිරි ජිවිත කාලයම සමන් සිනක්කරව ලියාගෙන තියෙද්දී ඒ මනුස්සයාගේ දත් අස්සේ ටයිටැනික් නැව හිර වෙලා තිබ්බත් මට කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා තිබ්බේ නැහැ ඉතිරි වෙලා තිබ්බ එකම දේ ආපස්සට ආයිමත් හිනා වෙන එක විතරයි.



වර්නාසි කියන්නේ ඉන්දියාවේ එක ප්‍රාන්තයක්ය ඒ ප්‍රාන්තය මැද්දෙන් ලස්සන ගංඟාවක් ගලනවාය කියලා මට කිව්වේ  වර්නාසි.ඒ ගංගාවල් ජිවිතේ මහා දුකක් හංගගෙන පල්ලම් බහින්නේ ඉපදෙන මැරෙන මිනිස්සු දහස් ගානකට ශාන්තිය ගේන්න.තමන්ගේ පිරිසිඳු හදවතේ මිනී අළු ගා ගන්නේ මැරිච්ච අයට දෙව්ලොවට යන්න ඒ ඇයගේ පව් තමන්ගේ පිටට පටවගන්න.මගේ වර්නාසිත් ඒ වගේ ගඟක්.මම වගේ ආත්මයක් නැති නිදහසක් නැති ප්‍රාණීන්ට ශාන්තියක් ගෙනත් දෙන. සමන් නරක මිනිහෙක් නෙමෙයි.එයා ඉඳලා හිටලා බියර් එකක් බිව්වට බොන්න පෙරේතයෙක් නෙමෙයි.එයා මට හොඳට සලකනවා.මම ගැන හැමදෙයක්ම හොයලා බලනවා.එයා එයාගේ පැත්තෙන් හොඳ ස්වාමිපුරුෂයෙක්ගෙන් වෙන්න ඕනි හැම යුතුකමක්ම වගේ ඉෂ්ට කරනවා.ඒත්,මට මහා තදට අඩුවක් දැනෙනවා.ඒක හරියට කිරි හොදි වලට ලුණු නැති වුනාම වගේ.සමන් වැඩට ගිය වෙලාවට මම කණ්නාඩිය ඉස්සරහට ගිහින් මගේ දිහා බලාගෙන ඉන්නවා.වර්නාසිගේ බෙල්ලේ තියෙන මකර පෙන්ඩන්ට් එකට හිරිච්ච මගේ කම්මුලේ කැළල තවමත් යාන්තමට පෙන්න තියෙනවා.ඒ කැළල ආයිමත් පෑරිලා රිදෙන්න පටන් අරගෙන.එක සදාකාලේටම සමහරවිට ඊටත් පස්සෙත් රිදේවි.මම දන්නවා සමන්ගේ කිසිම අඩුවක් නැහැ.අඩුව තියෙන්නේ මගේ.මම ආදරේ වර්නාසිට.සමන්ට දෙන්න තරම් ආදරයක් මේ වෙනකොට ඉතිරි වෙලා නැහැ.

*************************************************************************************
මම ගලක් වෙන්න පටන් අරගෙන තිබ්බා.කලිසම් ෂර්ට් විතරක් ඇඳපු මම සාරි ඇඳගෙන රස්සාවට යන්න පටන් ගත්තා.සිගරට් බීලම කළු ගැහිච්ච තොල් උඩින් තද රතු ලිප්ස්ටික් උලාගෙන කම්මුල් වලට මේකප් දාගෙන උදේ හවා වැඩට යන්න පටන් ගත්තාම ගොඩක් දේවල් කල්පනා කරන්න මට කාලයක් තිබ්බෙම නැති තරම්.මම දෙපාරක් කසාද බැන්දා.එක පාරක් වර්නාසි පෙරේරා වෙච්ච මම අනිත් පාර වර්නාසි සිවනාදන් වුනා. වෙනසක් කියලා සිද්ද වුනේ වාසගම වෙනස් වෙච්ච එක විතරයි.ඒ දෙපාරම මම දික්කසාද වුනා.ලෝකයෙන් ඔනිතරම් බැනුම් ගැරහුම් අහලා පුරුදු මට දිකසාදයකට පස්සේ එන ප්‍රශ්න නිකන් පොද වැස්සක් වගේ නොසලකා හරින්න පුළුවන් තරම් පොඩි දේවල් විතරයි.

මම කොටට කපලා තිබ්බ කොන්ඩේ බෙල්ල ගාවට වෙනකන් වවන්න තීරණය කළා. ‘මේ උබ නෙමෙයි වර්ණි.’ කියලා ඇතුල් හදවත කෑගැහුවත් ඒ කටහඬ ඇහෙන්නේ නෑ වගේ ඉන්න මම පුරුදු වෙන්න පටන් ගත්තා. තනි ගෑනියෙක්ට විප්ලයවයක් කරලා උඩුගං යන්න අමාරුයි.එත් හිත කියන්නේ වල් සතෙක් වගේ දෙයක්.කොච්චර කලත් හිලෑ කරගන්නවා කියන එක කරන්න බෑ.ඒ නිසා මට හිත පාලනය කරගන්න බැරි වුනා සමහර වෙලාවලට. හැමදේම ඉවර වෙලා ආයිමත් ඇඳුම් අඳින වෙලාවට මට ඇස වල කඳුළු පිරෙනවා.සාරදාට තවමත් පුළුවන් ඇස වලට කඳුළු අරගෙන එන්න.

දවසක් මම සාරදාව දැක්කා.ශොපින් මෝල් එහෙක මහත්තයත් එක්ක ගෙදරට ඕනි දේවල් තෝරනවා.දැන් සාරදාගේ කොන්ඩේ සමහර තැන සුදු පාට වෙලා.ඉස්සරට වඩා මහතයි.එත් එයා හිනා වෙනකොට නම් ඉස්සර සාරදාවම මැවිලා පෙන්න පටන් ගන්නවා.එයාගේ මහත්තයා නම් හොඳ පාටයි.එයාලා සතුටින් විත්තිය දකින ඕනි කෙනෙක්ට කියන්න පුළුවනි.සරදාගේ අතින් අල්ලගෙන ඉන්න පොඩි කෙල්ල එයාලගේ දුව.එයාට තියෙන්නේ සරදාගේ මනමාල ඇස්.කොච්චරක් නම් දේවල් සිද්ද වෙලාද.මම තවම එකම තැනක හිර වෙලා වගේ.මම බියර් කෑන් එකක් මගේ බිලට එකතු කරගත්තා.

*************************************************************************************
වර්නාසි දැන් කම්පැනි එහෙක ලොක්කියෙක් විත්තිය මම දැනගත්තේ ටීවී එකේ උදේට වනිතා  යන වැඩසටහනකින්.මේ වර්නාසිමද කියලා අඳුනගන්න බැරි තරමටම වෙනස් වෙලා. “අපෝ බලන්නකෝ අම්මේ මේ ආන්ටිගේ හැටි විතරක්” කියලා දුව කියනකොට මම දුවගේ කම්මුලට ගැහුවා පාර ගිහින් වැදුනේ එයාගේ තොල් දෙකේ.තොල් දෙක පුපුරලා ලේ එන්න පටන් ගන්නකොට මම අඬඅඬා බෙහෙත් දැම්මේ දුවව පපුවට තුරුල් කරගෙන.දුවට කිසිම දෙයක් හිතා ගන්න බැරිව අතරමන් වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියා.මගේ කම්මුලේ කැළල කකියන්න ගත්තා.

මම ඒ වැඩසටහන අන්තිමට කිව්ව වර්නාසිගේ ෆෝන් නම්බර් එක ලියාගත්තේ ඇයි කියලා මට හිතාගන්නත් අමාරුයි.කෝල් කරලා අලුත් කරගන්න තරම් යාළුකමක් අපි අතර ඉතිරිද කියලා මම දන්නේ නැහැ. සමහරවිට එයාට මාව අමතකත් ඇති කියලා හිතෙන කොට මට හීන් දුකක් දැනෙන්න ගත්තා.


මමයි දුවයි හැම සතියකම සෙනසුරාදට යනවා පාර්ක් එකට.දුව හැම තැනම දුවදුවා සෙල්ලම් කරන හැටි මාර ගහ යට තියෙන කොන්ක්‍රීට් බැංකුව උඩ ඉදන් බලාගෙන ඉන්න මම ආසයි.ඒ දුවදුවා සෙල්ලම් කරන්නේ මගේම කොටහක් නේද කියලා හිතෙන කොට හිත පිරෙනවා.එත් ආයිමත් හිතේ මම දන්නේ නැති තැනකින් හැමදේම කාන්දු වෙලා හිත හිස් වෙලා යනවා.

වර්නාසි ඇවිත් මගේ අතින් අල්ලනකන්ම මම හිටියේ හීනෙක.මට වර්නාසිව අඳුන ගන්න විනාඩි දහයකට වඩා ගියා.එයත් ඇවිත් මගේ ලඟින් වාඩි වෙලා දුව සෙල්ලම් කරන හැටි බලාගෙන හිටියා.මාර ගහ මාර විදිහට හෙවනයි.හෙවනල්ලකට මේ තරම් සිසිලක් දෙන්න පුළුවන් කියලා විස්වාස කරන්න පුලුවන්ද.

*************************************************************************************
“වර්ණි, දැන් ගොඩක් වෙනස් වෙලා.ලස්සන වෙලා”

“ලස්සන වෙලා නෙමෙයි නාකි වෙලා කියන එක නේද හරිම වචනේ”

“මම නම් නාකි වෙලා.මම අම්මා කෙනෙක් වුනා.තව කාලයක් යනකොට ආච්චියෙක් වෙයි.ඔයා කසාද බැන්දේ නැද්ද?”

“දෙපාරක් බන්දා.දෙපාරම ලිහුනා”

“ළමයි?”

“ළමයි නෑ. ඔයාට ඔයා හොයන ගියපු සතුට හම්බුනාද සාරදා?”

“ඔව් වගේම නෑ. සතුට කියන එක සෘතු වගේ වෙනස් වෙනවා.මම සතුටින් වගේම දුකින්.ඔයා සතුටින්ද?”

“මම තවම සතුට හොයනවා.මැරෙනකන් හොයලා හරි කවදා හරි හොයා ගන්නවා”

“හම්බෙන්න කලින් මැරෙන්න වුනොත් එහෙම?”



“ඔයාට ඔයා හොයපු ආදරේ හම්බුනාද?”

“ඔව් හම්බුනා.ඒත් එක නැති වුනා.”

“හැමදේම නැති වෙනවා සාරදා.ආදරේ විතරක් නැති නොවී තියෙයි කියලා හිතන එක තමා මෝඩකම කියන්නේ.මට හරිම මහන්සියි.මම ඔයාගේ උරහිසට ඔලුව තියාගෙන ටිකක් නිදාගන්නද?”

“කමක් නෑ.හැබැයි නැගිට්ට ගමන් මට ඉස්සර වගේ කවියක් ලියලා දෙන්න.දුවට හෙට ඉස්කෝලේ පැවරුමකට කවියක් ඕනි.”

Comments

  1. ඔලුවට කවුද මහ පරලෙකින් පහර දුන්නා වගේ.. අමා ලියන විදියට මං කොහොමත් ආසයි. ඒත් මේ අසම්මත ලිහා ගන්න බැරුව පාඨකයන්ට ලිහන්න දෙන එක නම් හරිම අසාධාරණයක්

    ReplyDelete
  2. ලස්සනයි ....

    ReplyDelete

Post a Comment

Popular Posts