දූපතක් මි!

මම පුංචි දූපතක් වෙලා... වටේම මහ මුහුද...අහසේ සෙවනැල්ල මහ මුහුදට වැටිලා..අහස ඒ සෙවනැල්ල දිහා බලාගෙන වළාකුළු අස්ථාන වලින් ස්ථාන වලට ස්ථානගත කරනවා...මට තිබ්බේ පා වෙන්න...පාවෙන්න ගමන් අහස දිහා බලාගෙන ඉන්න...අහසේ හැමතැනම වළාකුළු...සුදු පාටයි..මං වගේම පාවෙනවා...


මගේ කම්මුළ හරියේ තාරකා මාළුවෙක් ඇලවිලා..හදවත  විසාල කොරල් මලක්..මලක් කිව්වාට පෙති රේණු සුවඳ වගේ දේවල් නැහැ...මලකට වඩා කොරල් ගලක් වගේ..පාට ලස්සනයි..රතු පාටයි...පුංචි දම් පාට  තිත් තිබුනා...මම සම්පූර්ණ දූපතක් නෙමෙයි..දූපත් කෑල්ලක් වගේ...සම්පූර්ණ දූපත් වලට අයිතිකාර මහද්වීප තියෙනවා..අයිතිය නිසා පාවීමේ නිදහසට වාරණ වැටෙනවා..මම එහෙම නෙමෙයි..තාමත් පාවෙනවා...මගේ ලඟ ලොකු ගස්  නැහැ....පොල් ගස් කොහොමවත්ම තිබ්බේ නෑ....ඒ නිසා පොල් කුරුමිණියෝ හිටියේ නෑ..(ඇති යාන්තම්)


මගේ වටාම මුහුද  තිබ්බාට වෙරළක් නැහැ..සුදු රළ ගෙඩි ඇවිත් මුතු වගේ බිඳිලා යන්නේ නෑ...හැමතැනම තිබ්බේ ලුණු වතුරයි ගැඹුරු නිහඬකමයි..මමයි.. මුහුද ගැඹුරු වෙනකොට රැළි නගන්නේ නෑ...නිහඬව ස්පන්දනය වෙනවා විතරයි..


එයා එමින් හිටියා..(මේ මම දකිමින් හිටියේ හීනයක් විත්තිය කලින් නොකීවාට සමාවෙන්න...මෙන්න මෙතැනට වෙනකන් හැමදේම 'වියහැකියි'  ගනයේ දේ..මම දූපතක් වියහැකියි..හදවත කොරල් පරයක් වියහැකියි..නමුත් මෙතන සිට ඔහුගේ පැමිණිම හැමදෙයක්ම 'විය නොහැකි' ගනයට තල්ලු  කරගෙන යනවා..මෙතනින් එහාට හැමදේම පාලනයෙන් තොරයි..අභව්‍යයි)


එයා එමින් හිටියේ රුවල් නැවක...රුවල මැද්දෙන් පතරංග හිදැසක් හැදිලා...කුඹ ගහේ පොකට් රේඩියෝ එකක් ගෙට ගහලා තිබ්බා...ඒකේ ගියේ හින්දි සිංදු...පරණ එව්වා...මම ඇස් දෙක පියා ගත්තා...දැන් මට අහස පේන්නේ නෑ..ඇහෙනවා විතරයි..."සොරස් සොරස්" ගාලා නැව් බඳේ වදින මුහුදු වතුර සද්දේ...."කල් හෝ නහෝ" තාලෙට එයා සිවුරහන් බාන සද්දේ...රේඩියෝවේ "චිරිස් චිරිස්" සද්දේ...


එයා මාව හොයා ගත්තා...එහෙම නැත්නම් ඒක මෙහෙම කියන්නත් පුළුවන්...මම එයාව හොයා ගත්තා...තවත් විදිහකට කිව්වොත් අපි හම්බුනා...තව කොච්චර විදි තියෙනවද ඒක කියන්න....කොහොම කිව්වත් සිද්ධ වුනේ එකම දේ..


එයාගේ නැව ඇවිත් හැප්පුනේ කොරල් පරයේ...කොරල් පරයෙන් කෑල්ලක් කැඩිලා ගියා...වෙන තැනකින් කෑල්ලක් කැඩිලා යනවා වගේ නෙමෙයි...කොරල් පරයකින් කෑල්ලක් කැඩෙනවා කියන එක...ශත වර්ෂ ගාණක් යනවා ආයිත් තිබිච්ච විදිහට ඇති වෙන්න...හදවත කොරල් වීම කොච්චර භයානකද ඇත්තටම...


එයා මගේ හැමතැනම ඇවිද්දා..දූපතක් වීම නිසා මට ඇවිදින්න එයාට තහන්චි දාන්න අවසර නෑ...එයා හැමතැනම මොනවදෝ හොයලා අන්තිමට මාත් එක්ක කතා කළා...( හිතවත් පාඨකය, මෙතනින් එහාට ඇති බොහෝ දේ මා විසින් කළ ප්‍රබන්ධයන්ය..මට සිහිනයේ මෙතනින් එහාට කොටස් මතක ටිකය...මතක ටික ප්‍රබන්ධයෙන් තනුක කර ඇති වග සළකන්න)


"ඔයා දැක්කද කපු කටින කාව හරි"

"නෑ...මෙහෙ කපු කටින්න කපු ගස් නෑ"

"බැල්ලියෙක් වත්??"

"ඒත් නෑ...බැල්ලියෙක්ට යැපෙන්න මෙහෙ කිසි දෙයක් නෑ"

"මේ කොහෙද??"

"මේ මම...මම පාවෙනවා"

එයා නැව ඇතුලෙන් අරන් ආපු ඇට ජාතියක් මගේ හැතැනම ඉස්සා...කොරල් වලට ඒවා වැටුනම ලස්සන පාටක් ගත්තා...එයා කිව්වේ ඒ ආදරේ කියලා...එයා හදවත හාරලා කොරල් කඩලා හුනු හැදුවා...හුනු වලින් හුනු කූරු හදලා කවි ලිව්වා...බලි ඇන්දා...හදවතේ ඔනිම තැනකින් කොරල් කෑලි කඩා ගන්න එයා දෙපාරක් හිතුවේ නෑ...මම එයාට ඉඩ දීලා සද්ද නැතිව හිටියා...එයා දුන්න දේවල් වෙනුවෙන් එයා කැමති කැමති දේවල් අරගත්තා..


ඒත් මිනිස්සුන්ට දූපතකින්, මං වගේ මුකුත් නැති අවැදගත් පාවෙන දූපතකින් ප්‍රයෝජනයක් නෑ...මිනිස්සු දූපත් වලට එන්නේ සතුටු වෙන්න...සතුට දූපත් ඇතුළේ කල් ඉකුත්  වුනාම එයාලා යනවා...එයාටත්  යන්න ඔනි වුනා...එයා යනකොට ගියේ නැවක් පුරවලා කොරල් අරගෙන...මට ඉතිරි වුනේ 'මේ මගේ හදවත' කියලා පෙන්නන තරම් පොඩි කොරල් පතුරක් විතරයි... එයා ඈතට ගිහින් අතුරුදහන් වුනාට පස්සේත් මම පාවුනා... තනියෙම...


එයා ගියාට මාව පහු කරගෙන නැව් ඔරු පාරු අනන්තවත් ගියා...එයා වගේම ඇවිත් කලින් ප්‍රශ්නම ආයිමත් ආයිමත් ඇහුවා...ඒත් ඒ වෙනකොටත් මගේ ලඟ දෙන්න කොරල් පර කෑල්ලක්වත් ඉතිරි වෙලා තිබ්බේ නෑ...කොටසක් එයා අරගෙන ගියා...අනිත් කොටස කාලය ඩැහැ ගත්තා...




මම දැන් හදවතක් නැතිව පාවෙනවා...මහද්වීප මඟහැරලා ක්ෂුද්‍ර ද්වීපයක පැවැත්මක් හොයාගෙන!!




Comments

Post a Comment