අතහැරිය පසු නින්ද

එයා ඇදුම හැදිච්ච දරුවෙක් වගේ හයියෙන් හුස්ම ගන්නවා ඇහෙනවා... දැන් මාස බර ගානක ඉදන් කිසිම හේතුවක් නැතිව රෑ ජාමේ මම  ඇහැරලා ඉන්න පටන් අරගෙන...මෙහෙම ඇහැරෙන්න පටන් ගත්ත මුල් දවස් වල මම එයාවත් උරහිස් වලින් හොලවලා ඇහැරව ගන්නවා.. පස්සේ එයාවත් එක්ක ගෙන කුස්සියට ගිහින් තේ වල පොඟවගෙන රෑ ඉතිරි වෙච්ච පාන් වාටි කනවා... ඒ හැමදේම මුල් දවස් වල විතරයි...
දැන් එයා නැගිටින්නේ නෑ.. එයාව නැගිට්ටවන්න මහන්සි ගන්න මටත් කම්මැලි... ඇරත් දැන් පාන් වාටි ඉතිරි වෙන්නේ නෑ...එයා රෑට ඔක්කෝම විසිකරනවා මීයෝ බෝවෙනවා කියලා...මීයෝ බෝවෙනවාද පාන්වාටි වලින්??? එයාට නම් පිස්සු!!

මෙහෙම නිකන්ම නිකන් ඇහැරුනාම මට මුලින්ම හිතෙන්නේ කොහොම හරි නිදා ගන්නවා කියන හැඟීම..ඇස් තද කරගෙන දත්මිටි කාගෙන නිදා ගන්න හදන්නේ ඒකයි...ටික වෙලාවක් යනකොට මට හිතෙනවා පාන්දර වැඩට යන්න ඇහැරෙන්න ඔනි වෙලාව වෙනකන් නැගිටලාම ඉන්න...ඒත් එයා  නිදාගෙන ඉන්න විදිහ දැක්කාම ඇති වෙලා නැති වෙලා යන ඉරිසියාව නිසා ආයිත් හිතෙනවා නිදාගන්න....මම නිකන් තුෂ්ණිභූතව ගෙවිලා යන වෙලාව පොතක් පත්තරයක් බලන්න ඉතිරි කරගත්තේ ඒ නිසා..තුෂ්ණීභූත?? ඒ වචනේ කොහෙන්ද මම හොයා ගත්තේ ඇත්තටම??


හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ!!

මුලින්ම වැලි කැටයක් දෙකක් තරම් කුඩා දේවල් තමා වෙනස් වෙන්න ගත්තේ... ගොඩක් වෙලාවලට වෙනස්වීම් සිද්ද වෙන්නේ අකාරාදි පිළිවෙලට කියලා අම්මා හැමතිස්සේම කියනවා මට මතකයි... අම්මා හරි කියලා මටත් හිතෙනවා... රෑ නින්ද යන්නේ නැති වුනාට පාන්දර හය පහුවෙනකොට ඇස්  දෙකම ලාවට පියවෙන්න පටන් ගන්නවා... එහෙම අඩ නින්දේ උයන කෑම වලට ලුණු දැම්මේ නැති විත්තිය මතක් වෙන්නේ ලන්ච් ටයිම් එකට...එයා කෑම එක විසිකරන විත්තිය මට විස්වාසයි...පස්සේ ගෙදර ඇවිත් මට බනින්නත් පුළුවන්..


මම ඔෆිස් එකේ වැඩ කරන ගමන් එයා මට බනින හැටි හිතින් මවාගන්නවා...එයා මට ගහන්න ආවොතින් මම ගුටි කනවාද, එහෙම නැත්නම් අතට අහුවෙන දෙයකින් දමලා ගහනවාද කියන එක ගැන ස්ථීර තීරණයකට එන්න අමාරුයි..මෙහෙම කල්පන කරනකොට ෆයිල් කඳක් උඩ මට නින්ද යනවා... කවුරුහරි ඇවිත් ඇහැරවනකන් මම නිදි....


ඔෆිස් එකේ අයගේ බැනුම් , ඇනුම්පද වගේම නක්කලේට කටින් දඩස් ගාලා බිමට වැටෙන හිනා ෆයිල් කන්ද පහුකරගෙන ගොඩ ගැහෙන්න පටන් ගත්තා...මට විසඳුමක් හොයාගන්න අමාරු වුනා..විසඳුමක් කියන්නේම ප්‍රශ්නයක් නෙහ්... රෑට විතරක් අවදියෙන් ඉන්න මොළයකට දහවල් ජීවිතය නීරස වෙන්න පටන් අරගෙන තිබුණා....මාව රෑ නින්ද අතහැරලා ගියා වගේම මමත්, ජීවිතේ කොටසින් කොටස මඟ දිගට අතහරිමින් ඉස්සරහට ගියා...


ඉස්සරහට කිව්වාට ඉස්සරහට නෙමෙයි... ඒත් පිටිපස්සට කියලා කියන්නත් අමාරුයි!!!


එයා මාත් එක්ක කතා කරන එක නවත්තලා දමමින් හිටියා...මට කතා කිරීමේ උවමනාව නැති වෙලා තිබ්බ නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වුනේ නෑ... මම ගුණසේන එකෙන් අරගෙන එන පොත් රෑ එළිවෙනකන් කියවන එක එයාට නිදා ගන්න බාධාවක්ය කියලා එයා අමුත්තන්ගේ කාමරේට නිදා ගන්න ගියා...එයා යනකොට එයාට මම මහලා දුන්න රතු පාට කොට්ට උරය අමතක වෙලා දාලා ගිහින් තිබුනත්, ඔව්, මම ඒක ආපහු ගිහින් දෙන්න උත්සහ කරන්න කම්මැලි වුනා...මම කෑම උයන එක නවත්තලා කඩෙන් කන්න පුරුදු වුනා...එයා කොහොම කෑම කනවද කියලා හොයලා බලන්නවත් මම එයාව ඊට පස්සේ දැක්කේ නෑ....මට එයාව හොයාගෙන යන්න ඔනි වුනා..මම එයාට ආදරේ කලා... ඒ වගේම තවමත් කරමින් ඉන්නවා...


ඒත් මම හොයාගෙන ගියේ නෑ...

මට යාලුවෙක් කිව්වා මනෝවෛද්‍ය විද්‍යාවේ තියෙනවා කියලා මෙහෙම නින්ද යන්නේ නැති එකට බෙහෙත්...මම ගිහින් බෙහෙත් ගත්තා... භාවනා කරන්න කිව්වාම භාවනා කලා..ඒත් නින්ද නොයෑම එහෙම්මම ඉතිරි වුනා!!


එයා ආපහු ආවා... අමුත්තන්ගේ කාමරයේ මදුරු දැළ නෑ කියලා මගෙ මදුරු දැළ ඉල්ලගන්න..මම කිව්වා ආයිත් මාත් එක්කම නිදාගමු කියලා..එයා මුකුත්ම නොකියා ඇවිත් නිදා ගත්තා...මම එයාට තුරුල් වුනා...ආදරෙයි කිව්වා...එයා හිනා වුනා..එච්චරයි!!
*******************************************
මම තවම අවදියෙන්...තව ටිකකින් එළිය වැටෙනවා...එයත් මාරි බිස්කට් කිරි කහට වල පොඟවගෙන කන ගමන් මම ගෙනාපු පොතක් කියවනවා...තව ටිකකින් අපි දෙන්නම ඔෆිස් යන්න ඔනි... මම උයන්න ඔනි... ගේ අස්පස් කරන්න ඔනි...එයාගේ ඇඳුම් ඉස්තිරික්ක කරන්න ඔනි...මම එයාට තව මාරි පැකට් එකක් කඩලා දීලා කුස්සියට ගියා...



"බබා ලුණු බෝතලේ උඩ කබඩ් එකේ"


එයා ගාණක් නැතිව එහෙම කියලා නිහඬ වුනා..






Comments

Popular Posts