හිතළු ii

 ඔයා දන්නවාද.. මම ආදරේ කරන්න පටන් ගන්න බය වෙලා හිටියේ ඇයි කියලා.. මම ආදරේ කරන්න පටන් ගත්තාම මාව අන්ධ වෙලා යනවා..මම ආදරේ කරන කෙනාව හැරෙන්න වෙන කිසිමදෙයක් පේන්නේ නැති වෙලා යනවා... අන්න එහෙම අන්ධ වෙලා ගියාම ආදරේ කරන කෙනාගේ අත මට අල්ල ගන්න උවමනායි.. ඒ අත අල්ලන් කොහේ කොතැනට යනවාද දන්නේ නැතිව පස්සෙන් යන්න මට පුළුවන් වෙනවා.. මම මෝඩ වගේම බොලඳ වෙනවා.. මම ඔයාගේ අත අල්ලගන්න හදන හැම වෙලේම ඔයා අත අහකට ගසලා දාන නිසා මම ඉන්නේ මහ කළුවරක අතරමං වෙලා.. මට ඒ කළුවරෙන් එළියට එන්න තේරෙන්නෙ නෑ.. ඔයාට මම කොයිතරම් හයියෙන් කතා කලත් ඇහෙනව ද කියලවත් මම දන්නේ නැහැ.. ඔයාට මගේ අත අල්ලගන්න බැරි තරම් මගේ අත් හීතලයි ද?


වෙලාව ගෙවිලා ගෙවිලා ගිහින්, ඒත් මම තවමත් ඔයා එනකන් බලාගෙන ඉන්නවා.. ඉර බැහැලා ගිහින් එකින් එක වීදි ලාම්පු පත්තු වෙනවා පෙනුනත් මගේ හිත කළුවරයි, අඳුරුයි..ඔයා කීපසැරයක්ම බිඳලා දාපු හිත කෑල්ලෙන් කෑල්ල අලවන ගමන් ආයිමත් ආයිමත් ආදරේ කරන්න උත්සහ කරන එක, ඔයා ආයිමත් ' අත්වැරදීමකින්' හිත පුංචි තරු ගොඩකට කඩලා බිඳලා දාන එක, ඒ දේවල් වලට මට දුක හිතෙන එක වැරදිද..


තව ටිකකින් වහින්න බලන් ඉන්න අහස, මම හනිහනික ගෙදර යනකන් අහසින් බහින්නේ නැතිව බලාගෙන ඉන්නවා ද මන්දා.. මම දන්නේ නෑ ඔයාට බාගදා ආදරේ කරන විදිහ මේක වෙන්න ඇති කියලා මට හිත හදාගන්න ඔනි..  ඒත් ඒම නෙමෙයි නම්, මම ආයිමත් ආයිමත් රැවටෙනවා නම්..


ඔයාට පුළුවන් නම් මේ දවස ගෙවෙන්න කලින් එන්න.. ආයිමත් හිත කුඩුපට්ටම් නොකර ඉන්න, මට එතකොට හිනා වෙන්න පුළුවන් වේවි, බාගදා..




Comments

Post a Comment

Popular Posts