හිතළු

 බූසාන් ග්‍රීස්ම කාලයේ පසුබිම් වාදන වගේ රැයක් දවාලක් නැතිව ඇහෙන රැහැයි සද්දෙන් කන් අගුල් වැටෙන තරම්.. උදේ අටටත් තියෙන ලංකාවේ දවල් දොළහට වගේ ගිනියම් රස්නෙ දරාගන්න බැරිව මගේ කැරළි කොණ්ඩේ අස්සෙන් පේරිලා එන දාඩිය මූණ දිගේ පල්ලම් බහින්න පටන් අරන්.. අහස් නිල් පාට කමිසයට යටින් ඇඳපු මුහුදු පෙණ පාට කමිසයේ තැනින් තැන දාඩිය පැල්ලම් මතු වෙලා.. කුඩේ ඉහිලන්නෙ නැතිව අඩි තුනක් විතර දුර ගිහින් අව්ව කාස්ටකේ දරාගන්න බැරිම තැන මම කුඩේ ඉහළ ගත්තා..

ලැබ් එකට යන පාර දිගටම තියෙන්නේ පුංචි කාමර තියෙන තට්ටු තට්ටු උඩට ගොඩ ගැහිච්ච ගොඩනැගිලි.. පාර දිගටම තියෙන කොරියන් අකුරු වලින් තියෙන බෝඩ් කියවන එක මට පුරුද්දට ගිහින්, කණ්නාඩි දෙක පිහදපිහදා මම පුංචි කොරියන් අකුරු කියව කියවා හෙමින් හෙමින් ලැබ් එකට යනගමන්, ශන්කර්ට රෑ දෙගොඩ හරියේ යවපු කෙටි පණිවිඩය දිහා මම  සැරෙන් සැරේ බලන්නේ ඒ පණිවිඩය කියවලා උත්තරයක් එවන්න තරම්වත් මාව වටින්නේ නෑ ද කියලා හිතන ගමන්.. පණිවිඩේ යවපු වෙලාවත් මේ වෙනකොට වෙලාවත් හිතින් ගණන් හදලා මෙච්චර පැය ගාණක් ගන්නේ ඇයි කියන එකට හිතින් මම හේතු හදන්න පටන් ගන්නවා.. බාගදා එයාට හදිස්සියේම කරලා ඉවර කරන්න ඔනි පරීක්ෂණයක් වැටිලා ඇති, බාගදා එයාට දවසම වැඩ කරලා මහන්සියට නින්ද ගිහින් ද කවුද දන්නේ, බාගදා බාගදා....


උඩු හිතින් කොයිතරම් සාධාරණය කරන්න හැදුවත් යටි හිත හෙමින් උඩ හිත කොනිත්තලා "බාගදා එයාට ඔයාව වැඩක් නැතිව ඇති" කියලා කියනකොට ලැබ් එකට යන පාරේ චෙරි ගස් හෙවනේ තියෙන ඔංචිල්ලාව ගාව වාඩි වෙලා අඬන්න හිතෙන එක වැරැද්දක් කියලා මට හිතෙන්නෙ නෑ.. පොඩ්ඩක් වෙලා නැවතිලා අඬලා මූණ සෝදගෙන ලැබ් එකට ගිහින් එක දිගට මුකුත්ම නොවුන ගාණට වැඩ කරන්න මට පුළුවන් විත්තිය මම දන්නවා..


අවසාන වතාවට අපි හම්බුනේ ගිනි ගන්න තරම් රස්නේ ගිම්හානයේ රෑක.. අව්ව සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා ගිහින් තිබ්බත්, මගේ අතේ තිබ්බ ඔක්කෝම ටිශූ කොළ ශන්කර් ගේ දාඩියෙන් පෙඟෙන්න තරම් රස්නයක් ඒක.. ඉන්දියන් කෑම කඩේකට ගිහින් වාඩි වෙලා කතා කරන්න තීරණය කලේ සමහරවිට බඩගින්න වගේම රස්නෙන් බේරෙන්නත් එක්කම වෙන්න පුළුවන් කියලා මට පස්සේ නිවී හැනහිල්ලේ හිතන වෙලාවක හිතුනා.. 


කෑම මේසෙට එනකන් මම ශන්කර්ගේ අත් දෙකම අල්ලන් ඇහුවේ "ඔයා මට ආදරේ ද" කියන එක.. උත්තරය විදිහට "ඔව්" මිස වෙන කිසිම උත්තරයක් බාරගන්න මගේ හිත සූදානම් වෙලා හිටියේ නැහැ.. මට එයාගේ දිහා කොයිතරම් වෙලා බලන් හිටියා ද කියලා නිච්චියක් නෑ.. කාලය අපි දෙන්නා අතර ඝනකම තාප්පයක් හදමින් හිටියා වගෙ දැනුනේ..


"අපි තාම කතා කරනවා නෙහ්.. අපි දෙන්නා අපි දෙන්නාට ගැලපෙනවා ද කියලා මම තාම දන්නේ නෑ නෙහ්"


ඇස් වලට කඳුළු පිරීගෙන ආවත්, අඬන්නේ නම් නෑ කියලා මම මට කියාගත්තා.. කඳුළු එක්කම ගොරහැඬි වීගෙන ආපු උගුර හෙමින් රැල්බුරුල් ඇරලා "අපි දැන් කතා කරන්න පටන් අරන් ගොඩක් කාලයක් නෙහ්.. ඔයාට මට ආදරේ හිතෙන්නේ නෑ නම් ඒකට මම ඔයා එක්ක තරහ වෙන්නේ නෑ" කියලා කියාගන්න මට පුළුවන් වුනා..


"ආදරේ නැහැ කියලා මම කිව්වේ නැහැ නෙහ්...ඒත් සම්බන්ධයක් වෙන්න නම් ආදරේ විතරක් තියලා ඇති වෙයි ද?"


හෙමින් හෙමින් පපුව හීරෙනව වගේ දැනෙන්න පටන් ගත්තා.. එයා මහ විසාල ප්‍රශ්න කන්දරාවක් එකින් එක කියන්න ගත්තා.. අඬන්න බැරිව හිරකරන් ඉන්න දුක මගේ මූණෙන් පේන්නේ නෑ කියලා අනුමානයෙන් එයා කියන දේවල් අහගෙන හිටියේ අමාරුවෙන්.. ඒ කියපු හැමදේම වල්පල් වගේ හිතේ රැඳෙන්නේ නැතිව ලුහුටලා ගියේ, එයාගේ ඇස් වල ආදරේ තියේද නැද්ද කියලවත් මට නොපෙනෙන කොට ඒ දේවල් මට මොකට ද කියලා හිතිලා වෙන්න ඔනි..


කෑම කාලා ඉවර වුනාම අපි දෙන්නාටම එයාගේ කැම්පස් එක බලන්න මහ රෑම යන්න ඔනි වුනා.. ඒ කැම්පස් එක තියෙන්නේ විසාල කන්දක.. එයා මාව එක්කන් ගියේ පුංචි කඳු ගැටයක් උඩ තියෙන සාප්පුවකට.. ඒ වෙනකොටත් සාප්පුව වහලා තිබ්බත්, එතන බිම දිගා වුනාම මුළු අහසම හොඳටම පේනවා.. බූසාන් කියන්නේ නගරයක් නිසා තරු අහසේ පේන්නේම නැති තරම්.. ඒත් එදා සෑරෙන් සැරෙන් තරු එකින් එක බොහෝම මළානික එළියක් පිට කරන ගමන් අමාරුවෙන් අහසේ එල්ලිලා ඉන්නවා පෙනුනා.. එයා මට තරු දෙක තුනක් පෙන්නන ගමන් හෙමින් මගේ උරහිසට ඔළුව තියාගෙන හිටියා... උරහිස හිරිවැටිලා තිබුනත් මට හෙල්ලෙන්නවත් ඔනි වුනේ නෑ.. මගේ හිත බිඳිලා ගිහින් තිබුනේ.. "ඔයාට මාව වටිනවා ද ශන්කර්.." මම එහෙම බොලඳම බොලඳ ප්‍රශ්න අහන කෙනෙක් නොවුනත් ,ඒ වෙලාවෙදි ඒ ප්‍රශ්නේ මට මහ බැරෑරුම් ප්‍රශ්නයක්.. මගේ ජීවිත කාලයෙන් කාලය වැයකරන මනුස්සයාට මාව වටිනවා ද නැද්ද කියන එක ගැන මම දැන ගන්න උවමනා නැද්ද.. " ඔයාව මට වටින නිසා නෙහ් මම මේ වෙලාවේ ඔයා එක්කම ඉන්නේ", ඒ උත්තරේ ඇල් වතුර වගේ ගලාගෙන ගිහින් රස්නේ පොළවේ වාස්ප වෙලා ගියා මිසක්, මම බලාපොරොත්තු වුන උත්තරේ නෙමෙයි..


එයාට මාව බලන්නවත් කතා කරන්නවත් වෙලාව හොයාගන්න අමාරු වගත්,තරහ ගන්න මට අවසරයක් කිසිසේත්ම නැති වගත් කියලා ඊයේ මට එවපු කෙටි පණිව්ඩියට මම යවපු දිගම දිග උත්තරයට තවමත් පිළිතුරක් නැති එක ගැන දුක හිතෙන එක හරිම සාධාරණයි කියලා මට හිතෙනවා.. ආදරේ ද නැද්ද කියලාවත් දන්නෙ නැතිව, මෙතනින් එහාට මට පාවෙලා යන්නවත්, නවතින්නවත් දෙන්නේ නැතිව, අභූත තැනිතලාවක මාව අතරමං කරලා, එයා නොපෙනී ගිහින් කියලා කිව්වොත්, මම ඇත්තටම දන්නේ නැහැ ඒක හරිද වැරදිද කියලාවත්..


"මම ආයිත් කතා කරන්නේ නැහැ එයත් එක්ක.." මගේ යාලුවන්ට එහෙම කිව්වාම, ඒක තමා හොඳම තීරණය කියලා එයාලා ඔක්කෝම එක තීරණයක ආවා.. ඒත් මම තාම එයා මගේ දිගම  දිගම පණිවිඩයට උත්තරක් එවයි කියලා , නත්තල් සීයාට ලියුම් යවලා උත්තරයක් එනකන් බලන් ඉන්න අවුරුදු විසි අටක මෝඩ ළමයෙක් වගේ බලාගෙන ඉන්නවා.. හොඳටම දුක හිතුනත් මම බලාගෙන ඉන්නවා..




Comments

Post a Comment

Popular Posts