පෙබරවාරියේ සටහන්

 රොබරෝසියා පිපෙන්න පටන් අරගෙන.. ජනේරුවේ සීතල හෙමින් ඈතට පාවෙලා යනකොට, විජේරාමයේ ඉන්න රොබරෝසියා ගස්, කොළ පාට කබාය ගලවලා, ළා රෝස පාට කබායක් පොරවගන්නවා.. මීට අවුරුදු හතරකට කලින්, කැම්පස් ආපු මුල්ම දවස් වල, පොත් අස්සේ දාපු රොබරෝසියා මල් ඉලඟ බැජ් එකට අතින් අතමාරු වෙලා ගිහින් දැන් කොහේ කොතැනක නතර වෙලා ඇද්ද කියලා හිතා ගන්නවත් අමාරුයි.. ඒ රොබරෝසියා දිහා බලාගෙන, පළවෙනි වසරේ  මවපු පුංචි හීනයක්, අන්තිම වසරේ අන්තිම දවස් ගෙවමින් ඉන්න කාලෙක ඔයා ඇවිත් හැබෑ කරනවා..


දුක හිතුනාම බර වෙන්න උරහිසක්, සතුටු හිතුනාම තුරුල් වෙන්න පපුවක්, ඇස් හීනි කරලා හිනාවෙන ඇස් දෙකක්.. ලොකු ලොකු හීන ආදර ගිණුමට කවමදාවත් බැර වුන දේවල් නෙමෙයි.. "මට ආදරේ නම්, මාව විස්වාස නම් ඊට එහා මුකුත් ඔනි නෑ" කියන දේ මන්තරයක් වගෙ හිත යටින් කියමින් අවුරුදු විසි පහක් ගෙවිලා ගියත්, එකසිය අට වාරයකට වඩා මිමිණුනත්, හැබෑ වෙන්න විසාල කාලයක් ගිය එක ගැන දුකයි.. කාලයක් ගිහින් හරි හැබෑ වුන එක ගැන සතුටුයි..



විස පිරුණ සම්බන්ධතා ගොඩකට පස්සෙත්,  "ආදරේ විස්වාස කරන්න" මට උවමනායි.. සිය වතාවක් හදවත කෑලි කෑලි වලට කැඩුනත්, එකසිය එක් වෙනිවතාවෙදි එහෙම නොවෙයි කියලා විස්වාස කරන්න මට පුළුවන්.. ආදරේ කියන්නේ විසාලම විසාල විස්වාසයක් කියන එක  එක හිතින් අදහන එක මෝඩකමක් ද මන්දා.. ඒත් මම ආදරේ කරන්නේ එහෙම..



මට ඔයාගේ හිතේ පැසවෙන තුවාල පේනවා.. ඒ තුවාල ඉක්මනින් හොද වෙන තුවාල නොවෙන විත්තිය මම දන්නවා.. ඒ තුවාල වලට පුංචි හුලඟක් වැදුනත් රිදෙනවා කියලා මම දන්නවා.. ඔයාගේ තුවාල හොඳ වෙනකන් ඉවසීමෙන් මට බලාගෙන ඉන්න පුළුවන්.. අලුතින් ඔයාගේ හිතේ තුවාල ඇති නොවෙන්න වගබලාගන්න මට පුළුවන්..  ඒත් ඔයාගේ හිතේ දැනටමත් තියෙන තුවාල පෙන්නලා, ඒ වගේ තුවාල මම ඇති කරාවි කියලා ආයිමත් ආයිමත් කියනකොට, වලාකුළු හතකින් බිමට කඩාගෙන වැටෙන්නේ මම.. මම දන්නේ නෑ ආදරේ කරන කෙනා එක්ක තර්ක කරන්න.. ආදරේ ප්‍රශ්න කරන්න.. සමහර වෙලාවට අඬන්නවත්.. මම දන්න එකම දේ, මම ආදරේ විත්තිය විතරමයි..



ඔයාට නොකිව්වාට,මේ ගෙවීලා යන්නේ ඔයාට වගේම මටත් අමාරුම අමාරු කාලයක්.. සමනල කන්ද තරම් විසාල වැඩ තොගයක් තියාගෙන, ඒ වග නොපෙන්වා ඔයා ගාව ඉන්නේ, ඔයා ගාව ඉන්න එක සැනසීමක් නිසා.. සමහර මිනිස්සු ලඟ ඉන්න එකම හරියට විසාල නුග ගහක් යට ඉන්නවා වගේ.. ඔයත් මට විසාල නුග ගහක්.. හෙවනයි සිසිලයි එක්ක සැනසීම අරන් එන..



මට රණ්ඩු කරන්න දන්නෙ නෑ.. සයන්ස් කරපු ළමයෙක් වුනත්, තර්ක කරකර මම හරි, ඔයා වැරදි විත්තිය ඔප්පු කරන්න තරම් හයියක් නැහැ.. මට ජීවිතේ හරිම මහන්සි.. මට ඔනි සැනසීමේ ඉන්න, හිනා වෙන්න, කතා කරන්න,ආදරේ කරන්න.. කිසිම දෙයක් කතා නොකර පවා ලඟට වෙලා ඉන්න..


ඔයා ආදරේ අමාරුවෙන්, වෙහෙසිලා කරන්න ඔනි නැහැ.. ඔයා ලඟින්  හිටන් හිටියත්, ඒ හොඳටම ඇති..





Comments