ඒ රහස් කුටිය..



අගුල් දා ඇත කවුළු,

ඇතුළත පිටට නොපෙනෙයි,

ඉර ගිනි ගනිද්දී පවා

මද අඳුරකින් සැරසෙයි.



දක්ෂිණාවර්තව කැරකෙන 

ඇතුළත හඬ ගිලින පංකාව,

ඔබේ සුවඳ ඉහිරිලා පෙඟී ගිය

මා නිදන පැරණි ඇඳ ඇතිරිලිය..


අගුල් දාගත් පසු ඇතුළතින්

කාලය සෙමෙන් ගෙවෙන

ඇබින්දන් ලෝකයක් ඉපදෙයි.


ඔබ උරහිස තැනිතලාවකි,

මා ළය ඔබට උණුසුම් කබායකි,

ආදරේ යැයි නොකියනා තප්පර නැති,

ඔබ තුරුල්ලම විසල් කතාවකි.



ඔබ පිටව යනවිට

මේ රහස් කුටියෙන්,

දැවෙයි හද, රිදෙයි ඇස් කෙවෙනි,

අතින් අල්ලා නවත්තනු නොහැකි,

දිනකට හෝ වෙන්වීම

දරන්නට බැරි දුකකි.



ආදරේ ඉතිරිලා වැගිරෙන

ඇස් වලට එබිඑබී සිඹිමි,

රහස් කවුළුවෙන් එපිට, අපට,

ආදරේ නම් තහනම් වචනයකි.

Comments

  1. ඔව් ඉඟුරු දෝසි! ඒ නම ගැලපෙනවා!

    ReplyDelete
  2. ඔව් මටත් ඒ ආදරේ තහනම් වචනයක් 😌

    ReplyDelete

Post a Comment

Popular Posts