වෙහෙස සටහන්..

සමහර වෙලාවට, ජීවිතේ කොච්චර වෙහෙස ද කියලා දැනෙන කොට, තනියම ඇවිදගෙන යන්න බැරි තරම් කාලය ජීවිත දුර්ගයේ ශුෂ්ක  දුෂ්කර බෑවුම් හදනකොට, තප්පර අරික්කාලක් හරි හැමදේම අමතක කරලා ඇස් දෙක වහගෙන, හිතේ හැටියට හුස්මක් අරගෙන, උරහිසක ඔළුව තියාගෙන ඉන්න තිබ්බා නම් කියලා හිතෙනවා... ඒත්, ලෝකය ගෝලාකාර නිසාත් ලංකාව ගොඩාක් පොඩි දූපතක් නිසාත්, සමකයේ මිනිස්සු නිතරම දැවෙමින් ඉන්න නිසාත් ඒ හිතුවිල්ල හිත අස්සේම වැලලිලා යන්න දෙනවා...


ඒත් වලාකුළු හුලඟට ගහගෙන ඈතට යන දිහා බලාගෙන,කැම්පස් එක ඉස්සරහ ඉඳගෙන, ඉවර වෙච්ච විභාග ප්‍රශ්න පත්තර වලින් මාවම මම මුදවගෙන, හිත අස්සට එබිලා බැලුවම, හීන වලදාපු තැන් වල පිපුන මල් පේනවා.. එතකොට ලැවෙන්ඩර් සුවඳින් දුක හිතෙන්න පටන් ගන්නවා..


මිනිස්සු කියන්නේ කොච්චර සංකීර්ණ සත්තු ජාතියක්ද කියන එකට හොදම උදාහරණය සීතලට හමාගෙන යන හුලඟ ගැන හදන සැහැල්ලු ගණන් වල පවා දෙපාරක් අවකලනය කරන්න ඔනි කියලා නියමයක් දාපු එක... අනුකලනය අවකලනය, හුස්ම ගන්න යාන්ත්‍රණ මහ ගොඩක් ගැන දැනගෙන හිටියත්,හදවත බෝ කොළයක් වගේ නෙමෙයි අඹ ගෙඩියක් වගේ කියන එක හොදටෝම දැන දැනත් , මම තවමත්, බෝ කොළයක් හැඩයට පාඩම් පොත් වල කෙළවර හදවතක් අදින්න ආසයි..ඒ ඇයි කියන්න මම දන්නේ නෑ..


මට හොදටම මහන්සි දැනුනමත් කවුරුත් මට නවතින්න කියන්නේ නැති වුනාමත් මට දුක හිතෙනවා... අනාගතේ කියන්නේ කළු කුහරයක් වගේ දෙයක් නේද කියලා දැනෙන කොට මට බය හිතෙනවා... අනාගතේදී මම  තනියම ඉන්නේ කොහොමද කියන එක ගැන මට සැකයක් බයක් නැති වුනත්...මම තනිකමට බයයි...


නමක් ගමක් වාසගමක් අමුණලා, කවුරු හරි වෙනුවෙන් ලියන සටහනක, දිගට දිගට  ලියාගෙන යන කාගේ හරි කතාවක අගිස්සක, මම මාව අමුණලා බලන්න ආසයි..ඒත් මටත් රේස් එකක් දුවන්න වෙලා...කකුල් නැත්නම් අත් දෙකෙන් හරි, අත් නැත්නම් බඩගාගෙන හරි දුවන්නම වෙනවා...නැතන්ම් අපිව පොඩි වැහි බිංදුවක් වගේ පොළවට වැටිලා චප්ප වෙලා යනවා..


අන්තිමට ජීවිතේ කියන්නේ මේ ජීවත් වෙන,මේ ගෙවිලා යන තප්පර ගාණ නේද කියලා ඉගෙන ගන්න තරම් පරිනත වෙනවා..සමහරු වේලහන පරිනත වෙනවා..එයාලා බොහෝම දීප්තිමත් පහනක් හදවතේ දල්වගෙන නිහඬව නික්මෙනවා..තව අය අවුරුදු සීයක් ගියත් හදවත දල්වාගෙන එළියක් වෙන්න ඉගෙන ගන්නේ නෑ..එයාලව අඳුරු වෙනවා.. ඒක ස්වභාවය.. ස්වභාවධර්මය ලස්සන කිසිම දෙයක් සර්වසම්පූර්ණ නැති නිසා කියලා මම විශ්වාස කරනවා..ආදරේ වුනත් එහෙමයි.. පූර්ණ ආදරය උච්චම අවස්ථාවෙන් පස්සේ මහ කම්මැලි සිංදුවක් වෙලා යනවා.. ආදරේ ඔක්කෝම ටික එක සැරේට දුන්නාමත් එහෙමයි..


සැර කෝපි සුවඳත් එක්ක අපිළිවෙල බෝඩිමක ඉදගෙන,ඉලඟ දවස ගැන,ඉලඟ දවසෙන් පස්සේ දවස් ගැන පොඩි කොළ කෑලි වල පොඩි සටහන් ලියපු කොළ දිහා බලාගෙන ඉන්න එක හිතට සැනසීමයි.. ඒ හැම සැලසුමකම ආදරේ පිරිච්චි ඇස් දෙකකුයි වෙහෙස  නිවන්න පුළුවන් උරහිසක් ගැනයි පුංචි නමක් නැති කවියක් තියෙනවා..


Comments

  1. ඇත්තෙන්ම හරිම වෙහෙසයි...

    ReplyDelete
  2. මං මගෙ කතාව වෙන කෙනෙක්ගෙන් කියෙව්වා වගේ...
    ලස්සනයි ♥️

    ReplyDelete

Post a Comment