තාත්තා _____

සමදරාගේ කිරි කහට කෝප්පේ වැටිච්ච කළු කූඹියෙක්ගේ මිණියක් කිරි කහට ගොඩේ ගිලිලා රවුමට රවුමට පාවෙනවා...කාටවත් කිරි කහට කෝප්පෙක වැටිච්ච කූඹියෙක් ගැන වද වෙන්න උවමනාවක් තිබ්බේ නෑ.. සමදරා කලෙත් සීරුවට සුලඟිල්ලෙන් කළු කූඹියාව කෝප්පෙන් අහකට විසිකරපු එක...




අපේ අප්පච්චිට සිද්ද වුනෙත් ඒකම තමා..




එතකොට මට අවුරුදු හතයි... අවුරුදු හතෙන් රහත් වෙච්ච හාමුදුරුවෝ හිටියාට, ඒ වයසෙදි මට හරියට "අ" යන්න ලියාගන්නවත් බෑ... ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් ගල් කූරෙන් කළු ලෑල්ලේ "අ" ලියලා කොච්චර පුරුදු වුනත්, එක්සයිස්  පොතේ සුදු කොළ වල මට අකුරු ලියාගන්න බැරි වුනා.. මම ලියන අකුරු සුදු පාට කොළේ ඇතුළේ ගිලිලා අතුරුදහන් වෙලා යන හැටි බලාගෙන ඉන්න මට සිද්ද වුනා..




මට මතකයි අම්මා අගුණ කොළ මිටියක් වම් අතට එක මිටට අරගෙන  කොස් ලී කොට  බංකුව උඩ ඉඳගෙන චිරිස් චිරිස් ගාලා ලියලා තාත්තාට කියලා හදන තද කොළ පාට මැල්ලුම.. අද වුනත් අඟුණ කොළ සුවඳ එක්ක එන මතකය අයිති තාත්තාට... රතු කමිසය ඇඳලා රතු තොප්පිය දාලා හතේ කෝච්චිය අල්ල ගන්න තාත්තා නැගිටින්නෙ පහට පැය කටුව ආවාට පස්සේ.. තාත්තා නැගිටින කොටම මමත් නැගිටලා තාත්තා වැඩට යන්න ලෑස්ති වෙන හැටි බලාගෙන ඉන්න එක මගේ පුරුද්දක්...අම්මා ගෙදර හින්දපු තැඹිලි තෙල් අහුරක් ගාලා පස්සට කරලා පීරණ කැරළි කොණ්ඩය අම්මා ඇවිත් අතගාලා තාත්තා වටේ කැරකි කැරකි ඉන්නවා ටිකක් වෙලා..ඒ ඇයි කියලා මට අදටත් හිතා ගන්න අමාරුයි.. තාත්තා නැති වෙලා මහා කාලයකට පස්සේ වුනත් ඒ ඇයි කියලා අම්මාගෙන් අහපු ප්‍රශ්නෙට හම්බුන එකම උත්තරේ හිදැස් දත් පෙන්නලා හින වෙච්ච එක විතරයි... 




තාත්තා වැඩට අරගෙන යන මල්ලේ හැමදාම වගේ විසාල පොතක් ( ඒ පොතේ නම යුද්ධය හා සාමය කියලා පස්සේ කාලෙක මම දැන ගත්තා) අම්මා බැදලා දෙන බත් මුල වගේම පුංචි කොපි පොතක් තියෙනවා.. ඒ කොපි පොතේ ඉස්සරහ පිටුවක තාත්තා එක පෝළිමට ලියපු වචන තිබ්බා. ඒ වචන වලට තාත්තා කිව්වේ "කවි" කියලා.. ඒ කවි ඉස්කොලේ අච්චු පොත් වල තියෙන තාලෙට කියන පාරු කවි , ඔංචිලි වාරම් වගේ ඒවා නෙමෙයි.. නිකන් පෝළිමක් වගේ වචන...සටපට ගාලා වහින වැස්සක් වගේ කඩාගෙන වැටෙන...




තාත්තා වැඩට යන්න කලින් මාව බදාගෙන ඉඹිනවා.. තාත්තා ගැන තියෙන ලස්සන මතකයකට තාත්තා පොන්ඩ්ස් පවුඩර් සුවඳක් එකතු කරන්න හිතාගෙනද මන්දා ඒ හැම දවසකම තාත්තා ගාවින් ආපු පවුඩර් සුවඳ ,තාත්තා කියන වචනෙත් එක්ක ගහගෙන අදටත් මට දැනෙනවා.. තාත්තා වැඩට යන්න දිග අඩි තියා ඈතට ඈතට හයියෙන් හයියෙන් යන හැටි මම ගෙදර බිත්තිය කණුවක් බදාගෙන බලාගෙන ඉන්නවා.. 




ඒ වගේ තාත්තා සුවඳ මතකයක් හාදුවක් එක්ක මගේ ලඟ තියලා ගිය සිකුරාදා දවසක, අපිට ඉස්කොලේ කියලා දුන්නේ හරි අමාරූ අකුරක් වෙච්ච යංසය ලියන හැටි..."අ" ලියන්න බැරි මට මොන "යංස" ද අයිසේ කියලා හිතෙනවා ඇති නේද..ඒක නම් ඉතින්  ඇත්ත..  ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකේදි මහප්පා අපේ පංතිය ගාවට ඇවිත් ටීචර් එක්ක මොනවදෝ කතා කරලා මගේ අතින් අල්ලගෙන එලියට එක්කන් ගියත් ඇයි එහෙම එක්කන් ගියේ කියලා මට කියන්න එයාට උනන්දුවක් තිබ්බේ නෑ.. මම හිටියේ යංසයෙන් ගැලවිලා ආපු සතුටත් එක්ක නිසා මට අහන්න ඔනිකමක් තිබ්බේ නෑ..




මහප්පාගේ අත වෙව්ලනවා දැනිච්ච නිසයි ඇස් දෙක දිහා ඉබේ බැලුනේ.. එයාගේ ඇස් රතු පාට වෙලා කඳුළු සටපට ගාලා කඩාගෙන වැටෙනවා...මහප්පා අපි අඬන කොටත් වේවැල අරගෙන බය කරනවා "ගෑනු අඬන්නේ පිරිමි අඬන්නේ නෑ" කියලා.. එහෙව් මහප්පා මෙහෙව් විදිහට අඬනකොට මට බය හිතුනා.. ගෙදර ලඟටම එනකොට තමා දැක්කේ ගේ ඉස්සරහා ලොකු සුදු කොඩියක් දාලා තියෙන  විත්තිය..




තාත්තා මැරිලා..




අම්මා හිටියේ කොණ්ඩේ කඩාගෙන යටි ගිරියෙන් කෑ ගහන ගමන්.. නැන්දලා පුංචිලා පුළුවන් තරම් අම්මාව නවත්ත ගන්න හැදුවත් ඒක කාටවත් කරගන්න පුළුවන් වුනේ නෑ..මිණිය සිකුරාදා දවස් වල ගෙවල් වලට ගේන්න බැහැය ඒ නිසා රෑ දොළහ පහුවෙනකන් ඉන්නය කියලා මහප්පා මට කියලා ඈතට ඈතට යන්න ගියා.. මම හිටියේ ගෙදර මුල්ලක තනිවෙලා..




තාත්තා ඇඳලා හිටියේ ජාතික ඇඳුම.. රතු කමිසයට වඩා එයාට ජාතික ඇඳුම හැඩයි..කොණ්ඩේ පස්සට පීරලා පෙට්ටය ඇතුළේ හිනා වෙලා තාත්තා හිටියා.. ඒත් හැමොම අඬනවා.. " මේ ළමයට මෙලෝ ගාණක් නෑ.. අඬන්නෙවත් නෑ" කියකියා මිනිස්සු මට ඔරවනවා..මම දැනගෙන හිටියේ නෑ මැරෙනවා කියන එක...මම හිටියේ පුදුම වෙලා..




ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වෙච්ච පොඩි පුංචි අම්මා තමා කිව්වේ මැරෙනවා කියන එක හැමෝටම වෙන දෙයක් කියලා.. තාත්තා මැරිලා නෙමෙයි මරලා කියලා කිව්වේ නම් අල්ලපු ගෙදර සුදනා ඇන්ටි...තාත්තාව මරලා තාත්තාගේ මිණිය කළු ගඟට තල්ලු කරලා දාලා තියෙන කොට මිනිස්සු ඇවිත් ගොඩ අරගෙන තිබ්බේ.. තාත්තා දුඹුරු පාට කළු ගං වතුරේ රතු පාට කමිසේ ඇඳගෙන පාවෙනවා මට මැවිලා පෙනුනා.. එක තැන, එකම තැන වටේට වටේට... පාවෙනවා විතරයි...තාත්තාගේ පවුඩර් සුවඳ දියවෙලා ගිහින්.. කොණ්ඩේ  තෙල් වතුර උඩ දේදුණු පාටට පාවෙනවා..කාටවත් වද වෙන්න ඔනි වුනේ නෑ.. මැරිලා හරි මරලා හරි තාත්තා දැන් පාවෙන තැන ඇත්තටම නැති නිසා...




හරියට කූඹියා වගේ..පාවෙනවා.. පාවෙනවා.. ගොඩට අරගෙන අහකට විසි කරනකන්ම පාවෙනවා...




සමදරා තේක බීලා ඉවරයි.. දැන් අපි දෙන්නම යන්න ඔනි පොඩි පුතාව අරගන්න සුවිමින් පංතියෙන්.. ලේට් වුනොත් පුතාට අපි එනකන් බලන් ඉන්න වෙනවා..




Comments

  1. සුපිරියි ඉතින් ආයේ කියන්න දෙයක් නෑ.

    ReplyDelete
  2. +++++++++++

    ඔන්න මගේ කතාව. තවම ඉවර නෑ හැබැයි ..

    https://nuwanjayasuriya.blogspot.com/2018/05/blog-post.html

    ReplyDelete

Post a Comment