කිහිපදෙනක් වූ ඔබට ලියමි..

මම මට අහිමි වී යන අල්ලක් තරම් වූ ජීවිත  ඇබිත්ත, ඇහි පිහාටුවක තවරා ප්‍රාර්ථනාවක ගැට ගසා පා කර හමාරය... ප්‍රේමයේ විසල් අකුණු සැර ද, මෘදු සියුම් මකරන්ද සුගන්ධයද, නිසා විකසිත වන හදවතේ මල් උයන්,ඔබ ගිය දා පටන් අගුල්දා  ඇත්තේය...





ආදරේ විසල් ගිරි දුර්ගයේ මුදුනටම ආ පසුව,මේ පෙනෙන හරිත පැහැ කන්ස්සල්ලද,නොසන්සුන් මීදුමේ මායවද,අත්හල ඔබවද පැහැදිලිව පෙනෙයි...මා විශ්වයේ කුඩා හිදැසක්ව කවාකාර හුස්ම ගැනීම් ගනිමින් ප්‍රේමයේ නිවරැදිම ගණනය ගැන වෙහෙසෙමිනි..මම එය මා තුළින් මගේ සෙවනැලි වල නුඹේ පැහැයන් දකිමින්, හිස්කමිනි..




මම කඳුළක නුඹ දුන් පොරොන්දු තනුක කරමි..තනුක වූ පසුව ඒවා එතරම් සැර නැත...නුඹට මිදීමට පහසු ලෙස හදවතේ සියළු දොරවල් හැර දමා සුභ ගමන් යැයි කියන්නට තරම් මා දැනටමත් බොහෝ සේ වී ඇත්තෙමි.. ආදරේ යනු තටු කපා ලඟ තබා ගැනීම නොවන වග දැන් මා දනිමි..නුඹ යන්න.. 





නුඹ යනවිට ප්‍රේමයේ ගිරි හිසට මා රැගෙන පැමිණියාට තුති පිදිය යුතුය...ඒ වෙනුවෙන් නුඹට අවැසි කුඩා නොසැලකිලිමත් කවියක්ද? නැතහොත් සැන්දෑ වලාවක පින්තූරයක්ද??




Comments

Post a Comment