වයස..

නානකාමරේ ඇතුළෙන් ඇහෙන මුරුගසන් වරුසාවක සද්දේ ඉවසගෙන ඉන්න බැරිම තැන සරෝජි කපුරු සුවඳ සුදු පාට ඇද ඇතිරිලි එලපු ඩබල් ඇදේ පැත්තකින් හාන්සි වුනා...ඇස් දෙක තද කරලා වහ ගත්තත් කාමරේ ලයිට් වල එළියේ සැරට රතුපාට කහ පාට එළි එහා මෙහා යනවා පේනවා...





"I feel so tired amma.. I miss you.. call back you later "






සරෝජි අම්මාට වට්සැප් පණිවිඩයක් පා කලා... නානකාමරේ මුරුගසන් වරුසාවට තෙමිලා පෙඟිච්ච මුරුගයා සුදු පාට තුවායත් පටලවගෙන නානකාමරෙන් දොට්ට ඇවිත් කණ්ණාඩි මේසය ලඟ පොල් ගහක් වගේ හිට ගත්තා..





"තාම ඇඳුම් මාරු කලේ නැද්ද සරෝ...ගිහින් වොෂ් දාලා එන්න.. චූටි පුතා ක්ලාස් ගිහින් ආවම කෑමට එළියට යමු"






නිදුක් කණ්ණාඩියෙන් මං දිහා බලාගෙනම එක දිගට කියවගෙන යන ගමන්, තෙත කොණ්ඩ ගස් අස්සෙන් ඇඟිලි යවලා අලුත් මෝස්තරයකට කොණ්ඩේ හදනවා අවුල් කරනවා...නිදුක්ගේ වයසට යෑම වෙන්නේ අනිත් පැත්තට නේද කියලා කණ්ණාඩියෙන් පේන නිදුක් දිහා බැලුවම සරෝජිට හිතුනා... නිදුක්ගේ උරහිස් පළල් වෙලා ඇඟේ මස් තද වෙලා තරුණ පෙනුමක් ඇවිත් අලුත් නිදුක් කෙනෙක් වෙලා කණ්ණාඩියෙන් කොහේදෝ ඈතක් දිහා බලන් හිනා වෙනවා..






සරෝජී එයාගේ  රතු පාට තුවායත් අරගෙන නානකාමරේට ගිහින් දොර වහගත්තා... ජීවිතේ ඔනි තරම් නිදහස් තැන් හම්බුනත් ගෙදර නානකාමරයට වඩා නිදහස් තව තැනක් ගැන හිතා ගන්න අපි කාටත් අමාරුයි...සරෝජී ඇඳුම් එකින් එක ලිහා දාලා නානකාමරේ කණ්ණාඩිය ලඟ හිට ගත්තා..






කොණ්ඩේ තැනින් තැන  සුදු පාට වුණ කෙස් ගස්,තෙල් පාට නැති වෙමින් යන මූණට මතට වැටිලා තිබුණා..ඇස් යට කළු වෙලා..පුංචි පුංචි ඉරිතැලුම් ඇස් හීනී කරවලා තිබ්බා...'පුතාටයි දූටයි දෙන්නටම කිරි දුන්න නිසාද කොහෙද පපුව මෙච්ච එල්ලෙන්නේ' සරෝජී පියයුරු දෙක අත් දෙකෙන් පිරිමැද්දා... ' සීසා කරලා බබාලා ගත්තාම එන බඩ බහින්නේ නෑ' කියන කතාව මතක් වුනේ ඉස්සරහට ටයර් එකක් වගේ නෙරලා ආපු බඩ දිහා බලන ගමන්..






"මම වයසට යන්න පටන් අරන්" සරෝජී උණුවතුර වතුරමලෙන් ආපු හුමාලේ බැදුණු වීදුරුව උඩ සිංහලෙන් ලියලා වතුර මල යටට ගිහින් හිටගෙන හිටියා...







සරෝජි නානකාමරේන් එළියට එනකොට නිදුක් පොඩි පුතා එක්ක මැදසාලෙට වෙලා ටීවී බලන සද්දේ ඇහෙනවා... අද දවල්  නිරෝමිගේ ඇනිවසරි පාටී එකේදි  "බලන්නකෝ සරෝජී නිදුක් එක්ක ඉන්නකොට පේන්නේ අක්කයි මල්ලි වගේ නේද" කියලා හොරෙන් කතා වුන කතාව නෑහුනා නම් මටත් ටීවී එකේ යන මොනවා හරි දිහා බලන් ඉන්න තිබ්බා නේද කියලා හිත ගමන් ඇස් පිහද ගත්තා...ගෑනුන්ට වෙන වැඩ නැති හැටි... බාගදා මිනිස්සු කියන්නේ පේන දේ...වැරැද්දක් කියන්නත් බෑ ඉතින්..






නිදුක්ගෙයි සරෝජිගෙයි බිත්තියේ එල්ලිලා තියෙන මඟුල් පොටෝවේ වීදුරුව උඩ දූවිල්ල විත්තිය  දැකලා අහක බලා ගත්ත සරෝජි ඇඳේ හාන්සි වෙලා ඇස් දෙක හෙමින් වහගත්තා... 






හිත දෙකට බෙදිලා හිතේ එක කොටහක් "නිදුක්ගේ ෆේස්බුක් පාස්වර්ඩ් එක ඉල්ල ගනින්.. ෆෝන් එක චෙක් කරපන්..වට්සැප් මැසේජ් චෙක් කරපන්"  කියලා මරලතෝනි දෙනකොට , හිතේ තව කොටහක් "ඒ මනුස්සයා එහෙම නෑ.. ලැජ්ජ නැද්ද අවිස්වාස කරන්න..." වගේ සාම කතා කියලා කෑ ගහන්න පටන් ගෙන තිබ්බා.. සරෝජි හිතේ කෑ ගහන කොටස් මැද්දට වෙලා කකුළ් දෙක බදාගෙන  රවුමක් වගේ ගුලි වෙලා හිටියා...ඔරලෝසුවේ කටු වේගයෙන් වේගයෙන් කරකැවිලා වේලිච්ච මුද්දරස්පලම් ගෙඩියක් වෙලා ගිහින් දුක් තුක් ගාලා දොට්ට දාවී කියන බය අවතාරයක් වගේ හිතේ තැනින් තැන සූරනවා සරෝජිට දැනෙන්න පටන්ගෙන තිබ්බා.."මට වඩා ලස්සන කෙනෙක් එයා හොයා ගත්තොත්" කියන බය එන්නේ ඉරිසියාව ගෝනියක් කරේ තියාගෙන හිත ගිනි තියාගෙනම, සරෝජී ඇස් පොඩි කරලා කඳුලු පිහගත්තා..






නිදුක්ව ඇයි දැන් සැක කරන්නේ කියලා හේතුවක් හිතා ගන්න බැරි තැන සරෝජි  නිදුක් ව මුර්ගයා කියන තනතුරට හිතින් පත් කළා.. ගෑනුන්ට පිරිමින්ව මුර්ග තනතුරට පත් කරන්න මහ ලොකු හේතු ඔනි නෑ.. උදේ කෑම එක රසයි නොකිව්ව එක,යනකොට අත වනලා යන්න අමතක වෙන එක වගේ සිල්ලර හේතු හොදටෝම ඇති..සරෝජි  ඒ පත්කිරීමට සාධාරණ හේතු හිතින් එකින් එක පෝළිමට තියලා කොච්චරක් දිගද බැලුවා...හිත සැනසෙන තරම් දිග නම් ඇති!






නිදුක්ට තමා ඔනි වුනේ තව ළමයෙක්..දුව ලැබෙන්න ගිහින් කොච්චර අමාරු වුනා ද කියනවා නම් සරෝජි ට තව ළමයෙක් ගැන හිතන කොටත් කකුළ් හිරිවැටිලා ගියා.."පුතෙක් ඔනි" වුනෙ නිදුක්ට.. ඒ පුතා හිතුවක්කාරකමට පෙකිණිය බෙල්ලේ ඔතාගෙන හිටිය නිසා බඩ කපන්නත් වුනා... පිරිමි වගේ නෙමෙයි.." ගෑනු ඉවසාගෙන ඉන්න ඔනි.." අම්මා මම බැඳලා එනකොට දුන්නු එකම උපදෙස ඒක..අම්මා වට්සැප් පණිවිඩයක් එවලා තිබ්බත් ඒක බලන්න සරෝජිට හිතක් තිබ්බේ නෑ.. 'දරුවෝ දෙන්නෙක් හදලා,නිදිමරලා, දුක් විදලා තමා මට මෙහෙම වෙලා තියෙන්නේ'  සරෝජි තමන්ටම හෙමින් කියාගත්තා...






"සරෝ ලෑස්ති වෙන්න යමු එළියට කෑම ගන්න"




"මට බෑ"




"ඒ මුකෝ?? පිස්සු නැතිව ලෑස්ති වෙන්න..අර දම් පාට ඩ්‍රෙස් එක ඇදගෙන එන්න.. ඒකට හැඩයි.."





සරෝජි ඇස් වල ඉටිපන්දම් පත්තු වුනා..




"මොන දම් පාට එකද??"




" ඇයි බබා අර එදා ඔෆිස් පාටී එකකට ඇදගෙන ගියේ... මිස්ටර් දුනුසිංහ මිස්ටර් සේපාල එක්ක කතා වෙනවා ඇහුනා සරෝ තාම කෙල්ල වගේ කියලා"





නිදුක් මුර්ග ඇඳුම සරෝජි ඉස්සරහම ලිහලා දාලා සරෝජිගේ කම්මුලක් ඉඹලා "රතු වෙලා මොකෝ" අහන ගමන් කලිසමක්  අඳින්න පටන් ගත්තා.. සරෝජි අම්මා එවපු පණිවිඩය කියෙව්වා.." what happened ..everything ok??"






"ටිකක් ඉන්න මම එන්නම්"  කියන ගමන් සරෝජි කණ්ණාඩි මේසය උඩ තිබ්බ ඩයි කුප්පිය අරන් හිනා වෙලා නානකාමරේ දොර වහගත්තා...






Comments

  1. ලස්සන කතාවක් .

    මේ දේ අපි හැමෝටම පොදුයි නේ ....

    ReplyDelete

Post a Comment