අන්තෝ ජරා බහි ජටා
මහන්සියි...බොට්නි ඩිපාර්ට්මන්ට් එක ගාව කොරිඩෝ එකේ ඉදගෙන බෑග් එකේ අඩියේ හැංඟිලා චොප්ප වෙච්ච බනිස් ගෙඩියක් කෑල්ලෙන් කෑල්ල කඩාගෙන කන ගමන් කකුළ් දෙක වනවනා ඔහේ ඉන්න එක නිදහසයි...ඒත් පාලුයි..තුනෙන් පස්සේ කොච්චරක් අව්ව මහ පොළව මත්තේ නැහුනත් හැමතැනම දුඹුරු පාට කළුවරක් අරක් අරගෙන කියලා මට හිතෙනවා...ගොඩාක් පාළු දවස් වලට මූණ ඇඹුල් කරගෙන ලෝකෙම එපා වෙලා වගේ ඉන්න එක දැන් පුරුද්දට ගිහින්...බනිස් ගෙඩිය කාලා ඉවර වුනාට පස්සේ තව මොනවා හරි කන්න ඔනි වුනත් පර්ස් එකේ ඉතිරි රෑට කන්න තියෙන සල්ලි විතරක් නිසා වතුර උගුරු දෙකක් උගුරෙන් පහළට හලාගෙන උසට උසේ ඔහේ හැදෙන කටු පතොක් ගහ දිහා බලන් හිටියා...
අම්මා නැතිව පාළු හිතුනාම ගෙදරට කෝල් කරලා රටේ නැති ඕපදූප අම්මා එක්ක කතා කරලා හිත සැහැල්ලු කරගන්න පුළුවන්.. ඒත්, සමහර වෙලාවට දැනෙන මූසල මූසල පාළුව "මෙන්න මේකයි බන්" කියලා යාලුවෙක්‍ටවත් පැහැදිලිව කියන්න තේරෙන්නේ නෑ.. අපි හැමෝටම පාළුයි...අපි නිකන් කෙළවරක් හොයා ගන්න බැරි මහ සාගරයේ පාළුවට ගියපු (කාටූන් වල වගේ පොල් ගහක් විතරක් තියෙන ) දූපත් වගෙ.. දූපත් වලට පාළු දැනුනාම මහද්වීප හොයාගෙන යන්න කියලෑ ඉතින්..
පාට පෙට්ටියේ හොයා ගන්නවත් අමාරු පාට අහස පුරාම ඔහේ හලාගෙන හැන්දෑව කැම්පස් එකේ ඉස්සරහ බැම්මට ඇවිත් , තනියම ඉන්න අයගේ හිත් වලට හිල් වෙන්න ඇගිල්ලෙන් ඇනලා රිද්දවනවා කියලා මම ඉගෙන ගනිමින් හිටියා...ඒ වගේ වෙලාවලට ෆෝන් එක අරන් හිතේ වේදනාව අකුරු බහුබූත කවි වලට පෙරළලා මූණු පොතේ පා කරන්නේ කාලිදාස වෙන්නවත් ශේක්ස්පියර් වෙන්නවත් හිතාගෙන නෙමෙයි..එහෙම ලියන කොට නිවෙනවා... ඒත් ආයිත් මහ හුලඟක් ආවම ගිනි අගුරු වලින් ආයිත් ගිනි දැල් මතුවෙනවා වගේ ඇවිලෙනවා..
මිනිස්සු කියන්නේ තනි ඒකකයක් නෙමෙයි කියලා දැනෙන්න ගන්න එක ජීව විද්‍යාතමකව පහදලා දෙන්න සයන්ස් ෆැකල්ටියේ ළමයෙක්ට අමාරු දෙයක් නෙමෙයි තමා.. ඒත්, ඇඟේ හැම කොටහක් ගැනම දැනගත්තත් හිත තියෙන තැන හොයා ගන්න බැරි වුන එක නම් අපරාදයක් තමා.. මොකද පාළුව දැනෙන්නේ හිතට මිස වකුගඩුවටවත් මොළේටවත් නෙමෙයි..
*********************************************
මහන්සියි... ස්කයි කැෆේ එකේ විසාල වතුර ටැංකිය ගාව මේසේ ලඟ වාඩි වුනාම ඒ තරම් කරදරයක් නෑ.. උදේ ඉදන් එක දිගට එක දිගට එන කෝල් වලිනුයි මැසේජ් වලිනුයි හොදටම හති වැටිච්ච නිසා ඕෆ් කරපු ෆෝන් එක සාක්කුවේ ඔන් කරනකන් බලන් ඉන්නවා..
ප්‍රභූ එක්ක යාලු වුන හැටි මට මතක් වෙනවා... මම එයාව මුලින්ම දැක්කේ මුලින්ම කැම්පස් එකට පය ගහපු දවසේ... මම හිටියේ හොදටෝම බය වෙලා...ප්‍රභූ ලඟට ඇවිත් හොදට හිනා වෙලා කතා කලා මතකයි..සීනියර් අයත් එක්ක කතා කරන්නේ කොහොමද කියලාවත් දන්නේ නැති නිසා මම හිනා වුනා විතරයි..
ප්‍රභූ දිහා ඈතින් බලන් ඉන්න කෙනෙක්ට එයාගේ වැරැද්දක් පේන්නේ නෑ තමා...අපිට මඟදි හම්බුනාම එයා අපිත් එක්ක හිනා වෙනවා... එහෙම හිනා වීම පස්සේ කතාකරන්න ඉනිමඟක් වුනා.. ප්‍රභූ ඉනිමග අල්ලන් හිටියා පහළට වෙලා... මට තිබ්බේ නගින්න විතරයි...
ප්‍රභූ මගෙන් කැමතිද අහපු දවසේ මම මගේ හොදම යාලුවාට ඔක්කෝම විස්තරේ මුල ඉදන්ම කිව්වා... "අයියා හොදයි නේ බන්. යාලු වෙයන්" කියලා සිරික්කිය දාලා යාලුවා මගේ අත කොනිත්තුවා...
මනුස්සයෙක් එක්ක යාලු වෙන එක අමාරු දෙයක් නෙමෙයි... ඒත් සම්බන්ධකම පවත්වාගෙන යනවාය කියන එක මොන තරම් යුද්ධයක් ද කියලා මට පළවෙනි සතියේම තේරෙන්නෙ පටන් ගෙන තිබ්බා..
මුලින් ප්‍රභූ මාත් එක්ක සතුටින් ඉන්න ඔනි බව පෙන්නුවා.. කැම්පස් එකේ වළ කැන්ටිමේ රුපියල් පහේ ප්ලේන්ටි එක දෙකට බෙදාගෙන බිබී කතා කරකර හිටියා... එයාව ලඟටම පේන්න පටන් ගන්නකොට තමා ඇස් පිහදාලා හොදට බලන්න ඔනි කියලා මට නිච්චි වුනේ..
එයාට ඔනි වුනේ එයාගේ රත්තරන් කූඩුව ඇතුලේ දාලා තියාගන්න පුළුවන් ජාතියේ ෆොමනේරියන් කික්කියක්... විනාඩි දහයෙන් දහයට කෝල් කරලා කෑවද බිව්වාද අහන එක,ප්‍රැක්ටිකල් , ටියුටෝරියල් ගොඩක් මේසේ උඩ ගොඩ ගහගෙන ඉන්න වෙලාවක තේරුමක් නැති දේවල් වලට රණ්ඩු අල්ලන එක වගේ දේවල් වලින් මාව හෙම්බත් වෙලා හිටියේ..මම ෆෝන් එක ඕෆ් කරගෙනම ඉන්න පුරුදු වුනා... එයා එක්ක කතා කරලා සම්බන්ධය නවත්තලා දාන්න ඔනිකම තිබ්බත් උදේ හවා හම්බෙන මනුස්සයෙක් නිසා පෑඩ්ඩෙන තුවාලයක් මට නඩත්තු කරන්න ඔනි වුනේ නෑ..
මට හිතා ගන්න බෑ මොනාද කරන්න ඔනි කියලා.. මගේ ඔළුව හිස්ටොලොජි ප්‍රැක්ටික්ල් ක්ලාස් එකේදි බලපු අපිච්ජද පටක වගේ මොලේ දෙයක් පැහැදිලි නැති කිසිම දෙයක් තේරෙන්නේ නැති මොකක්දෝ ජංජාලයක් වෙලා.. මම දන්නේ නෑ මොනා කරන්නද කියලා...
මිනිස්සු තනියම ඉන්න තරමට ජීවිතේ කොච්චර සැහැල්ලුද ඇත්තටම...
*********************************************
මට හිතා ගන්න බෑ අතාරින්න ඔනි වම් අතද නැත්නම් දකුණු අතද කියලා... කොයි අත අතෑරියා වුනත් මට රිදෙනවා;තුවාල වෙනවා..
රවී මම කැම්පස් ආපු පළවෙනි සතියේ ගමේ ඉදන් මාව බලන්න ආපු හැටි මට මතක් වෙනවා...කොණ්ඩේ කේෂා තෙල් කල්දේරමක ඔබලා අරන් වගේ තෙල් දාඩියත් එක්ක කන් දෙක දෙපැත්තෙන් මූණ දිගේ බේරෙන කොට මම මගේ අලුත්ම ලේන්සුවෙන් පිහදලා දැම්මා..ගමේ ඉදන් එනකොට අම්මා හදලා එවපු වැලිතලප පාර්සලය මගේ අතින් තියල මාත් එක්ක කතා කරකර ඉදලා යන්න ගියේ මගේ නළල හෙමින් ඉඹලා... එයා එහෙමයි... අහිංසකයි..
මනී කියන්නේ රවීගේ වගේ කොණ්ඩෙට තෙල් ගාණ, බඩ මැද්දට කලිසම ඇදලා බුලත් විට කහට බැදිච්ච් දත් තියෙන ජාතියේ කෙනෙක් නෙමෙයි... එයා සූලොජි ලෙචර්ස් වලදි ඉදගන්නේ හැමදාම මගේ ඉස්සරහ පෝළිමේ හරියටම මට ඉස්සරහින්... ඩයිවසිටි බණ වගේ අහන් ඉන්න එක නවත්තලා මම එයාගේ කොණ්ඩේ ගස් කොච්චර දිගද කියලා හිතින් නිමානය කරනවා..එයා ගාන සෙන්ට් එක මොකක් වෙන්න ඇතිද කියලා හිතනවා... මනී ගැන කැමැත්තෙන් හිටියේ මම විතරක් නෙමෙයි... ගොඩක් අය එයාට කැමැත්තෙන් හිටියා... අසෝක මල් ගහ යට බංකුවට වෙලා ඉදගෙන නෝට්ස් සම්පූර්ණ කරගන්න දගලන වෙලාවට වුනත් මනී ප්‍රධාන මාතෘකාවක් වෙලා ඇවිත් නෝට් මිටිය මැද්දට ගහගෙන එනවා...
රෑට නිදා ගන්න ගියාම මට හිතෙනවා මට පව් සිද්ද වෙයිදෝ කියලා.. එක සැරේ දෙන්නෙක්ට ආදරේ කරන්නේ කොහොමද... ඒත් මම දෙන්නාටම ආදරෙයි නේද කියලා හිතෙනකොට මට මං ගැනම දුක හිතෙන්න පටන් ගන්නවා... සමහර දවස් වලට මනීගේ මූණ වහගෙන රවීගේ මූණ බලවත් වෙනවා... ඒත් තවත් වෙලාවකට මනී නිසා රවී අමතක වෙලා යනවා...
මනී මගෙන් කැමැත්ත අහපු වෙලාවේ මට හිතා ගන්න බැරි වුණා සතුටු වෙනවද දුක් වෙනවද කියලා... මම මනීට කැමතියි කියලා නොකිව්වාට උත්තරේ ඒක විත්තිය එයා දැනගෙන හිටියා...මම හිටියේ අතරමං වෙලා...
හැම යාලුවෙක්ම කිව්වේ රවීව අතෑරලා මනී එක්ක ඉන්න, ජීවිතේ ඉස්සරහට ලේසි එහෙමයි කියලා...ඒත් මම රවීට ආදරෙයි..තාමත් රවී මගෙ බැංකු පොතට හැම මාසේම සල්ලි දානවා... මාසෙකට සැරයක් හරි බලන්නත් එනවා...
මට මනීව අතෑරගන්නත් බෑ.. මනීගේ ආදරේ සජීවී..හරියට කතන්දර පොතක වගේ... එයාට මම කැමති හැම ගති ගුණයක්ම තියෙනවා...
මට තේරෙන්නේ නෑ... ආදරේ කියන්නේ හරිම ප්‍රශ්නයක් තමා..
ආච්චී අම්මා කියන්නේ ඇත්ත... ජීවිතේ නම් "අන්තෝ ජටා බහි ජටා"
එක හිත නැතු උබේ හිතත් දහ අට වන්ගුව වාගේ...........
ReplyDelete