සිහිනයෙන් ඇවිදිමි

සිහින්ම නැති තරමක් තරබාරු වැස්සක් මම වැඩ ඉවර වෙලා ගෙදර යන වෙලාවක් වැටෙන එක සාමාන්‍ය වැඩ කරන සතියේ දවසක නම් මහ කරදරයක්..ඒත් ඒ වැස්ස  එයා දන්න හැම මායාවක්ම පුංචි තීරු තීරු වලට ඉරලා මයික්‍රෝ මීටර්  දශම ගාණක පරිධියක් තියෙන වැහි පොද වල දියකරපු ගතියක් දැනෙනවා...දවල් කාලෙම ඉර අපිව බාබිකියු කරත් මේ වගේ කාලගුණ දෙපාර්තුමේන්තුවට මඟහැරිච්ච වැස්සකට පුළුවන් අංශක බරගානකින් ජීවිතේ දිශානතිය වෙනස් කරන්න...




මුලින්ම මගේ තෙමුනේ මූණ..මූණ තෙමෙන්න පටන් ගන්න කොටම වගේ මගේ නිල් ගෑනු පාට කුඩේ බෑග් එකෙන් එලියට ගත්තේ අනිච්චානුගව...කුඩේ ගොඩක් පොඩි වීම, ඇණ බුරුලට තිබීම වගේ දේවල් නිසා වැස්සෙන් යාන්තමට බේරගන්න පුළුවන් වුනේ කොටටම කපපු කැත කොණ්ඩේ විතරයි...



දවසම එළිය නිසා හෙම්බත් වෙච්ච වළාකුළු තමන්ගේ මුළු ශක්තියම අහසට දිය කරලා ක්ෂ්ණික වර්ණවත් වීමකින් පස්සේ අඳුරු දුක පාට වළාකුළු වෙන හැටි අහස දිහා බැලුවම පේනවා...ඒ දුක පැහැ මායාකාර වළාකුළු එයාලගේ ආත්මය දිය කරලා හදන වැහි පොද මැද්දෙන් ඇවිදගෙන යනවාය කියන එකම, මේ මට වගේ උපතින්ම පිස්සු අයට හීනයක සිතියමක් නැතිව අතරමං වීමක් වගේ...



මේ වගේ වහින වෙලාවකට බිම බලාගෙන ඇවිදින මම වගේ අයට පේන්නේ හැමෝටම පේන දුඹුරු පාට කැත මඬ වළවල් නෙමෙයි.. මට පේන්නේ මහ රූස්ස වනාන්තරයක් මැද්දෙන් මුහුද දිහාවට කළඹලයෙන් දුවන ගඟක්..ඒ ගඟ ලොකු ගල්පර උඩින් පැන පැන ලස්සන සුදු පෙණ කැටි අස්සෙන් හිනා වෙනවා...මට පේනවා ඒ ගඟේ මම පාවෙලා පාවෙලා ඈතට යනවා....මට ඒ වතුරේ සීතල දැනෙනවා... තවත් ටික වෙලාවකින් පේන්න ගන්නවා ඒ ගඟ පතුලේ විසාල නගරයක් තියෙනවා වගේ...නගරයේ හැමදේම පාවෙනවා...මම ඒ නගරය දිහා බලාගෙන ඉන්නේ හෙලිකොප්ටරේක ඉදන්...මට අහසෙදි තදට සැරට හමන හුලඟ දැනෙනවා... හුලඟ තෙතම තෙතයි...



වැස්ස වහින අස්සේ හතර වටේ බලාගෙන යන මට පේන්නේ මම ශතවර්ෂ ගාණක් ආපස්සට ඇවිදිනවා වගේ...පාරට අතු නවාගෙම හෙවන දෙන රබර් ගස් මට පේන්නේ රහස් ටොන් ගාණක් ගිලගෙන නිහඬව ඉන්න ඕක් ගස් වගේ...ඇල්බීසියා ගස් පේන්නේ මේපල් ගස් වගේ..මම ඇවිදගෙන යන තාර පාර අඩි පාරක් වෙනවා.. ඒ අඩිපාර දෙපැත්තේ කැලෑව..ඒ කැලෑව ඇතුලේ ලස්සන ලී ගෙයක් පේනවා.. ඒ ගෙදර ඉස්තෝප්පුවේ වාඩි වෙලා වයලින් එකෙන් දුක හිතෙන තනුවක් වයන්නේ අළු පාට කොණ්ඩයක් තියෙන පිරිමි ළමයෙක්..එයාගේ කොණ්ඩේ වටේට සමනල්ලු පියාඹනවා...මට දැනෙනවා මගේ අතින් කවුද අල්ල ගන්නවා වගේ...එමලී එයාගේ මුරේ අභිමානයයි එයාගේ දිනපොතයි එක්ක මාත් එක්ක දිගටම ඇවිදගෙන යනවා...ලොකු රූස ගස් එයාලගේ වචන හුලඟට භාර දීලා තියෙන්නේ ගයන්න...සුලඟ හැම ගීයක්ම ගයන ගමන් මගේ වටේ කැරකෙනවා දැනෙනවා...
තව ටිකක් දුර යනකොට මට පේනවා කඳුවල හෙවනැලි විතරක් පේන මීදුමෙන් වැහිච්ච ලස්සන තැනි තලා..ඒ තැනිතලා වල බාබ්න්දේසියා, දාස්පෙතියා වගේම ටියුලිප් මල් පාට පාටින් පිපිලා..මම මල් කඩාගෙන මගි අතේ තියෙන කූඩයකට දාගන්නවා...මේ අස්සේ පසුබිම් වාදනයකුත් ඇහෙනවා..මම ඒ තාලෙට ඇවිදගෙන යනවා..




ගෙදරට ගාවටම ඇවිත් සපත්තු ගලවනකොට "කුඩයක් දීලත් මේ ළමයා තෙමිලා නෙහ්...ඔහොම්මම නාගෙන එනවා" කියලා කෑ ගහනකන්ම මම ඉන්නේ අතරමං වෙලා...තෙත ඇඳුම් වලින් එන ඔළුව කැක්කුම හදවන කුයිල, දරන්න බැරි අප්පිරිය සීත දැනෙන්න පටන් ගන්නේ හීනේ සබන් බෝල වගේ පුපුරනකොට...නාගෙන ඇවිත් ඇඳ උඩ තියෙන අලුත්ම පොත දකිනකොට ආයිමත් පියවි සිහියෙන් පාවෙලා ගිහින් අසිහියෙන් විතරක්ම යන්න පුළුවන් තැනකට ගිහින් ආයිමත් අතරමං වෙනවා...ඒ අතරමං වීම ඇත්තටම නින්ද යනකන්ම එහෙමයි...


පසුව ලියමි-



ගොඩක් තෙමිලා ආපු සිහිනමය ඇවිදීම් හැම එකේම වගේ මම ඔයාව දැක්කේ ගව් ගාණක් දුරින්..ඒ ඇයි කියලා මම දන්නේ නෑ...මම දන්නේ තෙමුනට පස්සේ නහය බර වෙලා කිවිසුම් යනකොට ඔයා මාව මතක් කරනවා ඇති කියලා හිතන්න විතරමයි...


Comments

  1. මේකත් නිකන් චාමර කියන මහරගමට වහින්නේ නැතිව කියන සින්දුව වගේ.ලස්සනයි

    ජය වේවා ..!!!!

    ReplyDelete
  2. වැස්සෙත් මාර සෞන්දර්යක් තියෙනවා නේද

    ReplyDelete

Post a Comment

Popular Posts