රාමා සීතා සහ නුග


ඒක පුංචි මල් උයනක්...මල් ඇරෙන්න හැමදේම අඩුවක් නැතිව තිබුණ..තණ කොළ ගහක් වත් නොතිබුණ...හිටියේ දෙන්නයි උයනටම..එක්කෙනෙක් පිරිමි නුග ගහක්..එයා ඇන්දේ සරම්...නම රාමා...අනිත් කෙනා ගෑනු නුග ගහක්..නම සීතා..එයා දවසින් වැඩි හරියක් ඇන්දේ රෑ ගවුම්...එයා ගාව ඒකට ඔනි තරම් නිදහසට කරුණු තිබ්බා...ඒත්  කවුරුත් එයාට දවස පුරාම රෑ ගවුම් ඇඳගෙන ඉන්න එක ගැන නිදහසට කරුණු කියන්න අවස්තාවක් දෙන්න තරම් නැමෙනසුළු වුනේ නෑ...

(හිතවත් පාඨකය, මේ නුග ගස් නුඹ දන්නා නුග ගස් මෙන් නොවෙන වග සිහිතබා ගන්න...මෙහි සිදුවිය නොහැකි  දෑ  වැනි චූල කරුණු ගැන වද වෙන්නට සිතා සිටීනම්, අන්න දොර.. උයනෙන් පිට වෙන්න)  

 රාමා සීතාව කසාද බැන්ද මුල් දවස් හරියට හින්දි චිත්‍රපටියක් වගේ..රාමා සින්දුවක් කියකියා සීතා වටේ දුවනවා..සීතා හයියෙන් හිනා වෙනවා...හැමදේකම පටන් ගැනීම හරි විනෝදයි..හරියට මුහුද වගේ...වෙරළ හරියේ ගැඹුර අඩුයි..ටිකෙන් ටික තමා ගැඹුර වැඩි වෙන්නේ...

ඒ අප්‍රේල් මාසේ..ගිනි ගහන අව්ව තියෙන දවල් කාල වගේම හෙන ගහන රෑ කාල සමානව මාරුවෙන් මාරුවට පැවතුණ..සීතාගේ නොයිඳුල්ම රිකිල්ලක රාමා නමින් ගැබ්බක් හට ගත්ත..ඒත් හිතුවට කලින් අප්‍රේල් ඉවර වුනා..හේතුවක් ඇතිව හට ගත්ත ඵලය හේතුවක් නැතිවම නොයිඳුල් රිකිල්ල අතහැරලා තිබ්බා...සීතා ඇඬුවා...රාමා කිව්වේ කරුමේ කියලා...තව පාරක් අප්‍රේලයක් එයි කියලත් කිව්වා...ඒත් ආයිමත් අප්‍රේල් එන්න කලියෙන් රාමාට රට ඉඳි වැවෙන රටකට යන්න සිද්ද වුනා..අපි ඒකත් කරුමෙ කියමු...කරුමෙ කියලා හිත හදාගන්න එක ලේසියි පස්සට..

තනිකඩ නුග ගහකට වඩා ජෝඩු වුන නුග ගහ කට වියදම් සැරයි..වතුර බිල වුනත් එන්න එන්නම වැඩි වුනා..හොඳම විසඳුම වුනේ තෙල් ලිඳක් ගාව නුග ගහක් වෙන එක...නුග ගහකට වුනත් ජීවත් වෙන්න සල්ලි එපැයි...සල්ලි නැතිව දෙන්නෙක්ට ජීවත් වෙන්න අමාරුයි..ඩොලර් , ඩිනාර් නැතිවම බැරි කාලගුණයක් තිබ්බ නිසා හැමදේම ඉක්මන් වුනා.....රාමා සීතාව තනියෙන් දාල අහස් යාත්‍රාවකින් රට ගියා...   

(පුදුම වීම නවතා උඩ බලන්න...අර පේන අහස් යාත්‍රාව දිහා හොඳට...නුග ගහක අතු රිකිලි පේනවා නම් එහෙම..පෙනීම ගැන සහතික වෙන්න පුළුවන් දුර)

සීතා තනි වුනා...ගෑනු තනි වීම කියන දෙදරීමට සංවේදි වෙන්නේ පිරිමි...තනි වුන ගෑනු ලඟදි පිරිමි වෙස්සන්තර ජාතකේ රඟ පානවා..ගෑනු කැමතියි ටිකක් රෝමෑන්ටික් වෙස්සන්තරලාට...සීතාගේ දෙදරීම දැනිලා තිබ්බේ සමනලයෙක්ට...සමනලයා ස්වභාවෙන්ම උසයි..සුදුයි..රාමා වගේ නෙමෙයි ඇඟ පත..ජිම් ගිය බවට බඩ පපුව සාක්කි දුන්නා...එක අතක කටුස්සෙක්ගේ පච්චයකුත් තිබ්බා...සීතා අලුතින් ලියන්න පටන් ගත්තා...අලුතින් හිතන්න පටන් ගත්තා..රාමා වෙනුවෙන් ලියපු දේවල් පුස් කන්න පටන් ගත්තා...සමනල ආගමනය ගොඩක් දේවල් වල පටන් ගැන්ම අරගෙන ඇවිත් තිබුනා...ඒත් ඉවර වෙන විදිහ ගැන දැනන් හිටියේ සමනලයා විතරමයි...සීතාට වැරදුනේ එතන...ඉවර වෙන විදිහ කලින් අහගත්තේ නැති එක..ඒ ගැන හිතන්න පටන් ගන්න කොට පරක්කු වැඩියි...සමනල කෝෂයක් හුස්ම ගන්නත් පටන් අරන් ඒ වෙනකොටත්...

සීතාට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ...පැනලා ගිය සමනලයා පස්සෙන් හති දාගෙන දුවන්න වෙලාවක් තිබ්බෙත් නෑ...තිබ්බ එකම විසඳුම කෝෂයේ බෙල්ල මිරිකලා මරලා දාන එක...එකම විසඳුම වුනේ ඒක...එකම එකම එකම...

රාමා ආයිත් මල් උයනට එනකොට ගොඩක් දේවල් වෙනස් වෙලා තිබ්බා..සීතා හොඳටම කෙට්ටු වෙලා හිටියේ තණ ගහක් වගේ...රාමා එන කොට මලු ගණන් පුරවලා ගෙනත් තිබුනේ පෙට්ට්‍රල්.. රාමා ඒ පෙට්ට්‍රල් වත් කරලා ලොකු ගිනි ගොඩක් ගැහුවා...ඒ ගිනි දැල් වල රස්නෙට පඬුපුල් ආසනෙත් රත් වුනා ..රාමට ඔනි වුනේ සීතාගෙන් අග්නි පරික්ෂාවක්...සීතා දැනගෙන හිටියා පැන්නොත් පිච්චෙන විත්තිය...සීතා පැන්නේ නෑ ගින්නට..හරි නම් රාමාත් සීතාට අග්නි පරික්ෂාවක් කරලා පෙන්වන්න ඔනි  කියලා හිතෙන්නේ නැද්ද..ඒත් එහෙම දේවල් හිතන්න පිරිමි බයයි...පිරිමි හිතෙන දේවල් විතරයි වේදයේ ලියවුනේ..අන්න ඒකයි වැරැද්ද...

සීතා රාමාගෙන් වෙන්වුනා...සදාකාලික වෙන්වීමක වුනත් තාවකාලිකව හරි ආයිමත් හමුවෙන්න තියෙන අවස්තාව වැඩියි...ඒ නිසාමද මන්දා වෙන්වෙලා හිටියත් රාමත් සීතාත් මුල් ඇදලා හිටියේ එකම උයනේ...එක ලඟමයි..සීතා තාමත් සමනලයාගේ ආගමනය බලාපොරොත්තුවෙන් ඇති..එතකොට රාමා....රට ඉඳි ගහක් ගැනවත් හිතනවා ඇතිද...ඒ ගැන හිතන්න තරම් අපි වේලහන වැඩියි..

පසුව ලියමි:-
 මෙතනින් එහාට ගොඩක් දේවල් සිද්ද වුනා...නුග ගස් මනුස්සයෝ වගේ නෙමෙයි...කාගෙන් වත් හිරිහැරයක් නොවුනොත් හෙමින් වැඩෙමින් ගොඩක් කල් ජීවත් වෙනවා....තාම ඒ උයනේ මල් පිපෙන්නේ නැති වග පමණක් සහතික කරන්න කැමතියි..ඊට හේතුව සොයාගෙන නම් යන්න එපා..හේතුව දැනෙන්න අරින්න..දැනුනේ නෑ වගේද...එහෙනම් ආයිමත් කියවන්න

Comments

  1. කිසිම සීතා කෙනෙක් රාමල පස්සෙවත් සමනල්ලු පස්සෙවත් යන්න ඕන නෑ..එහෙම පස්සේන් පන්නගෙන එවී කියලා නම් ගොඩක් රාමලා, සමනල්ලු විතරක් නෙමේ බමරු, දෙබරු බලගෙන ඉන්නෙ අනාදිමත් කාලයක ඉඳලා....:)

    ReplyDelete
  2. හැම සීතා කෙනෙක්ම හැඟීම් වලට මුල් තැනක් නො දී බුද්ධියට මුල් තැන දෙනවා නම් ගොඩක් දේ වෙනස් වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. Well said Nirmani. I typed in English coz right now I dnt have facility to type in Sinhala & I can't stop my finger tips not typing this..:)

      Delete
  3. මනුස්ස හැඟීම් කියන දේවල් සූත්‍ර වලට දාලා හරි වැරැදියි කියලා සත්‍යාපනය කරන්න බෑ...සීතා සමනල්ලු පස්සෙන් යන එකත් නොයන එකත් එතනින් එහාට වෙන හැමදේමත් අපිට අපේ කෝණෙකින් බලලා " සීතා හරි" නැත්නම් වැරදියි කියන්න බෑ..එහෙම කරනවා නම් ඒක අසාධාරණයි නේද...ආදරේ වගේ හැඟීම පුද්ගලයාගෙන් පුද්ගලායට විචලනය වෙනවා...ඒ වගේම හැඟීම් එක්ක බුද්ධිය එකතු වෙන්න ඔනි..ඇත්ත..ඒත් හැඟීම් වලට මුල් තැන දෙන එක මනුස්ස ස්වභාවය...

    සීතලා රාමාට ආදරේ කරන ගමන් සමනලෙය්ක්ට හිතින් හරි ආදරේ නොකරාවි කියලා සහතික වෙන්න බෑ...ඒකට උදාහරන ඉතිහාසේ තියෙනවා...ඉතිහාසය ආයිමත් ආයිමත් සිද්ද වෙනවා...අපිට ඒ ධර්මතාව වැරදි කියල කියන්න අයිතිය නෑ!!

    ReplyDelete
    Replies
    1. තෙල් බැරල් දාල , මල් පුපුවගන්න පුළුවන් ගසුත් ඇති. එහෙම උනාට ඒ ගස්වල අරටුව පරික්ෂා කරන්න පුලුවන්ද අග්නි පරීක්ෂාවකින්? මොකද තෙල් වලට බුරුල් වෙන්නේ යකඩ ගොඩවල් මිසක් පණ තියෙන ගස් නෙවෙයිනේ?? එතකොට ඒවා කොහොමත් අග්නි පරික්ෂාව සමත් වෙනවා. ගිනිගොඩක් මදි යකඩ ගොඩක් පත්තු කරන්න.

      සිතා සමනල්ලු පස්සේ ගියාම මොකද.. නුගගහක් හිතනවා නම් තෙල් බැරල් පස්සේ ගියාම හොඳයි කියල? කොහොමත් සමනල්ලු කියන්නේ ගස්වල උරුමක්කාරයෝ. උන්ට අයිති දේ උන් ගත්තාවේ. ගෙඩි තමයි ප්‍රශ්නේ. මොකද ගෙඩි වලින් කවදාවත් සමනලයෙක් ඉපදෙනවා කියල තාම හොයාගෙන නැහැනේ. බෙල්ල මිරිකලා ගෙඩි බිමට දාන්න වෙන්නේ ඒකයි.

      මොකද අමා මේ? මම කිව්වේ එක ඇඟිල්ලක් වෙන පැත්තකට හැරිලා අනිත් ඇඟිලි හතරම අපේ පැත්තට හැරිලා?

      Delete
    2. උපේක්ෂා අක්කා හැමදාම වගේ හරි සියුම් විදිහට කියවනවා...ඒ වගේම ලස්සනට කතාව ලිහාගෙන බලනවා...

      අපි හැමෝම බලන්නේ දික් වේලා තියෙන ඇඟිල්ල දිහා විතරයි...ඇයි අපිට බැරි අපේ පැත්තට හැරිච්ච අනිත් ඇඟිලි දිහා එක සැරයක් වත් බලන්න...!!

      Delete
    3. එක ඇඟිල්ලක් නෙමේ ඇඟිලි පහම තමන්ගේ පැත්තට හරවගෙන බලමු.. :)

      Delete
    4. උපේක්ෂා..මිනිස් හිතක සියුම් විදිහට හට ගන්න ස්නේහය නිසා උපදින ගිනි කන්දකට පුලුවන් යකඩ ගොඩක් පත්තු කරන්න. ඒ විතරක් නෙමේ උනු කරනන්ත් උනු කරල අලුත්ම නිර්මාණයක් ගොඩ නගන්නත්...

      Delete
    5. ඔයා හරි චතූ... අපි හැඟීම් එක්ක ගැටෙන්න ඕනි. හැඟීම් වලට අපිව පාලනය කරන්න නො දී අපි හැඟීම් පාලනය කරන්න ඕනි. ආදරය කියන්නේ හැඟීමක් තමයි. ඒ හැඟීම ජීවිතේටම බලපාන නිසා කල්පනාකාරී වෙන්න ඕනි.

      ඒ වගේම තව දෙයක් අතීතය අපි අද්දැකීමක් කරගන්න ඕනි. එහෙම නේද?? අතීත වැරදි හදාගන්න පුලුවන් වෙන්න ඕනේ. අතීත වැරදි ආයෙ ආයේ වෙනවා කියන්නේ අද්දැකීමෙන් අධ්‍යාපනයක් ඇරන් නෑ කියන එක...

      Delete
    6. චතු...
      හොඳයි මට කියන්න ජිවිතේ ආදරේ පපුවට දැනෙන්නේ එකවරක් විතරයි කියන එකද, එක්වරක් දැනුන ආදරේ මුළු ජීවිතේම තියෙනවා කියන එකද පට්ටපල් ඇත්ත කියල?

      කවුද කියන්නේ නුගගහක් හැම වෙලේම තවත් නුගහගකටම ආදරේ කරන්න ඕනෙය කියල? එකම ජාතියේ බව ඇත්ත, ඒ උනාට නුගගහකට පුලුවන්ද රොන් උරන්න?

      දැන් ඉතින් කියන්නේ බුද්ධිය මෙහෙවන්න කියලනේ. හරි, බුද්ධිය මට කියන්නෙම 'ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ , දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ ' කියල නම්..... මට කියන්නේ මේ දැන් තියෙන ආදරේ බිමට හලන්න කියලද? හැමවෙලේම බුද්ධිය අපිට උදව් කරනවා කියලද?? බුද්ධිය ඕනේ, ඒක ඕනේ වෙන්නේ තීරණ ඉදිරියට පවත්වාගෙන යන්න.

      හරි හරි... වැරදියි තමයි. මම කියන්නෙත් තියරි. අපේ ප්‍රැක්ටිකල් කිව්වොත් රෙකෝඩ් පොතේ පිටු අඩු බව අපිම දන්නවා. හෙහ් හෙහ්


      අමා:
      උඹ ගැටගහන වාරයක් පාසා මම ලෙහන්න බලාගෙන ඉන්නේ. වරදවා හිතන්න එපා ගොය්යෝ මම නිල බලලා ඇටැක් කරනවා ලෙහනවට අමතරව. හැබැයි මමත් සාක්කු හිල්වෙච්ච දුප්පතෙක්. මොකක් හරි කඩාවඩාගෙන යන්න එනවා මිසක්! හෙහ් හෙහ්...

      Delete
    7. එකම තමා උපේක්ෂා මමත් කියන්න උත්සහ කලේ, ආදරය එක වතාවක් නෙමේ සිය දහස් වතාවක් එකම කෙනාගේ හිතේ එක එක විදිහට හට ගන්නවා...එක මේ ජීවය පවතින තුරු එලෙසමයි. එත් මම දකින්නේ මේ සමාජ ක්‍රමයේ වෙනසක් වෙන්නේ නැතුව ඒ සියුම් ආදර හැඟිම් වලට සධාරයනයක් කරන්න බැහැ කියන දේ , එතනදි වෙන කාටවත් වඩා හැම කෙනෙක්ම තමන්ගේම හිත ගැන මනා අවබෝධයකින් ජිවිතයේ යථාර්තය දකින්න උත්සහා කරනවා නම් අනවශ්ය පැටලිලි නැතුව මේ වගේ අපේ හිත් වල ඇති වන හැම ආදර හැඟික්ම එළිපිට කතා කරන්න එළිපිට විඳින්න පුලුවන් දවසක් එවී නේද,, එත් ඔයලා වගේ ලියන්න දක්ෂ අයත් හැමදාම එකම කතාව වෙනස් විදි වලින් මිසක් වෙනස් කෝනයකින් ලිව්වේ නැත්නම් ඒ දේ තවත් අපෙන් ඇතට පාවෙලා යනවා නේද කියලා තමයි මට හිතුනේ.... නැතුව අමාගේ මේ නිර්මණයේ වත් ඔයාලගේ අදහස් වල්වත් කිසිම වරදක් වත් අඩුපාඩුවක් නැ මම දකින්නේ...

      Delete
    8. This comment has been removed by the author.

      Delete
  4. අමා මම කියපු දේ මතුපිටින් විතරයි බලලා තියෙන්නේ, මිහිපිට ඉන්න හැම සත්වයෙක්ම ජීවත් වෙන්නේ හැඟිම් එක්ක... ඒක කිසිම දවසක වෙනස් වෙන්නේවත් වෙනස් කරන්නවත් බැ... නමුත් කෙනෙක් උත්සාහ කරනව නම් තමන් ඇතුලේ තමගේ හැඟිම් ඇති නැති විම් බුද්ධිය මෙහයවා තේරුන් ගන්න මේ හැමදේම බොහොම පැහැදිලිව දකින්න විඳින්න පුලුවන් අනවශය පැටලිලි නැතුව..

    ReplyDelete
  5. ප්‍රශ්නේ තියෙන්නේ හැමදාම සීතාව රාමුවකට කොටු කරලා කෙට්ටු කරලා පෙන්නන්න හදන තැනයි, රාමා ව ගැලැවුම්කරු විදිහට පුම්බලා පෙන්නන්න හදන එකයි නේද ? මේ රාමු වලින් පිටට ඇවිත් ලියමු ද ? එතකොට අපිට ලැබේවි නේද රාමායි, සීතායි දෙන්නම ප්‍රාණවත් නිදහස් ලෝකයක්...

    ReplyDelete
  6. රාමාවත් සීතාවත් කියන දෙන්නාවම විශේෂයෙන් පෙන්නන හදනවා නම් වැරදියි...ලියන්නෙක් සතුව තියෙන්න ඔනි මැදහත් ලිවීමක්...රසවිඳින කෙනාට කැමති විදිහකට ලිහා ගන්න... :)
    චතූ රසවිඳින පැත්ත ගැන සටහන් කරාට ස්තූතියි :)

    ReplyDelete
    Replies
    1. ඔව්... මමත් තදින් විස්වාස කරනවා ලියන්නෙක් කරන්න ඕනේ මැද්දේ ඉඳල දෙපැත්ත ගැන කියන එකයි කියල. සමහරුන්ට ඒක අල්ලන්නේ නැහැ. උන්ට කවුරුහරි සුද්දවන්තයෙක් ඕනේ අපි කියන කතාව ඇතුලේ. කාගේ කාරී කෙස්සක් අල්ලගන්න ඕනේ තීරණයක් දෙන්න.

      මට ඒක පේන්නේ ඇලිස්ගේ විස්මලන්තයේ ඉන්න 'හාරත රැජින' වගේ.
      "දඬුවම! දඬුවම!! මුලිම්ම දඬුවම.. ඊට පස්සේ නඩු අහන්නේ'

      Delete
  7. මං ඊයේ රෑ ඉදන් තාම මේ කතාව ලිහනවා... සමහර තැන් වල ආදේශ ගොඩයි මොනා උනත් උඹ දක්ෂයි

    ReplyDelete
  8. කතාවත් කමෙන්ටුත් කියෙව්වා . ආයෙ ආයෙමත්....

    // හිතවත් පාඨකය, මේ නුග ගස් නුඹ දන්නා නුග ගස් මෙන් නොවෙන වග සිහිතබා ගන්න...මෙහි සිදුවිය නොහැකි දෑ වැනි චූල කරුණු ගැන වද වෙන්නට සිතා සිටීනම්, අන්න දොර.. උයනෙන් පිට වෙන්න//

    අමා නිර්මාණකරණයහි නිදහස උපරිමයෙන් අරන් ලියලා තියෙනවා .

    // එක්කෙනෙක් පිරිමි නුග ගහක්..එයා ඇන්දේ සරම්...නම රාමා...අනිත් කෙනා ගෑනු නුග ගහක්..නම සීතා..එයා දවසින් වැඩි හරියක් ඇන්දේ රෑ ගවුම්...//

    මේ වචන ටිකෙන්ම අමා ගොඩක් කියලා ඉවරයි.

    දන්නේ නෑ මෙතුවා හරිද කියලා නම් ඒත් මෙහෙම හිතෙනවා . රාමාගෙ නීතිමය බැඳීමත් සමනළයගේ අසම්මත බැඳීමත් එකම කාසියේ දෙපැත්ත වගේ .රාමා නමින් හටගත් ගැබ නැති වුණාම ඇඬුව සීතා, සමනළ කෝෂයේ බෙල්ල මිරිකලා දැම්මා . බැඳීම නීතිමය වුණාම ඒක ආදරය හැටියටත් අසම්මත වුණාම ඒක ආශාව හැටියටත් නම් කරන්න පුළුවන් ද? අනේ මන්දා .

    හැමදාම වගේ හදවතට වැදුණා. ස්තුතියි අමා!

    ReplyDelete
  9. මෙතු , ඔයා කියන දේ මමත් නිතර හිතන දකින දෙයක්... එකම කාසියෙ දෙපැත්ත බොහොම වෙනස් විදිහට සමාජයෙන්ම අර්ථකථනය කරලා... ඔය දේ විතරක් නෙමේ කසාද බඳින්නෙ නැතුව දරුවෙක් අරන් හදා ගත්තොත් මේ සමාජය ඒක දකින්නේ කොහොමද? ඒත් කසාද බැදලත් ගොඩක් දරුවො හදන්නෙ අම්මල තනියම...එත් ඒ දෙක සමාජය මොන තරන් දූරස් කරලද?

    අමා , උපෙක්ෂා, නිර්මණයේ වරදක් නැහැ. මං කිව්වෙ නිර්මණකරුවෙක් මැදහත්ව බැලිය යුතුයි කියන දේම තමා... :) :) දඬුවමක් ගැන නම් කොහෙවත් කිව්වෙත් නෑ, මේ ලොකේ කිසිම කෙනෙකුට කිසිම දේකට දඬුවම් කරල වැඩකුත් නැ... කරන්නත් බැ.. හැමදෙයක්ම එකකට එකක් බොහොම තදින් ලඟින් සියුම්ව නොකැඩිය හැකි ලෙස බැඳිලා තියන නිසා... ජිවිතය සර්පිලාකාරයි... නැවත නැවත එකම තැනට එය ඔබව ගෙන එනු ඇත.....හැමපියවරකදිම ධනාත්මක පියවරක් ගත් අය පවති.. අන් අය නසී.. ඒ මේ ලොකේ හැටි... ඔබගේ නිර්මාණ්යේ කිසිඳු වරදක් නැත.... :)

    ReplyDelete
  10. අමා, මම හීන දකින්නියක්... ඒ බව මගේ ලිපි වලින් වැටහේවි හොඳින්ම...මම කිව්ව දේවල් වලින් හිත රිදුනා නම් සමාවෙන්න, වරදවා වටහාගන්න එපා. ලියන්න දිගටම....

    ReplyDelete
  11. සමනලය හරි ලස්සනයි...නා මල් සුවදයි...ආත්මීය බැදීමක සාදාරනීකරන එක්වීමක්..

    ReplyDelete
  12. //හරි නම් රාමාත් සීතාට අග්නි පරික්ෂාවක් කරලා පෙන්වන්න ඔනි කියලා හිතෙන්නේ නැද්ද..ඒත් එහෙම දේවල් හිතන්න පිරිමි බයයි...පිරිමි හිතෙන දේවල් විතරයි වේදයේ ලියවුනේ//
    අමා, අනින්න ඕනි තැන් හොයාගෙන හොඳට උල තියෙන පිහියකින් ඇනපන් පුතා.

    පොඩ්ඩක් ඉන්න. තව දෙතුන් පාරක්වත් හරියට කියවන්න ඕනෙ හරියටම ලිහාගන්න.

    ReplyDelete
  13. හැඟීම් දැනීම්, සාධාරණ අසාධාරණ විදියට වෙන් කරන්නෙ කොහොමද? කොච්චර බුද්ධිමත් නුග ගහකට වුණත් චංචල සමනළ හිතක පහසට උණු වෙන්න පුළුවන්...

    මං ආත්මීය ආදරේ විශ්වාස කරන්නෙ නැහැ. ඒ නිසයි එහෙම හිතන්නෙ මං...

    ReplyDelete
  14. හැඟීම් ගැන අමාට තියන අදහසට මං එකඟයි. රාමට පුලුවන්නං සීතගෙ හිත පුරාම මල් පිපෙන්න අරින්න හිස් තැනක් නොතියම, සමනල්ලු ගැන බයක් නෑ. ඒත් හිතේ හැටියට මල් නොදී ඇඟිලි දික් කරන එකට විරුද්ධයි මං. අනික ඉතිහාසෙ පුරාම දොස් ඇහුවෙ, නෝක්කාඩු ඇහුවෙ සිතගෙ පරම්පරාව. සම්මතයක් විදියට තෙල් ළිං ළඟ මුල් ඇද්දත් රාමගෙ පරම්පරාව නාවල ගෙට ගන්න සංකල්පයක් මුල් ඇදල අරටු බැහැලත්නෙ.අසාධාරණයි. කොයි පපුවටත් පිපෙන්න, ජීවත් වෙන්න ආදරේ ඕනෙ, ටිකක් නෙමේ...මහ ගොඩක්

    ReplyDelete
  15. මිනිසුන් විවිධාකාරයි, විෂමයි, එකිනෙකාට ආවේනිකයි, ඒත් මිනිස් වර්ගයා සමානයි නොයෙක් අයුරින්. එහෙව් පරිනාමයක් සහිත මිනිස් වර්ගයාට එක් අයෙකුගෙන් සන්තෘප්ත වීමක් සෙවීම කළුනික සේවිමකි. මේකෙන් කිව්වේ දකින දකින කෙනාගෙන් සන්තෘප්ත විය යුතුයි කියලා නම් නෙමේ හොඳේ...:) අවබෝධයි වැදගත්. කිසිම කෙනකුට ඇඟිල්ලා දික් කරන්න බැහැ මම දකින්නේ. හරියට ගලාගෙන යන ගඟක ආරම්භක උල්පත සොයන්න නම් ගිරිදුර්ග ගෙවාගෙන කටු අකුල් බිඳගෙන දහසක් බාධක හමුවේ උඬුඟං බලා යන්න ඕනේ වගේ....

    ReplyDelete
  16. හැමදාම වගේ උඹේ පුරාණොක්ති අලුතින් කියැවීම විශිෂ්ටයි.. රචනා ශෛලියත් ඊට දෙවැනි නැහැ.

    ReplyDelete
  17. හැමෝටම ගොඩක් ස්තූතියි...මේ අදහස් මට ගොඩක් වටිනවා 😊 <3

    ReplyDelete

Post a Comment

Popular Posts