කන් දෙක තදින් වහ ගන්න!!


දැලි ඉඳුල් සහ දාඩියත් ඇතැම් විට
කඳුළු බාගයක් දා තුවාලයක සැරව
සුරඟන කතා පොතක අවසන් පිටුවෙ
"හැමදාම හිටියා සතුටින්" ට ඉහළින් තැවරී

දුරදොඩනය විඩා නොලබාම හඬදෙන
ෆයිල් කඳු හිස් මුදුන් මතට පෙරළෙන
වැඩ අධික සතියේ දිනවල දහවලක
පැමිණ ආපසු හැරීයයි "සදාකල් සතුටක" සෙවනැලි

අසුන් පටි තද කරගන්න යැයි ගොරවන
ඉස්සරහ අසුනේ  හුරුපුරුදු සුවඳක් ගැවසෙන
කවුළුවෙන් එපිට වැසි සහිත දිනවල
මඟහැරෙයි "සදාකල් ප්‍රේමයේ" හාදු පෝළිම


සුරඟන කතා පොතක අවසන
කඳුළු පැල්ලම් ඇත කාලයක් පරණ
මේ දැන් වැටෙන්නට නියමිත
කඳුළු වලට ඉතිහාසය කියා දෙන

සභාවෙන් අවසර නොයිල්ලාම
කතාවක් කියන්නට වලි කන
එක එක්තරා දරුවෙකි
කාලයත් නුඹත් අතර සිටගෙන
ජල්ලිමය මතක අතකින් මිරිකගෙන

එන්න අපි අහමු ඒ කතාව
කැමති නැත්නම් එහෙම
අවසර තියෙයිලු
කන් දෙක තදින් වහ ගන්න!!

Comments

Post a Comment

Popular Posts